මහා රහතුන් වැඩි මග ඔස්සේ....
මහා රහතුන් වැඩි මග ඔස්සේ.... සම්පූර්ණ ලිපි පෙළ-
පළමු අර්ධය - මෙතැනින් සිට පහලට....
මහා රහතුන් වැඩි මග ඔස්සේ.... සම්පූර්ණ ලිපි පෙළ-
පළමු අර්ධය - මෙතැනින් සිට පහලට....
Posted by SLN | at 12:47 PM | 0 comments
"මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, "දක්‍ෂ", ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යයාමය උපකාරයක්‌ම වේවාෘ ශක්‌තියක්‌ම වේවා! මාර්ගයක්‌ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට ඔබ නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා.." යෑයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ. පැවිදිව නිවන් මග වැඩීමට බලාපොරොත්තුවන ඔබ ගිහිව සිටින කාලයේදී ගිහිවත සම්පූර්ණ කිරීම පැවිදිව නිවන් මග වැඩීමට පහසුය. ඔබ ගිහිවත සම්පූර්ණ කර නොමැති නම් නිවීමේ අරමුණ සඳහා පැවිදිවීමට ඉක්‌මන් නොවන්න. ගිහිවතේ තිඹිරිගෙය ගමේ පන්සලය. පන්සලේ ස්‌වාමීන් වහන්සේලාගේ ස්‌වභාවයන් විවිධ වුවද ඒවා ඔබට අදාළ නොවන බව සිතන්න. අනිත්‍ය ස්‌වභාවය නිසා විවිධත්වයක් ඇතිවීම ස්‌වභාවිකය. අප පුදුම විය යුත්තේ එසේ නොවුණහොත්ය. අනුන්ගේ වැරැදි ඔබ අතහරින්න. ඔබ ඔබේ අරමුණ කරා යන්න. පන්සලේදී හැමෝගේම සේවකයා, දාසයා ඔබ වන්න. නිදහසේ ජනතාවට වඳින්න පුදන්න සිල් පිරිසට සිව්පසය සපයන්න ඔබ මැදිහත් වන්න. අනුන්ගේ පැමිණීම දායකත්වය ඔබ නොසොයන්න. ඔබේ අරමුණ උදෙසා වෙහෙසවී සියල්ල කරන්න. හැමගේම සිත් තුළ ඇතිවන කරුණාව මෛත්‍රියෙන් ඔබ ඔබේ ආධ්‍යාත්මික ශක්‌තිය ලෝකයට හොරෙන් ශක්‌තිමත් කරන්න. ඔබ සිදුකරන සෑම ක්‍රියාවකට අනිත්‍යය දකින්න. ඔබ මැදිහත්ව කළ ද එහි මුල් තැන අන් අයට දෙන්න. අත්හැරීම පුරුදු කරන්න. සැවොම සතුටු කර ඒ පිනෙන් ඔබ ශක්‌තිමත් වන්න. දායකයන් උදෙසා බෝධිපූජා, පෙරහැර, කඨින පිංකම්, දානමාන සංවිධානය කොට ඔබ ඒවායේ අනිත්‍ය පමණක් දකිමින් ආධ්‍යාත්මික වශයෙන් ශක්‌තිමත් වන්න. අනුන්ගේ කුස පුරවා ඔබ නිරාහාරව ඉන්න. ඒ බව අන් අයට නොහඟවන්න. වයෝවෘද්ධ ස්‌වාමීන්වහන්සේලා සිටී නම් උන්වහන්සේලාට උපස්‌ථාන කර උන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. සමාජසේවයට කැපවී අනුන් සතුටුකොට අනුනට සේවයක් කොට ඔවුන්ගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. ලාභය කීර්තිය ප්‍රධානත්වය නොව, තම ඉලක්‌කය නිවන් මගය කියා අරමුණ සිහිකරන්න. ලෝකයට කොතෙක් මහන්සීවී වැඩ කළද පොඩ්ඩ වැරදුන විට ලැබෙන්නේ ගල්මුල් දොස් පරොස් බව ඔබ දකින්න. විවේචන, අසත්පුරුෂකම්, නොසලකාහැරීම්, ලෝකයේ ස්‌වභාවය බව දකින්න. අප පුදුමවිය යුත්තේ ඒවා නොමැති නම් බව සිතන්න. අනුන්ට සේවය කරමින් අනුන්ව සතුටු කරමින්, ගුණ අගුණ අසමින් අනිත්‍යය දකින්න. ලෝකයේ ස්‌වභාවය මෙනෙහි කරමින් ලෝකයෙන් ගත හැකි සියල්ලෙන් ඔබේ ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්න. රෝගීන්ට උපස්‌ථාන කිරීමට මැලි නොවන්න. රෝගියෙක් යනු දේවදූතයෙක් බව දකින්න. රෝගියාගේ කයේ ස්‌වභාවය, ඔහු විඳින වේදනාවේ ස්‌වභාවය, රෝගයේ ස්‌වභාවය ඔබට ද පොදු බව සිතන්න. ඔබේ ස්‌වභාවයද එයම බව දකින්න. ඔහුට උපස්‌ථාන කර ඔහුගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. ඔබ මාස දෙක තුනකට වරක් මහ රෝහලට, ළමා රෝලට, පිළිකා රෝහළට ලෙඩුන් බලන මුවාවෙන් යන්න. අසාධ්‍ය රෝගීන් සිටින වාට්‌ටුවල ඇවිදින්න. ඔබ රෝගීන්ගේ දුක බෙදාගැනීමට නොයන්න. වේදනාවෙන් ලතෝනි දෙමින් ඔබට ඇසෙන හඬ ඔබේම හඬ බව අවබෝධ කරගන්න. පිළිකා රෝහලේ හිසකෙස් ගැලවී ගිය. පියයුරු ඉවත් කළ රෝගී පිංවතුන් ඔබ කමටහන් කරගන්න. හින්දි සිනමාවේ සුරූපීම ශිල්පිනියටද ශිල්පියාටද මෙම ස්‌වභාවය පොදු බව දකින්න. ඔබේ සිතට නිතර රාග සිත් ඇතිවේ නම් ඔබ කාන්තා රෝහලකට ගැබිනි වාට්‌ටුවට ලෙඩුන් බලන වේලාවට යන්න. දරු ප්‍රසූතියට සූදානම් වූ සහෝදර මව්වරුන්ගේ වේදනාත්මක හැසිරීම් රටා ඒ අයගේ ස්‌වභාවය මනුෂ්‍යත්වයෙන් සහෝදරත්වයෙන් දකින්න. එය ඔබගේ රාග සිත මරා දමනු ඇත. පාරිභෝගික විසිතුරු ලෝකයේ ඔබ මුළා කරන රස නහර පිනායන පාරිභෝගික ද්‍රව්‍ය පිරීගත් සුපිරි වෙළෙඳ සංකීර්ණවල සෑම