පටිච්ච සමුප්පාදය ගැන ඔබත් ඉගෙන ගන්න.

අපගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ විසින් අවබෝධයෙන්ම දේශනා කොට වදාළ. අපි නොදන්න අපගේ ම ජිවිත පිළිබද අභ්‍යන්තර ක්‍රියාවලිය ගැන ගැඹුරින් කතා කරනු ලබන්නේ පටිච්ච සමුප්පාදයෙනි. ඒ පටිච්ච සමුප්පාදය ලෝකයේ ඇති ගැඹුරුම ධර්මාවබෝධය ලබා දෙන වැඩ පිළිවලට අයිති දෙයකි. එය අනුපිළිවලට ණුවනින් මෙනෙහි කිරීමෙන් ජිවිතය ගැන අප තුල ඇති පටු ආකල්පය සහමුලින්ම නැතිකොට ‍එය පුලුල්ව හිතන්න දකින්න පුලුවන් බවක් ඇති කරගන්නට පුළුවන් වන බව අපගේ භාග්‍යවත් බුදු රජානන් වහන්සේ ඥාණ වත්ථු යන සුත්‍ර දේශනාවේදී දේශනා කොට වදාළ සේක. එබැවින් තම තමන්ගේම ජිවිතාවබෝධය පිණිස උපකාර වන මේ මහනීය වු ශ්‍රි සද්ධර්මය ඔබත් මනාව ඉගෙන ගන්න උත්සාහ කරත්වා.!!!

පටිච්ච සමුප්පාදය. පාළි භාෂාවෙන්

අවිජ්ජා පච්චයා සංකාරා සංකාර පච්චයා විඤ්ඤාණං
විඤ්ඤාණං පච්චයා නාම රූපං
නාම රූප පච්චයා සලායතනං සළායතන පච්චයා ඵස්සෝ ඵස්ස පච්චයා වේචනා
වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති
ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවන්ති
ඒ‍ව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.


අවිජ්ජාවෙන් යුක් වීමට නිසා අවිජ්ජාවට අනුව සංස්කාරයන්ගේ හට ගැනීම වේ. ඒ සංස්කාරයන්ට අනුරූපීව විඤ්ඤාණය ඇතිවේ. එබදු ලෙස හට ගන්නා විඤ්ඤාණට අනුරූපීව නාමයෙත් රූපයෙත් පැවැත්ම ද, ඒ නාම රූපයේ පැවැත්මෙන් සළායතනයන‍්ගේ පැවැත්මද , ඒ සළායතනයන් ඇති බැවින් ඒවා නිසා හට ගන්නා ස්ඵර්ෂයද , ඒ ස්ඵර්ෂයට අනුරූපීව ඇතිවන වේදනාවන් ද, ඒ වේදනාවන්ට අනුරූපීව සකස්වෙන ආශාවන්ද, ඒ ආශාවන්ට අනුරූපීව බැදීයාමද , ඒ බැදීයාම නිසා හට ගන්න භවයද (විපාක පිණිස කර්ම සකස්විමද ) විපාක පිණිස කර්ම සකස් වීමට අනුව උප්පත්තියද උප්පත්තියට අනුරූපීව ජරාව මරණය , සෝක කිරීම , හැඩීම වැලපීම, ආදි සියළු දුක් දොම්නස් මෙන්න මේ ආකාරයෙනුයි හට ගන්නේ.


අවිජ්ජායත්තේව අසේස විරාග නිරෝධෝ සංකාර නිරෝධා
සංකාර නිරෝධෝ විඤඤාණ නිරෝධා
විඤ්ඤාණ නිරෝධෝ නාම රූප නිරෝධා
නාම රූප නිරෝධෝ සළායතන නිරෝ‍ධා
සළායතන නිරෝධෝ ඵස්ස නිරෝධා
ඵස්ස නිරෝධෝ වේදනා නිරෝධා
වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා
තණ්හා නිරෝධෝ උපාදන නිරෝධා
උපාදාන නිරෝධෝ භව නිරෝධා
භව නිරෝධෝ ජාති ‍නිරෝධා ජාති නිරෝධෝ
ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා
නිරුජ්ඣන්ති ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝති.


යම් දවසක ඉතිරියක් නැතිව ම අවිජ්ජාව නැති වේ නම් නිරුද්ධ වේ නම් අන්න එවිට අවිජ්ජාවට අනුරූපීව පහල වු සංස්කාරයන් ද නිරුද්ධ වී යන්නේ ය., ඒ සංස්කාරයන්ට අනුරූපීව පහල වු විඤ්ඤාණය ද නිරුද්ධ වී යන්නේ ය., ඒ විඤ්ඤාණයන්ට අනුරූපීව පහල වන නාමරූප ද නිරුද්ධ වී යන්නේ ය. , ඒ නාමරූපයන්ගේ පැවැත්මෙන් පවතින සළාතනයන් ද නිරුද්ධ වී යන්නේ ය., ඒ සළායතනයන් ඇති විට ලැබෙන ස්පර්ෂය ද නිරුද්ධ වී යන්නේ ය., ඒ ස්පර්ෂයන් නිසා හට ගන්නා වු වේදනාවන් ද නිරුද්ධ වී යන්නේ ය., ඒ වේදනාවන්ට අනුරූපීව ඇතිවන ආශාවල් ද නිරුද්ධ වී යන්නේ ය., ඒ ආශාවල් නිසා ඇති වන බැදීයාම ද නිරුද්ධ වී යන්නේ ය. ඒ බැදීයාම නිසා ඇතිවන භවය ද නිරුද්ධ වී යන්නේ ය. ඒ භවය නිසා ඇති වන උපතද නිරුද්ධ වී යන්නේ ය. ඒ උපත නිරුද්ධ වි ඇති කල ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් අප්‍රිය සම්පයෝග ප්‍රිය විප්පයෝග කැමැති දැ නොලැබීම ආදී සදහන් සියළු දුක්ඛයන් ද නිරුද්ධ වී යන්නේ ය.මේ ආකාරයට ය සියළු දුක් රැස නිරුද්ධ වි යනු ලබන්නේ. ,

පටිච්ච සමුප්පාදය ඉතාමත් සැකවින් මෙසේ දැක්විය හැකි වන නමුදු මේ ධර්ම කරුණු පිළිබද මනාව වටහා ගැනීම පිණිස එක එක කරුණ ගෙන මැනවින් විස්තර කර ගත යුතුය එයට ද පලමුව පටිච්ච සමුප්පාදය පිළිබද ව බුදු රජාණන් වහන්සේ විසින් දේශිත කරුණු කීපයක් මෙහි සදහන් කිරීම ඔබගේ ප්‍රයෝජනය සදහා වෙනු ඇතැයි සිතමි.

මේ පටිච්ච සමුප්පාදය අතීතයට එක ක්‍රමයකුත් වර්ථමානයට එක ක්‍රමයකුත් ආනාගතයට එක ක්‍රමයකුත් වශයෙන් බෙදීමක් නොකළ හැකි බව. එය භාග්‍යවතුන් වහන්සේ මෙසේ විස්තර අතී‍තයේ දී ද ජරා මරණ ඇති වුයේ ජාතිය නිසාය අතිතයේ ජරා මරණ නිරුද්ධ වී නම් ඒ ද ජාතිය නිරුද්ධ වීම නිසාය. වර්ථමානයේ දී ජරාමරණ ඇති නම් ඒ ද ජාතිය නිසාය. වර්ථමානයේ ජරාමරණ නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ ජාති නිරුද්ධ විමෙන්මය. අනාගතයේ ජරාමරණ ඇති වෙනවා නම් ඇති වෙන්නේ ජාතිය නිසාමය නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ ජරා මරණ නිරුද්ධ වෙන නිසාමයයි කියා බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. එහි අවිජ්ජාවේ පටන් ජති දක්වා ඇති හැම කාරණාවක් ම ඒ ආකාරයෙන් අතීත අනාගත වර්ථමාන භේදයක් නොමැති බව මනාව පැහැදිලි කර ඇත. ඥානවත්ථු සුත්‍රය. අභිසමය සංයුත්තය.

ඒ ‍වගේ ම පටිච්ච සමුප්පාදය විමසා බලන්නට පටන් ගත යුත්තේ කොතනින්දැයි කියා අනිවාර්ය තැනැක් නැති බව එය වැල් වල අවශ්‍ය තාවය ඇති ව කැලයට ගිය තැනැත්‍තා මුල අග ගැන නොබලා තමන් ඇස ගැටෙන ඕනෑම වැලක් ගෙන මුල අග සොයා පරික්ෂාවේ යෙදී එය සම්පුර්ණ යෙන්ම තමන් අතට පත්කරගන්නවා සෙයින් පටන් ගැන් ම කොතනින් වුවද අවසා‍නයේ දී ඔහුට සියළු පටිච්ච සමුප්පාදයම මනාව වටහා ගත හැකි වනු ඇති බව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිතය.

එසේ ම අප පටිච්ච සමුප්පාදය විමසා බලන විට එහි ගාම්භීර භාවය ගැන නොතකා නොහැරිය යුතු බවය.

ඉහත සදහන් කාරනා සැලකිල්ලට ගෙන පටිච්ච සමුප්පාදය ඉගෙන ගන්නට ඔවත් උත්සාහ කරන්න. මෙහි ලියනු ලබන්නේ ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්‍සේ විසින් දේශනා කොට වදාළ සුත්‍ර දේශනාවන්හි අන්තර්ගත කරුණු වලට අනුව බවත් ඒ සියළු කරුණු අභිසමය සංයුත්තයෙහිදී ඔබට දැක ගත හැකි වන බවත් සිහිපත් කරමි.

ජාති පච්චයා ජරා මරණන්ති ඤාණං අසති ජාතියා නත්ථි ජරා මරණංති ඤාණං
අතීතම්හි අද්ධානං ජාති පච්චයා ජරා මරණංති ඤාණං අසති ජාතියා නත්ථි ජරා මරණංන්ති ඤාණං
අනාගතම්පි අද්ධානං ජාති පච්චයා ජරා මරණංති ඤාණං අසති ජාතියා නත්ථි ජරා මරණංති ඤාණං න්ති

සුත්‍ර පාඨයේ තේරුම

ජාරා මරණ ඇති වන්නේ ඉපදීම නිසාය යයි කියා ණුවණක් ඇති කර ගත යුතුය. ඉපදීම නැති කල ජරා මරණ ඇති නොවන්නේ යයි කියාද ණුවනක් ඇති කරගත යුතුය. අතී‍තයේ දීත් ජාරා මරණ ඇති වුයේ ඉපදීම නිසාය යයි කියා ණුවණක් ඇති කර ගත යුතුය. අතීතයේ දී ද ඉපදීමක් සිදු නොවු කල ජරා මරණ ඇති නොවන්නේ යයි කියාද ණුවනක් ඇති කරගත යුතුය. අනාගතයෙහි දී ද ජාරා මරණ ඇති වන්නේ ඉපදීම නිසාය යයි කියා ණුවණක් ඇති කර ගත යුතුය. අනාගතයෙහි දී ද ඉපදීම නැති කල ජරා මරණ ඇති නොවන්නේ යයි කියාද ණුවනක් ඇති කරගත යුතුය.


උපත ලද සත්වයාට අනිවාර්ය්‍යයෙන් ම උරුම වු දේයක් වන මේ ජරා මරණයන්ට ගොදුරුවීම සත්වයා විසින් මෙනෙහි නොකර අත්හැර දමා ඒ වායෙන් ලැබෙන දුක් දොම්නස් සුසුම් හෙලීම් වලට පමණක් ප්‍රතිචාර දක්වමින් විදවනා දෙයකි. එබැවින් ඒ ජරා මරණ තුල ඇති භයානක ඉරණම පිළිබද කිසි අවබෝධයක් නැතිවම ඔහුගේ මරණය සිද්ධ ‍වන්නේ ය. සංයුත්ත නිකායේ දේවපුත්ත සංයුත්තයේ දී අප බුදු රජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

උපනීයති ජීවිතමප්පමායු - ජරූපනීතස්ස න සන්ති ථානා ඒතං භයං මරණේ පෙක්ඛ මානෝ - ලෝකාමිසං පජහේ සන්ති පෙක්ඛෝ

උපන්නාවු සත්වයාට ජිවත් වන්නට තියන ආයු කාලයද ඉතාමත් ම කෙටිය. ජරාවට පත් වෙමින් මරණය කරා ගෙන යනු ලබන ගමනේ දී සත්වයාට කිසිම පිළිසරණක් ද නොමැත. එවන් භායානක ඉරණමක් තුල උදවිය ඒ ගැන කල්පනා කල යුත්තේ මේ දැන් මරණයට පත්වන්නට සිටින්නා සේ ය. එසේ අප්‍රමාදීව කල යුතු වන්නේ මේ ලෝකය සහ ලෝකයා කෙරෙහිත් ඇති බැදීම් වලින් ඉවත් වීමයි.(ජිවිතය අවබෝධ කර ගැනීමයි)

තවද අප භාග්‍යවතුන් වහන්‍සේ විසින් පටිභාන නැමැති සුත්‍ර දේශනාවේ දී ද මේ ගැ නයමක් සදහන් කරන ලදි. එය මෙසේ ය. දිනක් දනව් සැරි සරා වඩිනා බුදු සමිදානෝ භික්ෂු සංඝයා හා සමග පටිභාන නම් වු පර්වරතයට වැඩම කර වැඩ සිටි සේක එවිට එහි භික්ෂුන් වහන්‍සේලා කීප නමක් වට පිට බලා ඇවිදින්නේ ඒ පර්වත‍යේ එක් පසෙක අති මහත් බෑවුමක් දැක මවිත විය.(මෙය ලොකාන්තය වැනි විය හැකිය. ) පසුව බුදු රජාණන් වහන්සේ හමු වි තමන් දුටු ඒ බිහිසුණු ආගාධය ගැන සදහන් කොට එයටත් වඩා විශාල වු ආගාධයක් ලොව තිබිය හැකි දැයි කියා විමසා සිටියේ ය . එවිට භාග්‍යවත් බුදු සමිදාණෝ මහණෙනි මේ කියනා ආගාධය කුමක් ද මේ සංසාරයේ භායානක ඉරණමට අහු වී කට යුතු කරන සත්වයා වැටි ඇති ජාති ය නැමැති ආගාධයම බලවත් බවත් ජරාව නැමැති ආගාධයම බලවත් බවත් මරණය නැමැති ආගාධයම බලවත් බවත් දේශනා කොට වදාළ සේක.

මේ ජති ජරා මරණ ගැන මේ තරම් දැඩි ලෙස භාග්‍යවත් බුදු රජාණන් වහන්සේලා කතා කරනුයේ කුමක් නිසාද ?