ආහාරයක්‌ම මේ කය පෝෂණය කිරීම සඳහාය යන්න දකින්න. එහිම රාක්‌කයක ඇති විසිතුරු දවටනයක බහාලු සනීපාරක්‍ෂක තුවා ඇත්තේ කුමන අපද්‍රව්‍යයක් සඳහා දැයි නුවනින් දකින්න. මලු පුරවා කරත්තය තල්ලුකොට උජාරුවට බඩු ගෙනගියද අප සැවොම පෝෂණය කරන්නේ අපවිත්‍ර ශරීරයක් බව දකින්න. හැමදෙයක්‌ම කමටහන් කරගැනීමට ඔබ දක්‍ෂවන්න. ඔබ බසයක යනවා නම් ඔබ වාඩිගත් අසුන සුදුසු ඕනෑම අයකු වෙනුවෙන් දීමට මැලි නොවන්න. ඔබ කතරගමට යැමට කොළඹින් බසයක නැඟ පානදුරට ළංවෙද්දී, ඔබගේ අසුන් සුදුසු යමෙකුට ලබාදීමට අවශ්‍යවුවහොත් ඔබ එය පරිත්‍යාග කරන්න. තව යැමට ඇති දුර ගැන නොසිතන්න. ඔබේ සැප අන් අයගේ වුවමනාව උදෙසා කැපකරන්න. අන් අය ඔබට අවඥාවෙන් සිනාසුනිද එය නොතකන්න. සේවය ලැබුණු කෙනාගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. ඔබේ නිවන් මඟ උදෙසා ලෝකයාගෙන් ගත හැකි ශක්‌තිය ඔබ උපක්‍රමශීලීව නිදහසේ ලබාගන්න. අනුන්ව ආමිසයෙහි යොදවමින් ඔබ ප්‍රතිපත්තිය වඩන්න. ලෝකය මුළාකොට ඔබ ලෝකයෙන් එතෙරවීමට මඟ හදාගන්න. නිවන් මඟ සොයායැම ලෝකයේ ඇති ආත්මාර්ථකාමීම ක්‍රියාව බව සිතන්න. සියල්ලන් අත්හැර, සියල්ලන්ම කමටහන් කොටගෙන ඔබ ලෝකයෙන් එතෙර වන්න. ඔබ සුවසේ ලෝකයෙන් එතෙර වීමට දක්‍ෂ වුවහොත්, ලෝකයාගේම යහපත උදෙසා ලෝකයාගේම පරාර්ථය උදෙසා ඔබට මහන්සි විය හැකිය. පරාර්ථය උදෙසා වර්තමානයේ ඔබ ආත්මාර්ථකාමී වන්න. ඉහත ක්‍රියාකාරකම් තුළින් ඔබ ලබන සතුට ආරක්‍ෂක දෙවියන්ටද අනුමෝදන් කරන්න. ඔබ යන ගමනේදී බාධක මගහැර ආරක්‍ෂාව සලසාගැනීමට නොපෙනෙන බලවේගද සතුටුකොට, ඒ අයගේ ආශිර්වාදයෙන් ඔබ ශක්‌තිමත් වන්න. අත්හල යුතු දේවල් අත්හැරීමට උත්සාහ ගන්න. අත්හල යුතු දේවල් අත්හැරීමට අවශ්‍ය වේලාව පැමිණෙනතෙක් ප්‍රමාද කරන්න. ඉක්‌මන් නොවන්න වගබලාගන්න. ඔබ හැමවිටම ඔබේ සිතේ අවිචාරවත් බව විචාරයට ලක්‌කරන්න. සිත විමසන්න. ඔබේ සිතට ඉහළින් ඇති ප්‍රඥාවේ ඇසින් නිරතුරුවම සිත සමග පිළිසඳරේ යෙදෙන්න. ඇතිවෙමින් නැතිවෙන සිත ප්‍රඥාවේ ග්‍රහණයට ගැනීමට සියුම් ලෙස පුහුණු කරන්න. ඔබ තවමත් ගිහි පිංවතෙකි. ඔබේ ඉන්ද්‍රියන් කැමති හැමදෙයක්‌ම අත්දැකීමෙන් රස විඳ බලා එහි අනිත්‍යය දකින්න. ඔබට ඒ නිදහස තවම ඇත. අත්නොවිඳ, අත්නොදැක අනිත්‍යය දකින්නට යැමෙන් ඔබට ඉදිරියේදී ප්‍රශ්න මතුවීමට හේතුවිය හැකිය. ඔබ වැඩියෙන් ආශා කරන, කැමති දෙයක් වෙතොත්, නැවත නැවත ඒ දෙය රසවිඳ ඒ කැමැත්තෙන් මිදෙන්න. කැමති දෙය අත්දකිමින් අත්විඳිමින්, අවබෝධය ලබමින්, අනිත්‍යය දකිමින්, අත්හැරීමට පුරුදුවෙමින් "ගිහිවත" සම්පූර්ණ කොට නිවන් මඟ වඩන්නට සසුන්කෙතට පියනඟන්න. ගිහි ජීවිතය තුළ ඔබ සිත පමණක් පැවිදිකරගන්න. ඔබ පුරුදුකරන්න, අවම සම්පත් සමග හුදෙකලාව ගත කරන්න. ඔබ පරීක්‍ෂාකර බලන්න පාවහන් නොදා ඔබට ගල් බොරළු මත ඇවිදිය හැකිද කියා. ඇඳුම් කට්‌ටල දෙකකින් ජීවත් වන්නට පුළුවන්ද කියා. ආහාර වේල් දෙකක් ඔබට ප්‍රමාණවත්ද කියා. ඔබ කැමතිම, ආශා කරනම රූපයක් ඔබට අතහරින්න පුළුවන්ද කියා. ඥාතීන්, ගේදොර අතහැර ජීවත් වීමට හැකිද කියා. ඔබ ඉදිරියට එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට ශක්‌තිය තිබෙනවාද කියා. පිළිතුර "ඔව්" නම් පැවිද්දට දැන් ඔබ සැබෑම සුදුස්‌සෙක්. ඉහත අත්දැකීම් ගැලපෙන්නේ ජීවිතයේ තරුණ වයසේ සහ ඉන් ඔබ්බට ගොස් ජීවිතාවබෝධයෙන් මේ ආත්මභාවයේදීම නිවන උදෙසා වීර්යය වඩන අධිෂ්ඨානසහගතව නිවන් මඟ වැඩීමට හැකි පිංවතුන්ට පමණක් බව හොඳින් සිහියේ තබාගන්න. ශාසනය ආරක්‍ෂා කරගැනීමට, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම, සුගති ප්‍රාර්ථනා කරන, රට ජාතිය ආගම ආරක්‍ෂාකිරීමට බලාපොරොත්තුව පැවිදි වන පිංවතුන්ට ඉහත ප්‍රතිපදාව අවශ්‍ය නොවන බව සලකන්න. මන්ද, එම උතුමන් දුකේ සිටිමින් දුකම ප්‍රාර්ථනා කරන, නොදැනුවත්භාවය නිසා ඉහත අරමුණු තුළ සැප ඇතැයි කියනා බලාපොරොත්තුව තබාගෙන සිටින නිසාය. එවැනි උතුමන් ආරක්‍ෂාකරදෙන සම්බුද්ධ ශාසනය ප්‍රයෝජනයට ගනිමින්, දක්‍ෂයා ලෝකයෙන් එතෙරවීමට උත්සාහවන්ත විය යුතුය. ඔබ ලෝකයෙන් එතෙරවීමට දක්‍ෂ වුවහොත් එය ශාසනය ආරක්‍ෂා කරන ගෞරවනීය ස්‌වාමීන්වහන්සේලාටද මහත්ඵල මහානිශංස කුසලයක් වනවා ඒකාන්තය.