දිනක් බුදු රජාණන් වහන්සේ මෙසේ ද වදාළ සේක තයො මේ භික්ඛවේ ධම්මා ලොකේ න සංවිජ්ජෙය්‍යුං න තථාගතෝ ලෝකේ උප්පජ්ජෙය්‍ය අරහං සම්මා සම්බුද්ධෝ කතමේ තයෝ ජාති ච ජරා ච මරණං ච

මහණෙනි මේ ලෝකයේ ජාති ජරා මරණ නැමැති ධර්ම තාවයන් තුන නැති නම් ලෝකයට තථාගත අරිහත් සම්මා සම්බුදු වරයන් වහන්සේලා පහල නොවනා බවත්, උන්වහන්සේලාගේ ධර්ම විනය දෙක ලෝකය තුල බබලන්නේ ත් නැති බවත් සදහන් කරන ලදි එය අංගුත්තර නිකායේ තයෝ ධම්ම නැමැති සුත්‍ර දේශනාවේ එන පාඨයකි.

ජාති ජරා මරණ ගැටළුවේ විශාලත්වය. හා භයංකර බව

ඉහත සදහන් සුත්‍ර පාඨයෙන් මනාව වැටහෙන කරුණක් වේ. මේ ලෝකයා කුමක් ගැන කල්පනා කරමින් හිටියද ඔවුන් හැමටම ඇති ප්‍රධානතම ගැටළුව ජාති ජරා මරණ බව එයින් මනාව පැහැදිලි වන කරුණකි. එ‍සේ නම් ‍ඒ ගැන අපට එතරම් වැටහීමක් නොමැත්තේ කුමක් නිසා ද ? ඒ ගැන සිතා නොබලනා බැවිනි. ලෝකය සැම තිස්සේ ම තමන්ගේ උපතත් සමගින් ලැබුනු දේවල් ගැන සිත සිතා ම කල්ගෙවනා බවත් ඔවුන් ඔවුන්ගේ සැබෑ ගැටළුව දෙස නොබලනා බවත් අරිය පරියේෂණ සුත්‍රයට අනුව බුදු සමිදාණන් වදාරා ඇති සේක.

උපත ලබන සත්වයන් ඒ උපතත් සමගම විවිධ වු දුර්වල තාවයන් ඇති ව උපදිනු ලබයි එසේ ම ඔවුන් ඒ ජිවිතය තුල අසාමාන්‍ය වු ලෙඩ රෝග වලට පවා ගොදුරුවන්නට සිදු වේ එලෙ‍සින් කල් ගෙවනා ඔවුන්ට නිරන්තරයෙන් තමන්ගේ ආයු ගෙවීයාමෙන් කය දුබලව දිරා පත් වීම සිදුවෙයි එවිට තමන්ට අහිමි වී යන දේවල් දෙස බලා හුල්ලමින් පසුවෙන ඔවුන් ඔවුන්ගේ අතොරක් නැති දුක් දොම්නස් මැද ඒ දිවිය ගෙවා අවසන් කරති. කවුරු කෙසේ කිව්වද සිදුවනු ලබන්නේ මේය. අපිට විටින් විට අපේ දුක් දොම්නස් වලට පිළිතුරු ලබා දිය හැකි වුවද සත්තකින් ම එය නිමා නොවන ප්‍රශ්න පත්තරයකි එවිට ඔබට කරන්නට සිදුවන දෙය ගැන කල්පනා කරන්න දිගින් දිගටම උත්තර ලිවීම හැර වෙනත් කල යුත්තක් ඔබට ඉතිරි නොවේ. ජිවිතය යනු මෙයයි. එසේ නමුදු අප ඒ ගැන ගැඹුරින් කල්පනා නොකරනු ලබන බැවින් එහි අභ්‍යන්තරිකව ඇති ඒ සත්‍යය තාවය අපිට සිහිනෙනිදු කල්පනා නොකරන්නෙමු.

උපදින්නේ කොතනද ඒ උපතට අනුරූපීව ලැබෙන ජරා මරණ අනිවාර්ය්‍යයෙන්ම විදිය යුතු වන්නේ ය. තමන්ට උරුම ජරා මරණයන්‍ දරා ගත නොහැකි ඇතැම්හු සිය දිවි හානි කර ගනිමින් එවායින් දුරස්වන්නට සිතති. අහෝ අවාසනාවක මහත එයින් ඔවුන් හිටියාටද වඩා දුක් සහිත ජිවිතයක් කරා ගමන් කරනු ලබන අතර එහිදී ඔවුන්ට විදින්ට සිදුවෙන ජරා මරණ දුක තිබු ජිවිතයේ ජරා මරණයන්ටද වඩා ප්‍රභල වන්නේය. අවිජ්ජාවේ වෙලී පැටලී සිටින සතුන් හට ජරා මරණයන් ගැන අවබෝධයක් නොමැති කම නිසා ඔවුන් ගැලවී ගත නොහැකි ලෙස පඹගාලක පැටලී ඇත.

ජිවිතය ජිවත් කරවීම දිනුම් කණුවක් නොමැති තරගයක ජයගග්‍රහණය බලාපොරොත්තුව දුවනා ගමනක් වැනිය. දිණුම් කණුවක් නොමැති තරගයක දිනුමක් කොහින් ලබන්නද .? එහිදී ඔබට ලැබෙන එකම දෙය වෙහෙසත් මහන්සියත් හතියත් පමණකි. ඔබ ‍ඔබේ ජිවිතය ගැන මදක් හිතා බලන්න එයිනුදු ඔබට උරුමව ඇත්තේ මෙවැන්නක් නොවේ ද? එය එන්න එන්න දියුණු විය යුතු වෙනුවට පිරිහීම කරා යයි. ජිවිතයේ ස්භාවය මෙසේ ය. ‍තරුණ මදයෙන් හෝ ධන මදයෙන් මත්ව මේ ගැන කල්පනා කරන්නට අවස්ථාවක් නොගෙන දිවිගෙවන්නා වු තැනැත්තේ මද අස්වැසිල්ලකුදු නොලබා මරණය තෙක්ම හති දමා ගෙන දිනුම් කණුවක් නොමැති තරගේ දුවනු ලබනු ඇත.

බුදු රජානන් වහන්සේ එබැවින් ය තම ශ්‍රාවකයන් වහන්සේලාට අවබෝධයක් ඇති වෙන ආකාරයට ජරා මරණ ගැන කල්පනා කරන්නට අනු දැන වදාළේ.

ජරා මරණ ගැන කල්පනා කල යුතු වන්‍නේ මෙලෙසට ය.

ඔබ ජරා මරණ වලින් පිඩා විදිනු ලබන කල ජරා මරණ ඇති වුයේ උපත නිසා බව මෙනෙහි කර බලන්න ඉබාගාතේ හතර දෙසට දොස් නොනගා තමන් දේසම බලන්න ජරා මරණ ප්‍රධාන මේ සියළු දුක් දොම්නස් ඔබට උරුම වුයේ ඉපදීම නිසාමය. අතිතය තුල ඔබගේ ජිවිතයේ ජරා මරන දුක් තිබුනේ ද ඒ සියල්ලද ඉදිරි අනාගතයේ දී ඔබගේ ජිවිතයේ ජරා මරණ දුක් ගොඩ නැගේ ද ඒ සියල්ල ද සිදු වන්නේ ඉපදීම නිසා ම බව මෙනෙහි කර බලන්න

ජරාමරණ ඇති කරන හේතුව ජාති නොහොත් ඉපදීම පිලිබදවද විමසා බලමු. ඉපදීමට අනු රූපව ජරා මරණ ඇති වේ යනුවෙන් ඉහත සදහන් පාලි දේශනාවේ අර්ථය සිහිපත් කල හැකිය. එය තේරුම් ගත යුතු වන්නේ මෙලෙසය. මිනිසෙකු වශයෙන් ඉපදී කටයුතු කරණ කල ගවයෙකු හෝ වෙනත් සතකු ලබන ආකාරයට ජරා මරණ පිළිබද ගැටළුවක් ‍ඔහුට ඇති නොවන අතර එය සිදු වන්නේ මිනිසෙකුට ලැබෙන ජරා මරණ අත්දැකීම් සමගින් ය. එසේ ම ඔබ දුප්පත් ව පොහොසත්ව මෙන්ව වෙනත් විවිධතා ඇතිව ඉපදී පසුවන්නේ නම් ඔබට අත් දකින්නට ලැබෙන ජරා මරණ වල යම් යම් වෙනස් කම් ඇති වන‍්නේමය. සොමාලියාව හා වෙනත් එවන් රටවල මිනිසුන් ජිවිතයේ විදින දුස්කර තාවයන් ශ්‍රි ලංකාව වැනි රටක ජිවත් වන අප‍ට නැති නමුත් ඇත්තේ අපට සාපෙක්ෂ ජරා මරණ ගැටළුය. මෙය වටහා ගන්න උත්සාහ කරන්න එවිට ඔබට ඉපදීමට අනුරූපව ම ජරා මරණ ඇති වන්නේ ය . යන කාරණාව මනාව තේරුම් ගැනිමට උපකාර වෙනු ඇත.

උපත් හතරකි එනම්

01 අන්ඩජ උපත (බිත්තරයක් තුලින් ඉපදීම)
02 ජලාබුජ උපත (ගර්භාසයක් තුල වර්ධනය වී මව් කුසකින් බිහිවීම )
03 සංසේදජ උපත(කැලි කසළ ජලයෙන් ඉපදීම )
04 ඕප පාතික උපත (ඉහත හේතු කිසිවක් නොමැතිව සකලාංග සම්පුර්ණව පහල වීම )



ලෝකයේ සිදුවන සියළු උපත් මේ ඉහත සදහන් සතර ආකාරයට අයත් බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. එයින් බිත්තර වලින් හා ගර්භාෂයක් තුල එසේ ම කැළි කසල ජලයේ සතුන් බිහිවන අයුරු අප දැක ඇතත් ඕපපාතිකව සිදුවන උපත ගැන අපට අදහා ගත නොහැකි වනු ඇත. එසේ නමුත් එවන් උපත් බහුලව ලැබේනුයේ දිව්‍ය බ්‍රහ්මාදීන්ට බවත් මනුලොව ඉතාමත් ම කළාතුරකින් එවැනි අහම්භයක් සිදුවිය හැකි බවත් ධර්ම ග්‍රන්ථ වල දැක ඇත්තෙමි.

ඉපදීම ගැන වෙනත් ආකාරයකටත් බලමු. ඉපදීම කාමාවචර ලෝකයේ ලබන උපත රූපා වචර ‍ලෝකයේ ලබන උපත අරූපා‍ වචර ලෝකයේ ලබන උපත වශයෙන් ද බෙදා දැක්විය හැකිය.

කාම ලෝක‍යක උපත ලැබීමෙන් එහා සම්බන්ධ ජරා මරණද රූප ලෝක‍යක උපත ලැබීමෙන් ඒ හා සම්බන්ධ ජරා මරණද අරූප ලෝක වල උපත ලැබීමෙන් ඒ හා සම්බන්ධ ජරා මරණද ක්‍රියාත්මක වීම ආරම්භ වන්නේ ය. ඒ සියල්ල සිදුවන්නේ ඒ ආකාරයෙන් ය.

උපදිමින් මැරෙමින් යන සසර ගමන තුල ඇති භයානකත්වය හදුනා ගනිමු. ‍ සංසාරය යනු ඉපදෙමින් මැරෙමින් සසරේ ගමන් කිරීමය. එය සිදුවන්නේ ඒ ආකාරයෙනි. එසේ වතුදු සංසාර ගත සත්වයාට තමන් ලැබු ජිවිත අද්දැකීම් ම පමණක් මිස අන් කිසිවක් ගැන කල්පනාවක් නැත. එබැවින් ඔහු රෑ වැටුණු වලෙහිම දවල්ද වැටෙමින් ඉදිරියට ම ගමන් කරන්නට කල්පනා කරයි මෙය සිදු එලෙසටය.

දිනක් බුදු රජාණන් වහන්සේ පෙලී සැදී ගමන් කරනා ගෙරි (වේයන්ට වඩා ටිකක් විශාල සරීර ඇති කළු පාට සතුන් වර්ගයක්) මහණෙනි, මේ ගෙරි රැල දෙස බලන්න ඔවුන්ගෙන් එකෙකුදු සක්විත් රජ පදවි නොලැබුවෙක් නැතැයි වදාළ සේක. වර්ථමාන ලෝකයේ කිසිදු රාජ්‍ය බලයකට සම කල නොහැකි. සැසදිය නොහැකි. සතර මහා සෘද්ධීයකින් යුක්ත සප්ත රත්නයකින් සමන්විත චක්‍රවර්ති රාජ්‍ය සම්පත්තිය ලබා සසර ගමන් කරමින් සිටි ඔවුන් නැවතත් මිනිස් දිවියෙන් ද සමුගෙන එසේ පෙල සැදී ගමන් කරනු ලබයි. අහෝ මේ සංසාරයේ ඇති භයානක බව ඔවුන්ට සිදු ව ඇත්‍තේ එලෙස නම් අප ගැන කවර කතා ද මේ සංසාරය කුසුල් අකුසල් දරමින් අවබෝධයෙන් තොරව යෙදිනා ගමනාන්තයක් නැති ගමනක් වැන්න. එහි මුලාව යන සියළු සත්වයෝ මහත් වු දුකටත් ව්‍යසනයටත් පත්වන්නේ ය. එබැවින් ඉපදෙමින් මැරෙමින් යන සසර ගමන ගැන අවබෝධයක් ලබන්නට අපිත් උත්සාහ ගත යුතු නොවේද?

මෙහි අප මෙහෙය වන්නෙක් නොවේ.

ජිවත් ව සිට මරණයට පත්වන සත්වයා නැවත භවයක් කරා රැගෙන යාමට පුද්ග‍ලයෙක් මෙහි නැත. එය සිදුවනු ලබන්නේ ඒ සදහා සැකසී ඇති හේතුඵල ධර්මතාවයකට අනුවය.