Posted by SLN | at 12:44 PM | 0 comments
3 වැනි කොටස මේ ජීවිතය තුළදීම නිවීම සාක්‍ෂාත් කරගැනීම සඳහා වෙහෙසෙන භික්‍ෂුවකට නිදහස් පරිසරය අත්‍යවශ්‍යය. නිදහසට එක අර්ථයක් දිය නොහැක. ලෞකික. ලෝකෝත්තර වුවමනාවන් අනුව නිදහසේ අර්ථය වෙනස් වෙයි. කෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ගුරු පත්වීම්, රජයේ රැකියාව, දේශපාලනය නිදහස ලෙස දකියි. මේ කිසිත් වරදක් නොවේ. ඒ තම තමන්ගේ දෘෂ්ටීන්ය. එහෙත් ඒ ලොව්තුරා නිර්වාණ ප්‍රතිපදාව නොවේ. මෙහි සඳහන් කරුණු අදාළ වන්නේ ශාසනයේ හික්‌මෙන ළමා තරුණ භික්‍ෂූන් වහන්සේලා හට නොව, ජීවිතාවබෝධයෙන් ලෞකික සම්පත් දුක බව දැක, මේ සියල්ල තුළින් රැස්‌වන්නේ දුකම බව දැක, ගිහිබැමිවලින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිදීමේ ජීවිතයේදීම නිවීම සාක්‍ෂාත් කරගැනීමට ප්‍රතිපදාවේ යෙදෙන වීර්යවන්තයන්ටය. මෙවැනි සත් පුරුෂයන් විශාල පිරිසක් මේ ශාසනයේ සිටින බව සත්‍යයකි. ඒ මග යන්න ඔබ රුචිනම් ඔබටද මග විවෘතය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබට නිවැරදි මග කියාදී ඇත. නිදහස අර්ථවත් වීමට ඔබ මෙසේ සිතිය යුතුය. මා පැවිදි වූයේ අනුනට බණ කීමට, පිරිත් කීමට, පන්සල් ආරණ්‍ය පාලනය කිරීමට, නායක හිමිනමකගේ ඊළඟ උරුමක්‌කාරයා වීමට නොව, දිව්‍ය බ්‍රහ්ම සංඥ වැඩීවීමට නොව මේ ආත්මයේදීම නිවන් මග පරිපූර්ණ කරගැනීමට බව සිතීමට ඔබට ශක්‌තිය තිබිය යුතුය. ලොව්තුරා බුදු වදනට අනුව නිදහස යනු මෙසේ සිතන්නට හැකිවීමයි. මාරයාගේ ධර්මය අනුව නිදහස යනු මීට විරුද්ධය සිතීමයි. බුදු පුතකු ලෙස මුලින්ම ඔබට නිවීම ඇත්තේ බුදුරජාණන් වහන්සේ ළඟවත්, පිරිත් පොතේ, ත්‍රිපිටකයේ හෝ නොව තමා තුළම බව සිතිය යුතුය. ඉහත කිසිවක් තුළ නිවීම නොමැත. දැනුම, ආදර්ශ, මාර්ගය ඉහත කරුණු කාරණා තුළ ඇත. ඒ ගැන තර්කයක් නොමැත. ඔබ ධර්මය ඉගෙනීමට පොතපතට යොමු වුවහොත් ඊළඟට සිදුවන්නේ දැනුම, පණ්‌ඩිතභාවය වැඩිවී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා පැවැත්වීමට යැමය. එසේ නොමැති නම් මිහිරි ස්‌වරයෙන් බුදුමැදුරට, බෝ මළුවට කොටුවී පූජාවන් පැවැත්වීමටය. ගිහි දායකයෝ මේවාට ඉතා ප්‍රියයි. භික්‌ෂූන්වහන්සේටද ලැබෙන ලකුණු, ජනප්‍රියභාවය, සැලකිලි ඉහළය. දෙපාර්ශ්වයටම වැඩෙන්නේ ලෞකික කෙලෙස් ධර්මයන්ය. ඒවා සංසාරික සැප පිණිස හේතුවේ. අවසානයේ සියලු දේ අතහැර පැවිදිවූ හාමුදුරුවෝ දායක පිංවතුන් සතුටු කරන රූකඩයකි. මෙහිදී ඔබ දක්‍ෂ විය යුතුයි සියල්ල අතහැරීමට. හැබැයි ඔබට වඩා දක්‍ෂ මාර්ගය වැඩූ කල්‍යාණ මිත්‍රයන් ඔබ ආශ්‍රය කළ යුතුය. ඔබ එය මගහරින්න එපා, ඔබ ශක්‌තිමත් තැනකට එනතුරාවට, නිරතුරුවම ඔබ ඉදිරියේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බව, සැරියුත් මහෝත්තමයන්, මුගලන් මහෝත්තමයන් ඔබ ඉදිරියේ වැඩ සිටින බව, ඔබට අවවාද දෙන බව ඔබ සිතන්න, දකින්න, මීට වඩා ආරක්‍ෂාවක් අවශ්‍ය නෑ ඔබට.මෙම ගමනේදී, ඔබට හැමෝම කියාවී රැස්‌කරන්න කියලා. මොනවද? දැනුම, ගාථා පිරිත්, සූත්‍ර, අභිධර්ම, බණ... මේ සියල්ල ඔබ අතහරින්න, ඔබ සැහැල්ලුවන්න. හැම බරකින්ම නිදහස්‌වන්න උත්සාහ ගන්න. නිවීම කියන්නේ මෙහෙයුමක්. මේ මෙහෙයුමට ඔබට අවශ්‍ය වන්නේ තුන් සිවුරත්, පාත්‍රයත්, හුදෙකලා වන කුටියත් පමණයි. ඔබ ශීලයෙන් සමාධියෙන් පරිපූර්ණ බවට පත්ව ඇති බව ඔබට විශ්වාසනම්, ඔබගේ ශීලය ගැන ඔබට කුකුසක් නොමැතිනම්, වනයේ හුදෙකලා කුටියක් තෝරාගැනීමට ඔබ සුදුස්‌සෙක්. ඔබගේ ශීලය ගැන ඔබට විශ්වාසයක් නොමැතිනම් වනයේ කුටියක හුදෙකලා වීමට ඉක්‌මන් නොවිය යුතුය. ඔබ ශක්‌තිමත් නොවීම මාරයාට ගොදුරකි. වනයේදී ගල්කුටියේදී අමනුෂ්‍යයන් ඔබව වහලෙක්, රෝගියෙක්, මානසික ලෙඩෙක් කරනු ඇත. ඔබ පසුබට නොවන්න. මගවැඩූ කල්‍යාණ මිත්‍රයකුට කෙටි කමටහන් කිහිපයකින් ඔබව ශක්‌තිමත් කිරීමට හැකියාව ඇත. මෙහිදී ශීලය යනු ඔබ සාමණේරද, උපසම්පදාද, මොන නායක ස්‌වාමීන්වහන්සේගේ ගෝලයෙක්‌ද, යන්න නොව, ඔබ නිවැරැදි බවට ඔබ තුළ ඇති විශ්වාසය පමණි. ලොව්තුරා ධර්මය කෙරෙහි, ඔබ කෙරෙහි ඔබ විශ්වාසය තබන්න. අවශ්‍ය වේලාවට කල්‍යාණ මිත්‍රයකුගෙන්, ගුරුවරයකුගෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්න. තමාගේ ආරක්‍ෂාවට අවශ්‍යම මොහොතේදී පමණක් භාවිතයට තෙරුවන් වඳින ගාථා තුනක්, කරණීයමෙත්ත සූත්‍රයත්, කන්ද පිරිතත් ඔබ අර්ථ වශයෙන් දැන සිටියොත්, එය හොඳටම ප්‍රමාණවත්ය. ඉතිරි සියල්ල ඔබ අතහරින්න, අත්හැරීමේ ප්‍රමාණයට ඔබට නිවන් මග වැඩීම පහසුකරගත හැක. අන් සියල්ල