දිනක් බුදු රජාණන් වහන්සේ දනව් සැරිසරා වඩිනා සේක් එක්තරා කැලි කසල ගොඩක් ළග ආහාර සොයමින් පසුවනා ඊරි පැටියක් දැක සිනහ පහළ කල සේක. එහිදි උන්වහන්සේ හා වැඩම කල භික්ෂුව ඇසු පැනයට පිළිතුරක් ලෙස එහි සිටි ඊරිපැටියා බොහෝ කලකට පෙර ඊරි මනුස්‍ය දුවක් බවත්. ඇය ගමනක් ගොස් එන්නේ ඵල්වු ගවර වළෙක පණුවන් නලියනු දැක එයින් උපන් පිළිකුලින් කාමයන් හැර දමා ධ්‍යාණ වඩා බඹලොව බ්‍රහ්මයෙකුව ඉපද ජිවිතාවබෝධය නොලැබූ බැවින් නැවතත් අසුචියට මන වඩනා ඊරිපැටියෙක් ව ඉපිද ඇති බවත් දේශානා කොට වදාළ සේක.එලෙස ඛෙද ජනක ලෙස සිදුවන මේ සංසාර ගමන මෙහෙයවන්නා වු කිසිවකුත් නැත්තේ ය.

තම තමන් ලැබු ඒ ජිවිත පිළිබද හාන්කාසියකවත් අවබෝධයක් නැතිව ගෙවනා දනා තම තමන්ගේ ජිවිත වල ඉදිරි ගමන කෙසේ ගෙන යන්නේ දැයි . කාට නම් කිවහැකිද නොවේ මැයි.

ඉපදීම සැලසුම් කරන්නේ අපට ඕනෑ ලෙසටද?

උපත ලබන විට ඔබට මෙබදු වරප්‍රසාදයක් ඇති වුයේ යයි සිතන්න, ඒ ඔබට අවශ්‍ය ආකාරයෙන් උපත ලැබීමය. එවිට ඔබ ‍දැන් ලබා ඇති ජිවිත‍යේ මොන තරම් ප්‍රමාණයක් වෙනස්කම් කරගනු ඇත්තේ දැයි ඔබ ඔබෙන් ම විමසා බලන්න එවිට ඔබට තේරුම් ගත හැකි සත්ය්‍යක් එයින් මතු කරගත හැකිය එනම් අපට උවමනා පරිදි උපදින්නට නොලැබීමයි එ‍ය සිදු වන්නේ හේතු සකස් වු ආකාරයට මිස වෙනත් ආකාරයකට නොවේ. එබැවින් ඔබ ඒ හේතුව අව‍බෝධ කරගන්න උත්සාහ කරන්න.

ඉපදීම සැලසුම් කරන්නේ අපට ඕනෑ ලෙසටද?



උපත ලබන විට ඔබට මෙබදු වරප්‍රසාදයක් ඇති වුයේ යයි සිතන්න, ඒ ඔබට අවශ්‍ය ආකාරයෙන් උපත ලැබීමය. එවිට ඔබ ‍දැන් ලබා ඇති ජිවිත‍යේ මොන තරම් ප්‍රමාණයක් වෙනස්කම් කරගනු ඇත්තේ දැයි ඔබ ඔබෙන් ම විමසා බලන්න එවිට ඔබට තේරුම් ගත හැකි සත්ය්‍යක් එයින් මතු කරගත හැකිය එනම් අපට උවමනා පරිදි උපදින්නට නොලැබීමයි එ‍ය සිදු වන්නේ හේතු සකස් වු ආකාරයට මිස වෙනත් ආකාරයකට නොවේ. එබැවින් ඔබ ඒ හේතුව අව‍බෝධ කරගන්න උත්සාහ කරන්න.

භවය නොහොත් විපාක පිණිස කර්ම සකස් වීම නිසාම ඉපදීම සිදුවේ.

එසේ නම් එය සිදුවන්නේ කුමන ආකාරයකට අනුවද?

මෙවන් කරුණු ගැන කතා කරන විට අප ඉතාමත් ම පරිස්සමින් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයට අනුවම කතා කරන්නට පුරුදු විය යුතුයි කිමද? ජරා මරණ හා ඉපදීම කියන කරුණු අපට දැක ගත හැකි නෙත් මානයේ පසුවෙන දේවල් වැනි ය. අපට තිබුනේ අප ඒ දෙස ඒ ආකාරයෙන් බලන්නට පුරුදු නොවීම පමණි. නමුත් භවය ආදී කරුණු ගැන එලෙස කතා කිරීමට අපට හැකියාවක් නැත. එබැවින් බුද්ධ දෙශනාවන් ගෙන එය පැහැදිලි කර ගනිමු.

පාලි දේශනාව


භව පච්චයා ජාතිති ඤාණං අසති භවේ නත්ථී ජාතිති ඤාණං අතීතම්පි අද්ධානං භව පච්චයා ජාතිති ඤාණං අසති භවස්මිං නත්ථි ජාතිති ඤාණං අනාගතම්පි අද්ධානං භව පච්චයා ජාතිති ඤානං අසති භවස්මිං නත්ථි ජාතීති ඤාණංන්ති.



පාළි දේශනාවේ අදහස.

භවයට අනුරූපීව උපත ලැබීම සිදුවේ.භවයක් නැතිනම් උපතක් ද ඇති නොවේ යයි කියා ඇති කර ගන්නා ලද ණුවනැස.
අතීතයෙහිද භවයට අනුරූපීව උපත ලැබීම සිදු විය.භවය නොමැති වු විට ම උපත ද ඇති නොවී යයි කියා ඇති කර ගන්නා ලද ණුවනැස.
අනාගතයෙහිදී ද භවයට අනුරූපීව උපත ලැබීම සිදුවන්නේ ය.භවයක් නැතිනම් උපතක් ද ඇති නොවන්නේ යයි කියා ඇති කර ගන්නා ලද ණුවනැස.

විස්තරය.

ඉහත ඉපදීම සැලසුම් කරන්නේ අපට ඔනැ ලෙසටද යන මාතෘකාව යටතේ ඇති විස්තරය සිහිපත් කරන්න. එවිට යම්ම ජිවියකු ලෙසින් හෝ උපත ලබනවා කියන කාරනාව සිදුවන්නේ යම් විශේෂ හේතුවක් නිසා මිස ඉබේ නොවන බව ඔබට එයින් වටහා ගත හැකිය. මේ ධර්මය විමසා බලන විට එය සිදුවන්නේ කෙලෙසකදැයි කියා ඔබට වටහා ගත හැකි වනු ඇත.

භවය යන වචනයේ තේරුම් කොතෙක් තිබුනද මෙහිලා ගැලපෙන හොදම තේරුම වන්නේ විපාක පිණිස කර්ම සක්ස් වීම කියන කාරණාව ය. භවය යන්නට වේ වෙති විය වීම යන අරුත් සැපයිය හැකි නමුදු අප බුදු රජාණන් වහන්සේ විසින් භවය යන්නට ඉතාමත්ම ගැලපෙන ඉහත සදහන් විපාක පිණිස කර්ම සකස් වීම යන අදහස අංගුත්තර නිකායේ තික නිපාතයේ භව නමින් සදහන් වන සුත්‍ර දේශනාවේදී වදාළ සේක.

එය ‍එහි ඇති පරිදි මෙසේය. භවෝ භවෝ ති භන්තේ වුච්චති කිත්තාවතනු ඛෝ භන්තේ භවෝ ති යි අනද මහ තෙරුන් වහන්සේ විසින් ස්වාමීණි භවය භවය යයි කියනු ලැබේ භවය යයි කියනු ලබන්නේ කුමකටද?

එවිට භාග්‍යවතුන් වහන්සේ කාම ධාතු වේපක්කඤ්චානන්ද අපිනු ඛො කාම භවං පඤ්ඤායේථ යයි අසා වදාළ සේක.

ආනන්දයෙනි , කාම ලෝකයෙහි විපාක පිණිස කර්ම සක්ස් වෙලා නැත්තම් කාම භවයක් තියේ විද ? කියා අසා වදාළ සේක. එසේ නැත ස්වාමීනි යි අනද තෙරුණුවන්ගේ පිළිතුර විය. එසේම එහි දුතිය භව සුත්‍රය තතිය භව සුත්‍රයයි සදහන්ව ඇති සුත්‍ර දේශනාවන් තුල රූප ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වු‍නේ නැත්තම් රූප භවයක් තියනවද ? අරූප ලෝකයේ විපාක පිණිස කර්ම සකස් වීමක් නැත්තම් අරූප භවයක් තිබේදැයි කියා අසා වදාරා ඇත. එයින් මේ භවය යන වචනයට ඉතාමත් ම ගැලපෙන අදහස විපාක පිණිස කර්ම සකස් වීම යයි කියා මනාව කිව හැකිය.

මෙසේ බලන කල

කාම භවය
රූප භවය
අරූප භවය

ලෙසින් සදහන් මේ භවයන් තුනකි. කාම ලෝක‍යේ විපාක පිණිස කර්ම සක්ස් වී නම් එය කාම භවය කියාද රූප භවයෙහි විපාක පිණිස කර්ම සකස් වී ඇත්තම් එයට රූප භවය ක්‍රියාද, අරූප භවයෙහි විපාක පිණිස කර්ම සකස් වී ඇත්නම් එය අරූප භවය කියාද කියනු ලැබේ.

මේ ගැන මැනවින් සිතා බලන්න මේ ඔබ ජිවත් වන ලොව තුල ඇති අනන්තවත් උදාහරණ තුලින් ඔබට මේ භවය නිසා උපදිනවා කියනු ලබන කාරණාව වටහා ගැනීමට හැකි වේ එය විමසා බැලිය යුත්තේ ඉහත සදහන් බව සුත්‍රයන්ට අනුරූපීවයි. එනම් කාම ලෝකයේ විපාක දීම පිණිස කර්ම සකස් වීම ගෙන බලන්න. කාම ලෝකය යනු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ නම් වු පංච කාමයන්ගෙන් සතුටු වන සුළු ලෝකයයි. එයට කාම ලෝකය කියාද කාමාවචර ලෝකය කියාද කියනු ලැබන අතර ඒවා 11කි.


අපාය භූමි 4
මනුෂ්‍ය ලෝකය
දිව්‍යලෝක හය

අපාය භුමි සතරෙහි යම් කෙනෙකු උපත ලබන්නේ එහි යාමට අවශ්‍ය කරන අකුසල් වැඩි වීම නිසාය. එසේ ම මනුස්‍ය ලෝකය තුල උපත ලබන්නට පින ඇති අය මිනිසත් ලොවටද එයටත් වඩා පිනෙන් මහත් සේ පොහොසත් අය දිව්‍ය ලෝක වලටද ඇදී යති. එය සිදුවන්නේ ඒ ආකාරයෙනි. මිනිසත් ලොවේ උපදින සැම කෙනෙකුම එක හා සමාන නොවන අතර රූප විලාසය, ආකල්ප, හා බාහිර ඇවැතුම් පැවැතුම් ආදිය ද එකිනෙකාට වෙනස් වේ. කෙනෙකු ඉතාමත් යස ඉසුරින් පිරුණු දෙමව්පියන් කරා ඇදී එන අතර තවෙකෙකු අන්ත අසරණ දුගී දුප්පත් පැල්පත් කරා ද ඇදී යනු ලබයි. ඔබ මෙයින් කොතන ඉපදුන කෙනෙකු වුවද කල්පානා කොට බැලිය යුත්තේ මෙලෙස වු වෙනස් කම් සහිත ලෝකයේ තමා මෙවන් තැනකට පත්වුයේ කුමක් නිසාදැයි සිතා බලන්න ඔබට එය මැනවින් තෝරා ගත නොහැකි වනු ඇත. කිමද එය එසේ සිදු වන්නේ භවයට සාපේකෂවය. ඔබ උපන් ප්‍රදේශය, ඔබගේ දෙමව්පියන් ,හා අනෙකුත් හැම දෙයක් ම ඔබට ලැබෙනුයේ මේ විපාක සකස් වෙන ආකාරයට අනුව යයි කිව හැකි නමුදු සියල්ල පෙර කරපු කර්මයෙන් ම සිදුවේ යන්න මෙහිලා නොකියන බවද තරයේ සිතට ගත් යුතුය.

එසේ ම තවද කිවයුත්තක් ඇත එනම් මේ මොහොතේ සිදු කරනු ලබන කර්මයේ මෙලොව විපාක දිය හැකි කර්ම ශක්තියක් ද ඇති බවය. එවිට ඔබට එහි විපාක විදින්නට ද සිදුවන අතර ඒ අනුව ඔබ කායිකවත් මානසිකවත් නිතැතින් වෙනස් බවට පත්වේ මෙයද එක්තරා ආකාරයක ඉපදීමක් නොවේද...?

උදාහරණයක් ලෙස මෙලෙස සිතා බලන්න. දෙමව්පියන්ට ඉතාමත් ම කීකරුව පසුවන දෙමව්පියන්ගේ ආදරය මැද සැපසේ වැඩෙන දරුවකු ගැන සිතන්න. ඔහු විසින් දෙමව්පියන්ට මුහුණ දිය නොහැකි ආකාරයේ වරදක් කලා යයි සිතන්න එවිට සිදු වන්නේ කුමක් ද ? තමන් කරන ලද වරදින් මානසිකව පිඩාවට පත්වන ඔහුට දෙමව්පියන් ලගට යාමට අපහසු බවක් බිය සහිත බවක් ‍ඇතිවේ. දෙමව්පියන්ගේ නොමද ආදරය මැද වැ‍ඩුනු දරුවා තුල ඒ ඇති වන වෙනස දකින දෙමව්පියෝ මෙසේ කියනු ඇත. ඈ දරුවෝ ඔයාට අද ‍මේ මොකද වෙලා තියෙන්නේ, මෙච්චර හොදට හිටපු එකාට එකපාරටම මේ මොකද වුනේ යනුවෙන් පවසනු ඇත. ඒ වෙනස් කම් පවා ඇතිවනුයේ වර්ථමාන මොහොතේ සකස්වෙන විපාක වාරයන් නිසාය. එබැවිනි සියල්ල පෙරකරපු කර්මයෙන් ම සිදු වන්නේ යයි කියා නොගත යුතු වන්නේ. ඉහත සදහන් කරුණ කුසලයක දී ද එලෙසටම බලපානා බව ඔබ දතයුතුය. දිනෙන් දින මොහොතින් මොහොත කල්පනා කරන පිළිවෙල වෙනස්කම් වලට බදුන් වෙන අතර ඒ අනුවම ගොඩනැගෙන භවයට අනුව ජිවත් ව ගත කරන ජිවිතයේ විවිධ වු වෙනස් කම් සිදු වීමද සිදු වන්නේම ය.

ඒ බැවින් උපත ලබා දෙන විපාක පිණිස කර්ම සක්ස්වීම ගැන අප මෙලෙසට දත යුතුය. අතීතයෙහිද විපාක පිණිස කර්ම සකස් වුයෙන් ඉපදීම සිදු ව ඇත. විපාක පිණිස කර්ම සක්ස් වීමක් සිදු නොවු කලෙකම ඉපදීම සිදු නොවීය. අනාගතයේ විපාක පිණිස කර්ම සකස් වී‍මෙන් ම එයට අනුරූපීව ඉපදීම සිදුවන්නේ ය. විපාක පිණිස කර්ම සකස් වීමක් නොවන්නේ නම් ඉපදිමක් ද සිදු නොවන්නේ ය. මේ පවත්නා ජිවිතයේ දී ද විපාක පිණිස කර්ම සකස් වන බැවින් ම ඉපද සිදුව ඇත. විපාක කර්ම නොමැති නම් ඉපදීම නිරුද්ධ වනු ඇත කියාය.

මෙලෙසට භවයට අනුරූපීව ජාතිය සිදුවන ආකාරය ගැන ණුවනැස ඇති කර ගැනීමෙන් උපත ලද සත්වයන්ගේ ජිවිත පිළිබද අවබෝධය ලබා ගත හැකිවන අතර එයින් අති මහත් දුෂ්කර තාවයන් විශාල ප්‍රමාණයක් ඔබෙන් සදහටම මැකීයනු ඇත . එසේ ම එයින් ම ඔබට මේ අදුරු දුරවබෝධ වු ජරා මරණාදි සියළු දුක්කයනට හේතුව වු ඉපදීම සිදුවන කාරනාව ගැන මැනවින් වටහා ගත හැකි වනු ඇත. එයින් ඔබ ඒ මායාකාරී ලෝකයෙන් මිදී ඒ ශාන්ත වු අමා නිවන් සුව අව‍බෝධ කර ගැනීමේ මාවතට සපමැණියකු බවටද පත්වනු ඇත.

උපාදානයන් නිසා ඇති වන විපාක පිණිස කර්ම සකස් වීම නොහොත් භවය.

අප පටිච්ච සමුප්පාදය ගැන ඉගෙන ගනිද්දි කතා කරනු ලබන්නේ අප දැන් පත් ව සිටිනා ඉරණමට සාපේක්ෂකවය. එසේ සිදු වුයේ ඇයිද කියන කාරණාව හොයාගෙන යන පිළිවෙලකට අප මන‍ස ප්‍රඥාවෙන් යුතුව මෙහෙයවාලන්නේමු. අප මෙ වන විටත් කායික දුකටත් මානසික දුකටත් පත්ව සිටින අතර එසේ ම සංසාර ගත සත්වයන් විසින් ගොදුරු වන සුළු හැම දුකකටම ඇද වැ‍ටීමේ ඉරනමද අප වෙත ඇත්තේ ය. බුදු රජාණන් වහන්සේ විසින් අපට පෙන්වා දුන් අයුරින් ජිවිතයේ යථාර්ථය විමසා බලන විට පෙනෙනා මෙම සත්ය්‍ය තාවය පසක් කරගැණීමට අප උපකාර කර ගත යුතු චින්තන පිළිවෙල ජරා මරණ නම් අප වැ‍ටී සිටින තත්වයත් එයට හේතුන් ලෙස ජාතායත් ජාතියට හේතුව භවය ලෙසත් අප ඉහතින් කතා කර ඇති අතර මෙම ලිපියෙන් අප කතා කෙරුමට බලාපොරොත්තු වන්නේ . භවය ඇතීවීමට හේතුව නම් වු උපාදාන පිළිබඳවය.

භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළේ.. උපාදාන පච්චයා භවෝ... උපාදනයන් නිසා තමයි භවය (විපාක පිණිස කර්ම) සකස් වෙන්නේ කියායි. එසේ සදහන් උපාදනයන් සතරක් ඇත්තේ ය. එවා නම්



01 කාම උපාදානය
02. අත්ථ වාද උපාදාන
03.දිට්ඨි උපාදාන
04.සීලබ්බත උපාදනා.

ඉහත සදහන් සතර වැදෑරුම් වු උපාදානයන් නිසාය භවය නොහොත් විපාක පිණිස කර්ම සකස්වීම සිදු වන්නේ. ඒවාට මේ උපාදාන යන නම තබා ඇත්තේ කුමක් සදහාද යන වගද අප මැනවින් පැහැදිලි කරගත යුතු ය. එනම් ‍උපාදාන යන්නෙහි තේරුම බැදීමය යන්නය. එයින් ගම්‍ය වන අදහස බැ‍දීයනවා යන අදහසයි. බැදීයනවා යනුවෙන් පවසන්න පැහැදිලිව වටහා ගැනීම පිණිස මේ උපමාව ගෙන සිතා බලන්න..

යම් කෙනෙකුගේ අත් කකුල් බැඳ දමා යම් තැනකට රැගෙන යන්නේ යයි සිතන්න එවිට ඔහුගේ අත් හා පා බැද තබානම් සරීරය සෙලවීමකුදු කර ගත නොහැකි වන සේ බැදී පවතින්නේ නම් එවිට එහි දී ඒ බැදීමට ලක්වු පුද්ගලයාට සිදුවන දේ ගැන සිතා බලන්න ඔහුට කර කියා ගත හැකි ‍දෙයක් නැත්තේ ය. කටත් බැඳ තබා ඇත්නම් කැ ගැසීම් මාත්‍රයකුදු කල නොහැක්කේ නොවේද ‍මෙම උපමාව ගැන මැනවින් සිතා බලන්න ඉන්පසුව පහත විස්තරයන් කියවන්න එවිට අපගේ භාග්‍යවත් වු බුදු සමිදාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රි සද්ධර්මයෙහි උපාදන යන්නෙන් පවසා ඇත්තේ කුමක් ද යන වග මැනවින් ඔබට පසක් කරගත හැකි වන්නේ ය.

කාම උපාදනය.- රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ යන පඤ්ච කාමය‍ට බැදීයාම කාම උපාදනයයි. ඇසින් රූප දැකීමත් , කණින් ශබ්ද ඇසීම ආදි කොටැති ඉන්දිරි ස්පර්ෂයන් හමුවේ බලවත් ලෙස බැදීයාමක් මෙම සත්වයාට ඇත්තේ ය. එබැවින් ඒ බැදීයාමෙන් නිදහසක් නොලබන සත්ව තෙමේ ඇස කණ නාසාදී ඉදුරන් හමුවේ අසරණ වන්නේ ය. ඔහු විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් අකුසලයට බර වන අතර ඒවා ඉක්මවා යාමේ හැකියාව මෙම උපාදානයන් නිසා දුර්වලව යන්නේ ය. එවිට ඔහු විසින් මේ උපාදානයන් හමු වේ බැදී නානා කුසලා කුසල කර්මයන් රැස් කරමින් සිටින්නේ ය. එසේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ යන පස් වැදෑරුම් අරමුනු කෙරෙහි සිතේ ඇති වන බැදීයාම කාම උපාදානයයි.