ඔබ අතහැරීමට දක්‍ෂ වූයේ නම් පමණක්, ඔබ දැන් නිවන් මෙහෙයුමට සූදානම්ය. හැබැයි මේ වන විට ඔබ ළඟ පාවිච්චියට මුහුණ බලන කණ්‌ණාඩියක්, උණුවතුර බෝතලයක්, ශීතලට පොරොවන පෙරෝනයක්, මේ වගේ දේවල් තිබුණොත් ඔබ තවම සූදානම් නොමැති බවයි පෙනෙන්නේ. මොකද මේ සියල්ල තුළ තිබෙන්නේ "මගේ කයේ සැප" පිළිබඳ ෙච්තනාවයි. සියල්ල අතහරින්න. එතෙක් ඔබ සූදානම් නොමැත. මුහුණ බලන කණ්‌ණාඩිය අතහැරීමට බැරි කෙනකුට කය අතහැරීමට කීම විහිළුවකි. අනිවාර්යයෙන්ම ඔබට හැකිය. ඔබ නැවත නැවත බුදු සමිඳුන් සිතින් මවාගන්න. ඔබේ හදවතට වඩම්මවාගන්න. නිරතුරුව ඔබ උන්වහන්සේගේ සෙවණෙහි සිටින බව දකින්න. ඔබ හිමිදිරියේ පිණ්‌ඩපාතය වඩින විට ඔබ ඉදිරියෙන් බුදු සමිඳුන් වඩිනා බව දකින්න. සැරියුත්, මුගලන්, ආනන්ද මහෝත්තමයන් වහන්සේලා සිතින් මවාගෙන ඒ උතුමන් සමඟ සිතින් ජීවත්වන්න. උන්වහන්සේලා සමඟ හදවතින් මුමුණන්න. උන්වහන්සේලාගේ ඇවැතුම් පැවැතුම් ඔබේ ජීවිතයට එක්‌කරගන්න. උන්වහන්සේලා නිවන් අවබෝධ කරගැනීමට ගත් වෙර වීරිය මනසින් දකින්න. චක්‌ඛුපාල මහරහතන් වහන්සේගේ උත්සාහය සිතින් මවාගන්න. ඉහත උපක්‍රම භාවිතකොට ඔබ නිවන් මෙහෙයුමට සිත පුරුදු කරගන්න. මාර බැමි එකිනෙක කඩාදමමින්ද, අත්හළයුතු දේවල් අත්හරිමින්ද ඔබ සූදානම් වන්න. හැබැයි ඔබ ලෝකයා ඉදිරියේ රහතන් වහන්සේ කෙනකු ලෙස හැසිරෙන්න එපා. එවිට ඔබ වැටෙන්නේ මාරයාගේ මල්ලටය. ස්‌වභාවධර්මයත් ඔබත් දෙකක් නොව එකක් බවට පරිවර්තනය කරගන්න දක්‍ෂවන්න, ඔබ ඉදිරියේ තිබෙනා රූස්‌ස ගසත් ඔබේ කයත් සංසන්දනය කොට බලන්න. දෙකම ධාතූන්ගේ විවිධත්වය පමණක් බව දකින්න. ඔබ නැවතත් හිතන්න, ඔබ තවම මඟ වැඩීමට සූදානම් වන භික්‍ෂුවක් පමණයි. ඔබ හැකිතාක් විවේකීව සිටින්න. දිනකට මෙච්චර වේලා භාවනා කළ යුතුයි, රාත්‍රි නිදිවරා භාවනා කළ යුතුයි යන සිතිවිලි අනිත්‍ය වශයෙන් දැක අයින් කරන්න. ඔබ අධිෂ්ඨානයක් ඇතිකරගන්න. මා ප්‍රාර්ථනා කරන්නේ, වීර්ය වඩන්නේ මාගේ අවසන් හුස්‌ම මේ කයෙන් පිටවන මොහොතේ කිසිම ඇලීමක්, බැඳීමක්, ගැටීමක් නැතිව පිටකිරීමට පමණක් බව සිහිකරන්න. මොන හේතුවක් නිසාවත් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මාර්ග ඵල ගැන නොසිතන්න. ඒවා කෙළෙස් ධර්මයන් බව සිතන්න. මාර්ගඵල වලට ඇති ආශාව අතහරින්න. ඔබ මාර්ග ඵල තණ්‌හාවෙන් අනාගාමී වීමට ගියහොත් ඔබේ වටිනා ජීවිතය zඅනාගන්නාZ බව සිතන්න. විවේකීව සිතන්න. නිදිමතනම් නිදාගන්න. සරළව, පහසුව, නිදහස්‌ව සිටින්න. ඔබ මේ ආකාරයේ ප්‍රතිපදාවක යෙදෙන බව කිසිවෙකුට නොහඟවන්න. ඉන්ද්‍රියයන් හයට ඵස්‌ස වන සෑම රූපයක්‌ම අනිත්‍ය වශයෙන් දකිමින්, සිතත්, කයත්, පරිසරයත් සමග නොගැටී සිතන්න. ඔබ නිරතුරුවම සිතන්න, ඔබ මේ සටන් කරන්නේ මාරයා සමඟ බව. ඔබට අවශ්‍ය සෑම වේලාවකම මාරයාව රවට්‌ටන්න. බිය ගන්වන්න. තැති ගන්වන්න. ඔබට මුලින් කීවනේ අරිහත් උතුමන් සමග මනසින් ජීවත්වන්නටය කියලා. ඒ මාරයාව රවට්‌ටවන්න කරන දේවල්. දැන් ඔබ මාරයාව තැති ගන්වන්න. ඒ අරිහත් උතුමන්ද අනිත්‍ය බව දකින්න. ඒ උතුමන්ගේ පිරිනිsවීම මනසින් දකින්න. එම ධාතූන් වහන්සේලාගෙන් ගොඩනැගුණුqqq ස්‌ථූපයන් දකින්න. ඒ ද විනාශ වන බව මනසින් දකින්න. දැන් නැවතත් ඔබ මාරයාව රවට්‌ටන්න. රුවන්වැලි මහාසෑය, කිරිවෙහෙර මහාසෑය, ජයසිරිමා බෝ සමි¹ණන්, දන්ත ධාතූන් වහන්සේ සිතින් මවාගෙන සාධුකාර දෙන්න. දැන් නැවත මාරයාව තැතිගන්වන්න. ඉහත වන්දනීය පූජනීය වස්‌තූන්ද කාලගුණික, දේශගුණික, යුදමය හේතූන් නිසා විනාශ වී යනවා දකින්න. මේ සියල්ලේම අනිත්‍ය බව දකිමින් ඔබේ ආධිපත්‍යය මාරයා මත ටිකෙන් ටික පටවන්න. ලෝක ධාතුවේ හැමදෙයකම අනිත්‍යය ඔබ මනසින් දැක මාරයාව කම්පා කරවන්න. තැතිගන්වන්න. දැන් ඔබේ රාජකාරිය මෙයම විය යුතුය. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක සිට ඔබව මුළා කරමින්ද, සතර අපායට, මනුෂ්‍ය, දිව්‍ය ලෝකවලට ගාල් කරමින්ද, ඔබ කෙරෙහි ආධිපත්‍යය පැතිරූ මාරයාට ටික ටික රිදවන්න. බොක්‌සිං තරගයකදී ප්‍රතිමල්ලවයාට සෙමින් සෙමින් පහරදෙමින්ද, උපක්‍රමශීලීව පහරදෙමින්ද ප්‍රතිමල්ලවයා හෙම්බත්කොට අවසාන මරු පහර කිහිපයකින් ඔහුව බිම දමන්නා සේ, ඔබද මාරයාව උපක්‍රමශීලීව රවට්‌ටන්න. ඔබේ ඉන්ද්‍රියයන්ට ගෝචර වන සෑම රූපයක්‌ම අනිත්‍ය වශයෙන් දකින්න. දකින රූප මගහරින්න එපා. රූප බලෙන් සොයා යන්නත් එපා. ඔබ වේගවත් ද මන්දගාමීද නොවන්න. ඔබේ ස්‌වභාවය තුළම ඔබ කටයුතු කරන්න. දැන් මොන මාර්ගඵලයකද ඉන්නේ, තව කොච්චර කල් යයිද? මට පුළුවන් වෙයිද?........... මේ මාර සිත් ඇතිවන මොහොතේම අනිත්‍ය වශයෙන් දැක පරාජය කරන්න. ගැටෙන්න එපා. රූපයක් දුටු සැණින් එය අනිත්‍ය වශයෙන් දකින්න. නැවත නැවත එම රූපයට ඇලීමක් ඔබ තුළ ඇතිවන්නේ එම රූපය විනිවිද දකින්නට උත්සාහගන්න. එහෙම කළොත් ඔබේ ප්‍රතිඵල ඉක්‌මන් වේවි. අදාළ රූපය සුරූපීs කාන්තා රුවක් කියා සිතන්න. ඔබ ඇය මව්කුසේ සිටිනවා දකින්න. ඉස්‌ගෙඩියෙක්a ලෙසින් පටන්ගෙන, නව මාසයක් බැලුම් බෝලයක් වැනි මව්කුසේ විඳි අනන්ත වේදනා, මර ළතෝනි දීගෙන ලෝකයට බිහිවන, මළ මුත්‍රා ගොඩේ දඟලන ළදරු වයස...... ළමා, තරුණ, මධ්‍යම, මහලු වශයෙන් එම රූපය දකින්න. ඔබ දුටු ලස්‌සන රූපය ඇටසැකිල්ලක් කර දකින්න. එම ඇටසැකිල්ල බඩවැල්, නහර, මස් එල්ලාගෙන සිටින ස්‌වභාවය දකින්න. ඔහුගේ හෝ ඇයගේ රූපය මනසින් නිරුවත්කොට සම්, මස්, නහර විනිවිද ගොස්, සම නමැති උරයට පුරවා ඇති ජරාගොඩ දකින්න. ලස්‌සන තිබුණේ සුරූපී ඇය තුළ හෝ ඔහු තුළ නොව, තමාගේ අවිද්‍යාවෙන් පිරුණු අනිත්‍ය වන සිත තුළ බව සිහිනුවණින් දකින්න. පංච උපාදානස්‌කන්ධය, සප්ත බොඡ්Cධග, පටිච්ච සමුප්පාදය, සතර සතිපට්‌ඨානය ධර්මතාවන් ගිරවුන් මෙන් කටපාඩම් කරන දේවල් නොව, ඔබ, රූපයේ අනිත්‍ය බව දකිමින්, ප්‍රඥාවෙන් තීව්‍රර වන විට ඔබ ලබන අවබෝධය තුළ නොදැනුවත්වම ඔබට වැඩෙන්නේ ඉහත ධර්මතාවන් බව සිතන්න. ඔබ තවම සිටින්නේ පුහුණු මට්‌ටමකය. තවම තරගය පටන් ගත්තේ නැත. තවම ඔබ තරගයට මුහුණ දීමට ඇඟ උණුසුම් කරනවාය. ශක්‌තිමත්ව උණුසුම් වන තරමට තරගයට ජවය ලැබේ. මෙය මුළු ලෝක ධාතුව තුළම තම ආධිපත්‍යය පතුරුවාගෙන සිටින මාරයාට එරෙහිව කරන සටනකි. තරගයකි. තරගයෙන් ඔබ දිනුවොත් ඔබ ලෝකයෙන් එතෙරට යන කෙනෙක්‌ය. ඔබ මේ යෙදී සිටින්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා, පසේබුදුරජාණන් වහන්සේලා, අරිහත් උතුමන් උත්තමාවියන් තරගකොට ජයගත් තරගයකටය. මේ තරගයෙන් රාහුල, සෝපාක, නිග්‍රෝධ වැනි දරුවන්ද ජයගෙන ඇත. පටාචාරා, ඉසිදාසි වැනි කාන්තාවන්ද ජයගෙන ඇත. පුහුණුව සාර්ථක නම් ජයග්‍රහණය ස්‌ථිරය. ඔබ සරළ වන්න. සැහැල්ලු වන්න. නිදහස්‌ව සිටින්න. අවශ්‍ය වේලාවේදී පැන් පහසු වන්න. පොරවන සිවුර දහඩිය ගඳ නම් සෝදාගන්න. කුටිය මිදුල පිරිසිදුව තබාගන්න. අනිත්‍ය දකිනවා කියා අපිරිසිදුකම ළඟට නොගන්න. අනිත්‍ය දකිනවා කියා ඔබ අපිරිසිදුකම ළඟට ගන්නේ නම් ඔබ දකින්නේ මුස්‌පේන්තු අනිත්‍යයකි. එය මාර බලයකි. ඔබ එය පරාජය කරන්න. ඔබ මධ්‍යස්‌ථ වන්න. අසුභය දැකීමට නම් සාපේක්‍ෂව ලස්‌සන සහ පිරිසිදු බව තිබිය යුතුය. ඒ ලස්‌සනට නොඇලීමට ලස්‌සන ඔබේ කර නොගැනීමට ඔබ ශක්‌තිමත් විය යුතුය. මේ ලෝකයේ සියලුම ලස්‌සන රූප ඔබේ කමටහන් විය යුතුය. හින්දි සිනමාවේ සුරූපීම නිළියත් වැඳිරියක්, ඇටසැකිල්ලක් සේ දැකීමට ඔබට හැකි විය යුතුය. ඒ අවස්‌ථාව ඔබට ලැබුණේ ඇය සුරූපී වූ නිසාය. ලස්‌සන නොමැති ලොවක ඔබට අසුභය වැඩිය නොහැක. අවලස්‌සන බවට යමක් පත්වන්නේ ලස්‌සන තිබුණහොත්ය. මන්ද ලස්‌සන අනිත්‍ය වී අවලස්‌සන ඇතිවන බැවිනි. මේවා ලෝකයේ ස්‌වභාවයන්ය. ඔබ මෙසේ අවංකව, වීර්යවන්තව ප්‍රතිපදාවේ යෙදී සිටින විට ලොව්තුරා බුqදුරජාණන් වහන්සේ ඔබේ හදවතට වඩීවි. මොකද දැන් ඔබේ හදවත හැබෑ බුදුකුටියක් නිසා. උන්වහන්සේ ඔබට කියාදෙනු ඇත. ඊළඟට ගතයුතු මඟ සංඥා වශයෙන් ඔබට වැටහෙනු ඇත. මෙවිට ඔබ සද්ධන්ත හස්‌තිරාජයෙකු සේ වීර්යයෙන් නැඟී සිටීවි. ඇයි දන්නවද? ඔබට ප්‍රත්‍යක්‍ෂ වශයෙන් වැටහෙනවා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබ ළඟ වැඩසිටින බව. ඔබට කමටහන් දෙන බව ඔබට වැටහේවි. මෙහිදී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සහ නිවන් මඟ යනු දෙකක් නොව එකක් බව ඔබට වැටහේවී. නිවන් මඟ වඩන්න. බුදු සමි¹ණන් දකින්න. මේ විශ්වාසය තුළ ජයග්‍රහණයේ දොරටුව ඇත. ඔබගේ උත්සාහයෙන් එය විවෘත කරගන්න. ඔබ දොරටුව විවෘත කර ගතහොත් ලෝකය තුළ ඔබ නිවෙනු ඇත. එවිට දෑස් පියාගත් සැණින් මුළු ලෝකයම නිරුද්ධ කර දැකීමට ඔබට හැකිය. ඔබට මේ ගමනේදී බුදුසමිඳුන්වත් අට්‌ඨික සංඥාවෙන් දැකීමට සිදු වනු ඇත. එයට ඔබ ශක්‌තිමත් වනතුරු කලබල නොවන්න. තවමත් ඔබට උන්වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍යය. එතෙක් ඔබ බුදුරජාණන් වහන්සේ මනසින් ඔබේ ආරක්‍ෂකයා වශයෙන් වැඩමවා ගන්න දක්‍ෂ වන්න. නිසි වේලාව පැමිණි විට ඔබගේ ශාස්‌තෘන්වහන්සේද අතහරින්න ඔබට අනිවාර්යයෙන්ම සිදු වේවි. මන්ද උන්වහන්සේ තුළද සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවන බව ඔබට අවබෝධ වන නිසාය.
Posted by SLN | at 12:43 PM | 0 comments
මේ ආත්මභවයේදීම නිවන් අවබෝධ කර ගැනීමේ අධිෂ්ඨානය ජයගැනීමට විර්යයෙන් පෙරට යන "භික්‌ෂුවට" වත යනු කප්රුකකි. වත යනුවෙන් හඳුන්වන්නේ ආරණ්‍යය තෘෂ්ණාවෙන් "ආරණ්‍යය මගේ, මම ආරණ්‍යයේ" යන මමත්වයෙන් කුටි හදන කානු කපන, ගොඩනැඟිලි තනන, මල් වවන දෙවල් නොවේ. භික්‍ෂුව ප්‍රතිපත්ති ගරුක නම් එම කටයුතු ගිහි දායකයන් විසින් සපුරා දෙනු ඇත. එසේ නොවන්නේ නම් භික්‍ෂුවගේ යුතුකම ලද දෙයින් සතුටු වීම සහ ගිහි පිංවතුන් යුතුකම් මඟහරින්නේ නම්, එයද කමටහනක්, ලෝක ස්‌වභාවයක් යෑයි ගෙන ලෝකයෙන් මිදි යැමය. භික්‍ෂුවට උපරිම මට්‌ටමින් යෑපීමට අවශ්‍ය තුන් සිවුරන් පාත්‍රයත් කුටි පහසුකමත් පමණි. නිවන් මඟේ සීමාවද මේ අවමය තුළ ගොනු වී පවතී. භවමඟේ සීමාව මීට වඩා විශාල වශයෙන් පුළුල්ය. තමා විසින් කළ යුතු වත් රාශියක් ආරණ්‍යය තුළ ඇත. මිදුල් ඇමදීම, කුටි පිරිසිදු කිරීම, දාන ශාලාවේ ක්‍රියාකාරකම්, රෝගී භික්‍ෂූන්ට උපස්‌ථානය කිරීම, බුදු මැඳුරේ පූජා කටයුතු, වැඩිහිටි භික්‍ෂූවන්ට ආගන්තුක භික්‍ෂූවන්ට උපස්‌ථාන කිරීම යන මේවා භික්‍ෂුව අනිවාර්යයෙන්ම කළ යුතුය. ආරණ්‍යයේ පැවැත්මත් පිරිසිදු භාවයත්, තමා තුළ මාන්නය වැනි කෙලෙස් දුරු කර ගැනීමටත් වත අතිශයින්ම උපකාර වේ. මාන්නය, අහංකාරකම උඩගු බව ඇති කිසිවකුට භාවනාවෙන් ප්‍රතිඵල ලැබිය නොහැකිය. එවැනි අය මඟ වැඩූ කල්‍යාණ මිත්‍රයකු ගුරුවරයකු දෙන නිවැරැදි උපදේශයට වඩා, ඉහළින් යැමටත්, නිතරම තමා ගුරුවරයා වීමටත්, සිතනු ඇත. අනුන්ට සවන්දීමට කැමති නොවනු ඇත. නිවීම සඳහා යන ගමනේදී උස්, පහත්, දුප්පත්, පෝසත්, ලොකු, කුඩා ඕනෑම දෙයක ඉගෙනීමට යමක් ඇති නම් එය ඉගෙන ගැනීමට අපි දක්‌ෂ විය යුතුය. මාන්නය ඇති තැනැත්තාට මෙය කළ නොහැකිය. මේ සියල්ලටම බෙහෙත වතය. ඔබ වැසිකිළිය පිරිසිදු කරන විට ඔබ පිරිසිදු කරන්නේ වැසිකිළිය බව නොසිතිය යුතුය. ඔබ සිතිය යුත්තේ ඔබ පිරිසිදු කරන්නේ ඔබගේ සිත බවයි. ඔබ මිදුල ඇමදීමේදී, මිදුල අමදින බව ඔබ නොසිතිය යුතුය. ඔබ සිතිය යුත්තේ ඔබ අමදින්නේ ඔබගේ සිතේ ඇති කුණු බවයි. නිවන් මඟට සිත පිරිසිදු කරගත යුත්තේ මෙසේය. මාරයාගේ ස්‌වභාවය ඔබට ලකුණු සහ හොඳ නම ලබාදීමට ඔබව පෙළඹවීමය. ඔබ ලකුණු දිය යුත්තේ මාරයාට නොව ඔබගේ නිවන් මඟටය. ඔබ සිතිය යුත්තේ වැසිකිළිය කිසිවෙක් නොසෝදා ඇත්තේ, මිදුල කිසිවෙක් අතු නොගා ඇත්තේ ඔබේම යහපත සඳහා බවයි. ඔබ ඒ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය. මෙවැනි වත් ඔබ මඟහරින විට, ඔබේ සිත කුණු අශූචි වැනි කෙලෙස්‌වලින් දිනපතා පිරෙන බව වටහාගත යුතුය. කුණුවලින් පිරිණු සිත මාරයාට හොඳ තෝතැන්නකි. සෑමවිටම ස්‌ථානයේ සිටින වැඩිපුරම පඩික්‌කම් සෝදන භික්‍ෂුව වීමට ඔබ මැලි නොවිය යුතුය. නිවන් මඟේ හික්‌මෙන භික්‍ෂුව සෑම විටම නිහතමානීකමේ උපරිමේ සිටිය යුතුයි. කෙනෙක් ඔබගේ හිසටය අත සේදුවද එය ඔහුගේ ස්‌වභාවය යෑයි සිතා ඔබ ඔබේ ස්‌වභාවය තුළ නොගැටී සිටිය යුතුය. ඔබ හැමෝටම පසු පසින් සිටීමටත්, දහසක් දේ ඔබ දන්නවා වුවද, කිසිත් නොදන්නෙක් සේ පිරිස ඉදිරියේ හැසිරිය යුතුය. ඔබ ගොළුවෙක් නොවේ. අහන දෙයට පිළිතුරු දෙන අයෙක් විය යුතුය. මෙසේ ඔබ හැමෝටම පසුපසින් යැමට කිසිම පැකිළීමක් දැක්‌විය යුතු නැත. පසු පසින් යන්නාට සෑම විටම ඉදිරියෙන් යන අය දෙස බලා යැමත් ඉගෙනගත හැකිය. ඉදිරියෙන් යන සියල්ලන්ගේම ගුණ අගුණ, හැසිරීමේ අංග චලනයේ ස්‌වරූපය, විවිධත්වය නිරීක්‍ෂණය කළ හැක්‌කේ පසුපසින් යන්නාටය. ඒ අයගේ හොඳ ද, නරකද ඔබ බැහැර කළ යුතුය. සියල්ලන් තුළ ඇත්තේ සතර මහා ධාතූන්ගේ විවිධත්වයක් පමණක් බව දැකිය යුතුය. තමා අන්තිමයා වීමෙන් ලද අවස්‌ථාවෙන් ඔබ ප්‍රයෝජනය ගන්න. තමා අන්තිමයා වීමෙන් තමන්ට අන් හැමෝම දකින්නට ලැබීමත්, ඉදිරියෙන් යන අයට තමාව දකින්නට නොලැබීමත්, ඔබ ලැබූ භාග්‍යයක් බව දකින්න. ඔබ අහිංසක ලෙස මෙම ලෝක ධාතුව තුළ මනුෂ්‍යයකුට යා හැකි ශ්‍රේෂ්ඨම ගමන යන විට වැඩිහිටි ස්‌වාමීන්වහන්සේලා ඔබගෙන් අසාවි "ආයුෂ්මතුන් මහණ වුණාට මොකුත්ම දන්නෙ නැහැනේ. සිවුරු හැරලා යන්න හිතාගෙනද ඉන්නේ" වැනි ප්‍රශ්න. මෙවැනි අවස්‌ථාවලදී ඔබ නොදන්නා බව හඟවන්න. ඔබ දන්නා බව කියන්න ගියොත් ඒ වැඩෙන්නේ මාන්නයමය. ඒ ප්‍රකාශය කරන්නේ මාරයාය. ඔබ කලබල නොවන්න. ඒ හිමිවරු කියන දෙයට නිහතමානීව සවන් දෙන්න. ඔබ මේ සියලු ක්‍රියාකාරකම් ඔබට අයිති දේවල් නොවන නිසා අතහරින්න. අනුන්ගේ දේවල් ඔබ ඔබේ කර නොගන්න. ඔබගේ මේ අත්හැරීමේ ක්‍රියාව දැනගත යුත්තේ ඔබම පමණකි. දෙවැන්නෙන් එය දැනගතහොත්, ඒ ක්‍රියාත්මක වූයේ මාරයාය. නිවීම ඔබ තනිවම යා යුතු ගමනකි. අවසානයේ ඔබද ඔබට අතහැරෙනු ඇත. ඔබද ඔබට අතහැරෙන මොහොත භවගමන නිමා වන මොහොතයි. මේ ජයග්‍රහණයට මඟ වියදම් දෙන්නේ "වත" බව දෙවරක් නොසිතාම ඔබ දැනගත යුතුය. මඟ වියදම යනු නිහතමානීකමයි. නිහතමානීකමේ උපරිමය මමත්වයේ නිවීමයි. බුලත් කෙල බැඳුණ පඩික්‌කම, මුත්‍රා කහට බැඳුන වැසිකිළියක, මකුළුදැල් බැඳුන දාන ශාලාවක, නිවීම සඳහා අවශ්‍ය කළමනා ඇති තැන් බව අමතක නොකරන්න. මමත්වයේ නිවීම සැබැවින්ම ඔබට අත්දැකිය හැක්‌කේ නිහතමානීකමේ උපරිමයට ඔබ පැමිණි කල්හිමය.