අත්ථ වාද උපාදාන- රූප වේඳනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ නාම රූප යන මේ පඤ්ච උපාදනස්ඛන්ධයන් පිළිබඳව හෝ ඒවායෙන් එකක් පිළබඳව මම කියා හෝ මගේ කියා හෝ මගේ ආත්මය වශයෙන් හෝ බැදීයාම අත්ථ වාද උපාදානයයි. රූපාදී ස්ඛන්ධයන් ගැන අප සැමට ඇත්තේ ඒවා හා තමන්ගේ සෘජු සම්බන්ධයක් පවතින බවය. එවාගේ ක්‍රියා කාරිත්වය සම්පුර්ණයෙන් ම පාහේ සිදු වනු ලබන්නේ තමන්ට ඕ‍නෑ ආකාරයෙන් ය තමන්ගේ කැමැත්තට ගැලපෙන පරිද්දෙන්යයි බොහෝ විට අප කල්පනා කරනු ලබන්නෙමු. එසේ නමුදු ඒවා තුල එවන් ආත්මීය ස්භාවයක් නැති අතර ඒවා ඒ ඒ ධර්මයන්ගේ ස්භාවයට අනුව ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ය. ගිනකන්දකට ගිනි දල්වන්නෙක් නැත්තේ ය. ගිනිකන්දක් ඇතිවීමට ඇති හේතු ඇති කල්හි ගිනි කන්දක් නිර්මාණය ‍වන්නේ ය. එසේ ඒ ඒ රූපාදිය පැවැත්මට අවශ්‍ය හේතු ඇති කල්හි එවා පවතින්නේ ය. එසේ නමුදු අප නිරන්තරයෙන් සිතා සිටිනුයේ එවා කෙරෙහි මම මගේ මගේ ආත්මය කියාය එසේ සිතා ඒවා කෙරෙහි අප බෑදී පවතින්නේ ය. එය අත්ථ වාද උපාදානයයි කියනු ලබන්නේ ය.

දිට්ඨි උපාදන -දිට්ඨි වලට මතවාද වලට බැඳීයාම දිට්ඨි උපාදනයයි.මෙය මැනවින් හදුනා ගත යුතුය. අප යම් ආකාරයෙක දැක්මක සීටීද එය අපගේ දෘෂ්ඨිය වශයෙන් දැක්විය හැක්කේ ය. උදාරණයක් වශයෙන් පවසතොත් දේශ පාලන පක්ෂ කෙරෙහි ඇති ලැදියාව වනාහි දෘෂ්ඨි උපාදනය මුල්කරගෙන පවතින්නකි. සිංහල දෙමල මුස්ලිම් ඈ ජාති වාදී හැගීම් ආදිය පව පවතින්නේ දෘෂ්ඨි උපාදනයන්ට අනුවයයි සිතමි. එසේ ම සියළු සංස්කෘති ලැග්මවල් පවතින්නේ ද දෘෂ්ඨි උපාදනයන්ට අනුවයැයි සිතමි.

සීලබ්බත උපාදන. මේ සංසාරය තුල ඇති භයානක ඉරණම දැක ගැනීම හා ඒ ඉරණමින් මිදීමේ මග කයත් වචනයත් පමණක් මෙහෙයා කටයුතු කිරීමෙන් පමණක් ලැබෙන්නක් නොව ඒවා එයට උපකාර වත් වුවද එහි සියලු කාර්ය්‍යන් සිදු කරනු ලබන්නේ ප්‍රඤ්ඤාවේ මෙහෙය වීම මතය. එසේ නමුත් මේ ගැන අවබෝධයක් නැති ප්‍රජාව තුල නිරන්තරයෙන් නොයෙක් වත් පිලිවෙත් හා වෙනත් සීලාදී තපස් ගුණයන් තුලින් පමණක් ම නිවන් අවබෝධය සිදුවන්නේ යයි සිතා කටයුතු කීරීමෙන් ඒ ඒ සීල වෘත වලට බැදී ඒවාට අනුවම කටයුතු කරමින් නිවන් මග ආසන්නයට ද පැමිණිය නොහැකි වන්නේ ය. එබැවින් එවන් සීල වෘත වලට බැඳියාම සිළබ්බත උපාදානයයි. ‍මගේ පුද්ගලික් අදහසට අනුව සාසනික සීල ක්‍රම පවා ආධ්‍යාත්මික් අවබෝධය කරා මෙහෙයවන ප්‍රඤ්ඤාවකින් තොර නම් එවිට එහි ඇත්තේ ද සීලබ්බත උපාදන තත්වයක් යනුයි.

ඉහත සදහන් උපාදානයන්ට අනුව භවය සැකසෙන අයුරු. භවය යනු විපාක පිණිස කර්ම සකස් වීමයයි කියා මුලදී අප කියා දී ඇත්තේ ය. එය බුදු සමිදාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ තික නිපාතයේ දී මැනවින් පහදා වදාරා ඇත්තේ ය. එබැවින් ඒ විපාක පිණිස කර්ම සකස් වීම නොහොත් භවය උපාදානයන් නිසා ‍සිදුවන අයුරු මෙසේ දත යුතුය. කෙනෙකු කාමයෙන් බැඳ ඇති කල ඔහුගේ ක්‍රියා කලාපය කාමයන් උදේෂා කරනු ලබන අතර එහි විපාක ඒ අයුරින්ම ලබන්නට සුදුසු වන්නේ ය. තරුණ දුවක් සිටිනා මව් කෙනෙකුන් අනියම් සම්බන්ධයක් පවත්වා ඇති විටක එම මවගේ තරුණ දියණිය ද තම මවගේ සැමියා හටම ආලක කර ඇත්තේ ය. අන්තිමේදී මවත් දියණියත් අතර එකම පිරිමියෙකු වෙනුවෙන් සටනක් දියත් වු අතර එයින් මව තම දියනිය සොර සැමියා ලවා මරවා දමන්නට යෙදුනේය. කිසිවෙකුත් විස්වාස නොකරන සුළු මේ සිදුවීම ශ්‍රි ලංකාවේ සිදු වු සත්‍ය සිද්ධියකි. එය පොලිස් වර්ථා ගවේෂණය කරබලන්නෙකුට සොයා ගත හැකි වනු ඇත. මේ සිදුවීම හා බැඳි ඇති ධර්මතාවයන් දෙස බලන්න මෙය සාමන්‍යයෙන් සිදු නොවන්නක් වන අතර එවැන්නක් සිදු වීමේ ඉඩ කඩ ඉතාමත් ම විරලය. එසේ නමුදු දරු සෙනෙහසද නොතකා කාමයන්ගේ පෙළඹ වීමෙන් මවක් තම දියණිය මරණයට පත් කොට ඇත්තේ ය. කාම උපාදානයන් නිසාවෙන් විපාක පිණිස කර්ම සකස් වන අයුරු මේ සිත් කුසල අකුසලට පොළඹවන අයුරු ඔබට මෙයින් මැනවින් පසක් වනු ඇත්තේ ය. තවද අනෙකුත් උපාදානයන්ද මේ නයින් තේරුම් ගත හැකි වනු ඇතැයි සිතමි.

විපාක පිණිස කර්ම සකස් වීම නොහොත් භවය ඇති වීම පිණිස පවතින උපාදන විසත්රය නිමියේය....

Posted by SLN | at 6:09 AM

3 comments:

Anonymous said...

Thanks.!

Unknown said...

Me lipiya hamoma kiyawanna ona ekak. Api jeewath wenne mona wage thathwayakada, api hamoma kochchara dewal walata mula wela innawada! Loke thiyana bandeem nisa minissunta meka therum ganna amaruyi. Mokada minissu kamathi na thaman sapen sathutin inna jeewithaya nathi kara ganna. Sathya yam thaak durata ho therum gath kenekuta witharayi e thula thiyana bhayankarathwaya therenne. E nisa hamoma meya therum gena katayuthu karanna ona.

Unknown said...

පටිච්ච සමුප්පාදයේ ඉතිරි ඵ්වා දමන සේක්වා.

Post a Comment