Posted by SLN | at 12:42 PM | 0 comments
5 වැනි කොටස තෙත් කලාපීය පරිසරයක වැසි දිනවල කූඩැල්ලන්ගෙන් ගහන ආරණ්‍යයක පිණ්‌ඩපාත ශාලාවට දානය සඳහා වැඩීමට කිලෝමීටර දෙකක පමණ දුරක් තිබිණි. යායුතු මඟ ගල් බොරලු, කඳු බෑවුම්, කුණකටුවා, තෙල් කරවලයා වැනි සර්පයින් සහිත මඟකි. පාවහන් නොපළඳින භික්‍ෂුවකගෙන් පාවහන් පළඳින භික්‍ෂුවක් මෙසේ විමසීය 'ඔබ වහන්සේ පාවහන් නොදා වඩිනකොට කකුල් තුවාලවෙන්නේ ගල් ඇහෙන්නේ නැතිද?' 'ඇත්තෙන්ම නැහැ' උන්වහන්සේ පිළිතුරු දුන්හ. 'ඒ කොහොමද?' පාවහන් පළඳින භික්‍ෂුව පෙරළා විමසීය 'මම මෛත්‍රිය කරනවා. මුලින්ම දශ දිශාවටම. ඊට පස්‌සේ මේ කැලයේ ගස්, ගල්, මුල්, කටු මේ හැම දෙයටම මෛත්‍රිය කරනවා. මේ පාරේ හමුවන සෑම ගලක්‌ම, මුලක්‌ම, කටුවක්‌ම, අත්තක්‌ම සුවපත් වේවා කියලා, සුවසේ වැඩේවා කියලා මම මෛත්‍රියෙන් සිතනවා. ඒ හැමදෙයටම මා ගරු කරනවා. එවිට ඔබට දැනෙයි සමහර ගල්, මුල්, කටු කකුලේ වැදී වේදනා නොදී ඉවතට යනවා' යෑයි ඒ පාවහන් නොපළඳින භික්‍ෂුන් වහන්සේ ප්‍රතිඋත්තර දුන්හ. සැබැවින්ම මෙය ආශ්චර්යයක් නොවේ. ගල්, මුල්, කටුවලට ඔබ මෛත්‍රි කරන නිසා ඒවා මතට ඔබ කකුල තබන්නේද හරිම පරිස්‌සමෙන්. ඒවාට හානියක් වේද කියන අදහසින්. මේ නිසා ඔබේ සිහිය හොඳින් වැඩෙනවා. පාද දෙකත් හොඳින් පරිස්‌සම් වෙනවා. මේ දුෂ්කර මඟ පාවහන් නොමැතිව වඩින විටදිත්...... මෙවැනි දුෂ්කර භික්‍ෂු චර්යාවන් නිවන් මඟට, ඔබගේ ප්‍රතිපදාව ශක්‌තිමත් වීමට හුඟාක් ප්‍රයෝජනවත් වෙනවා. ඔබ මෙහිදී උපක්‍රමශීලී විය යුතුය. එසේ නොවුණහොත් මාරයා ඔබේ දෙපාවලට මිරිවැඩි සඟලක් පළඳනවාමයි. එවිට ඔබ මගෙන් අසාවි මිරිවැඩි සඟලක් පැළඳීම භික්‍ෂුවකට කැපැයි නේද කියලා. ඔව්. සත්තකින්ම කැපයි. මිරිවැඩි සඟලක් පැළඳීම භික්‍ෂුවකට කැප බවට විනයෙන් අවසර ලැබුණු දිනයේ පටන් භික්‍ෂූන්ගේ මිරිවැඩි සඟල් පාවිච්චිය වැඩිවිය. එහෙත් අරිහත් උතුමන් අඩුවිය. මන්ද, ගලක් කුලක් කටුවක ඇනෙන විට, මඩ ගොඩක්, කසල ගොඩක්, රොඩු ගොඩක් පෑගෙනකොට යටි පතුළට දැනෙන එහි ස්‌වභාවය, සෙරෙප්පු දමන ඔබට නොදැනෙන නිසාය. සිනිදු යටිපතුළ සෙරෙප්පුවේ පහස ලබද්දී, ඔබ විඳින්නේ සැප තෘෂ්ණාවත්, දෙපා ආරක්‍ෂාකාරී නිසා ගමනේ වේගයත් පමණි. වේගය තුළ ඇත්තේද තණ්‌හාවයි. ඔබ වේගවත් වන්නේද, වඩා ඉක්‌මනින් යමක් ස්‌පර්ශ කිරීමටය. අයිතිකර ගැනීමටය. තණ්‌හාව තුළින් ගොඩනැඟෙන්නේ බවය මිස අන් කුමක්‌ද? දරුණු සතුන් ජීවත්වන කැලයක හුදෙකලාව සිටියද, මෛත්‍රී ශක්‌තියෙන් පරිපූර්ණ නම් ඔබට සතුන් මුණනොගැසෙනු ඇත. මෙය ආශ්චර්යයක් නොවේ. හේතුඵල ධර්මයක්‌ය. හේතුව මෛත්‍රියයි. එහෙත් ඔබ වඩාත් දක්‍ෂයෙක් වන්නේ සතුන් ඉදිරියට ගොස් ආරක්‍ෂක ගාථා හෝ මෛත්‍රිය වඩා සතුන් ඉවත්කර ගැනීම නොවේ. මෛත්‍රී බලයෙන් සතුන් මඟහරවා ගැනීමයි. ඔබ වනයට ආවේ සතුන් ඔබට දමනය වනවාදැයි පරීක්‍ෂණය කිරීමටවත්, ආරක්‍ෂක ගාථාවල ශක්‌තිය බැලීමටවත් නොවේ. මේවා කිරීමේදී ඔබට කෙලෙස් උපදී. ඔබට වීරත්වක්‌වත් ආරෝපණය වේ. 'මම' අතහැරීමට වනයට පැමිණි ඔබ, 'මම' ගැන 'වීරකථා' නිතර කියනු ඇත. මෙය නිවන් මඟට අඩකොටයකි. වර්තමානයේ නිවන්මඟ ජයගන්නන් හිඟවීමට මේවාද හේතූන්ය. අපි කැලයට යන්නේ ඇත් ගොව්වන් වීමටවත්, නයි නටන්නන් වීමටවත් නොවේ. ලෝකය මත අපව නටවන මාරයා නැටවීමටය. මාරයා ලෝකය තුළ ඔබව වීර චරිතයක් කිරීමට උත්සාහ කළොත් එම මාර සිත් පැරදවීමට ඔබ දක්‍ෂ විය යුතුය. ලෝකය මැද වීරයෙක්, චරිතයක් වීම නොව වීරත්වයත්, චරිතයත්, ලෝකයත් අතහැරීමට පුහුණුවීම ඔබේ කාර්යය විය යුතුය. එසේ නොවුණහොත් කැලයත්, හුදෙකලාවත් ඔබට තවත් නගරයක්‌ම වනු ඇත. වරද ඇත්තේ කැලයේවත්, හුදෙකලාවේවත්. නගරයේවත් නොව ඔබ තුළමය. ඔබ ඔබව අතහරින්න. එවිට ඔබට ඉහත සියල්ල අතහැරෙනු ඇත. සෑම නිවන්මඟ වඩන්නෙක්‌ම තමා තමාට මෛත්‍රිය කරගතයුතුව ඇත. එය කළ හැක්‌කේ මේ ඝෝර කටුක භයානක සංසාර දුක දැක තමා සසරින් එතෙරටම වෙර වැඩීමෙන්ය. මෙය තමා තමාට කරගතහැකි උත්තරීතරම මෛත්‍රියයි. තමා සසරින් එතෙර වුවහොත් මේ උත්තරීතර මෛත්‍රිය මුළු ලෝකයටම පැතිරවිය හැකිය. එහෙත් ඔබද අසරණයෙක්‌මය. ඔබ සසර නැවත මැරෙන, ඉපදෙන, ලෙඩවෙන, වයසට යන ස්‌වභාවයේ සිටිමින් අනුනට මෛත්‍රි කිරීමට යැම බුද්ධිගෝචර නොවේ. ලෝකයට මෛත්‍රිය කරන්නට යැම පසෙක තබා, ඔබ මුලින්ම ඔබට මෛත්‍රිය කරගන්න. එය කළහැක්‌කේ ලෝකය තුළ තමාගේ අසරණභාවය, අනාථභාවය තේරුම්ගැනීමෙන් පමණක්‌මය.
Posted by SLN | at 12:42 PM | 0 comments
නියමිත වේලාවට දායක පිරිස දානය දාන ශාලාවේ මේසය මත තබා ඇත. එළවළු හතරක්, බතක්, පළතුරු, කැවිලි ඊට අයත්ය. දායකයන් ඉවත්ව ගිය පසු ඔබට මෙහෙම හඬක් ඇසෙනු ඇත. "සැරට මොකුත් නැහැ. හාල්මැස්‌සො ටිකක් බඳිමු ද?" කප්පිය කුටියේ විනයානුකූලව පාවිච්චිකිරීමට වියළි ආහාර ඇත. ඔබ සාමනේර නිසාම හාල්මැස්‌සන් සුද්ද කිරීම ඔබට පැවරෙනු ඇත. ඔබ එයට නොගැටෙන්න. මඟහැර නොයන්න. අභියෝගයට මුහුණදෙන්න. සමහර විට ඔබ මස් මාංශ නොවළඳන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ගැන නොසිතන්න. ඔබ ඔළුව කඩන කඩන හාල්මැස්‌සා සංසාරයේ ඔබේ මව, පියා, ඥාතියා, දරුවා ව සිටින්නට ඇතැයි සිතන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ සක්‌විති රජවද, දෙවියෙක්‌ව ද, ප්‍රේතයෙක්‌ව ද ඉන්නට ඇතැයි ඔබ දකින්න. ඔබේ ම කල්‍යාණ මිත්‍රයාව සිටින්නට ඇතැයිද ඔබ දකින්න. සෑම මනුෂ්‍යයෙකුටම, සෑම සත්වයකුටම මෙය ගලපා බලන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ පැවිදිව ඉන්නට ඇතැයි ද සිතන්න. පැවිදිව සිටියත් නැවත හාල්මැස්‌සෙක් වූයේ කෙසේද යන්නත්, ඇයිද යන්නත් සිතන්න. මේ හාල්මැස්‌සා සංසාරයේ තම කුසින් රහතන් වහන්සේලාවද බිහිකොට ඇතැයි සිතන්න ඔබ දක්‍ෂ වන්න. ඔබ ලබන මේ අවබෝධය නිසා, හාල්මැස්‌සාටද ඔබ හදවතින් පිංදෙන්න. බලන්න ඔබ හාල්මැස්‌සෙක්‌ගෙන් ලැබුව කමටහනක ගැඹුර. හොඳයි, ඔබ මට හාල්මැස්‌සො අතගාන්න බැහැ. මම නිර්මාංශයි කියලා ගැටුනා නම්, ආරණ්‍යය හැර ගියා නම් ඔබට මේ කමටහන ලැබෙනවාද? ඔබ දැන්ම ඉක්‌මන්වෙන්න අවශ්‍ය නැහැ. හාල්මැස්‌සා තුළ සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවාද කියලා දකින්න. මුලින්ම ලැබුණ කමටහන ප්‍රයෝජනයට ගන්න. සංසාරයේ ගැඹුර දකින්න. සංසාරය ගැන බිය ඇතිකරගන්න. ඒ වැඩීම තුළ ඔබේ ප්‍රඥාව ත්‍රිව්ර වන විට ඔබට අවබෝධය ලැබේවි. හාල්මැස්‌සා තුළ සත්වයෙක් පුදගයෙක් නොමැත, එහි ඇත්තේ අනිත්‍ය භාවයට පත්වන ධාතු කොටස් පමණක්‌ම බව ඔබට මෙලෙස වැටහෙන්නේ නැතිනම් ඔබ ඉවසන්න. ඔබට ප්‍රඥාව වැඩෙන විට මෙම ධර්මතාවය අවබෝධවේවි. ඔබ මෙවන් අවබෝධයක් ලබමින් පසුවනවිට හාල්මැස්‌සො බැඳුම රසබලන අය ලබන්නේ රස තෘෂ්ණාව පමණක් බව සිතන්න. වර්තමානයේ ගිහි වුවද, පැවිදි වුවද ඔහු නැවත සසර හාල්මැස්‌සෙක් වීමේ ඉඩකට එසේම විවෘතව පවතින බව දකින්න ඔබ දක්‍ෂ වෙන්න. සසර නැවත මව්කුසක්, බිත්තරයක් තුළට නොයන්නට ඔබ දක්‍ෂ වන්න. එසේ නොවුණහොත් යම් දවසක මෙම හාල්මැස්‌සාම මිනිසකුව ඉපිද, ඔබ හාල්මැස්‌සෙකුව ඉපිද ඔබවද මෙපරිද්දෙන් බැඳුමට ගනු ඇත. පෙර බවයක මේ හාල්මැස්‌සා පැවිදිව කළ ක්‍රියාව වර්තමානයේදී ඔබ නොකරන්න. ඔබ නිර්මාංශයෑයි උදම් ඇනීමෙන්, ඔහු මාංශයෑයි පිළිකුල් කිරීමෙන්, දිව ඉල්ලන ඉල්ලන රස දීමෙන් රැස්‌වෙන්නේ තන්හාවයි. ඔබ කළ යුත්තේ රස ඉල්ලා ඇතිවූ සිත අනිත්‍ය බව දැකීම පමණක්‌මය. "මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, "දක්‍ෂ", ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යයාමය උපකාරයක්‌ම වේවා! ශක්‌තියක්‌ම වේවා! මාර්ගයක්‌ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට ඔබ නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා.." යෑයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ.
Posted by SLN | at 12:41 PM | 0 comments
7 වැනි කොටස ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිවන් මග වඩන්නා මධ්‍යම ප්‍රතිපදාව තුළ හික්‌මිය යුතු යෑයි අවධාරණය කළහ. තුන් සිව්රත් පාත්‍රයත් පමණක් දරමින් රුක්‌ඛමූල, ශුන්‍යාගාර, ආරණ්‍යගතව සසර දුකින් එතෙරවීමට අතීතයේ භික්‍ෂුන් කැපවිය. බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව ලෙස, සසරින් එතෙරවීමට වෙරවඩන භික්‍ෂුවට දැක්‌වූයේ ඔය සීමාවය. කැමති කෙනෙකුට තම තමන්ගේ කෙලෙස් වල දිග පළල අනුව මධ්‍යම ප්‍රතිපදාව අර්ථ දැක්‌විය හැකිය. ශාසනය තුළ ඊට අවශ්‍ය නිදහස ඕනෑ තරම් ඇත. විවේචනය කිරීමේ නිදහසද ඇත. එහි කිසිදු වරදක් නොමැත. එහෙත් සසර දුකින් එතෙර වීමේ ප්‍රතිඵල අනපේක්‍ෂිතය. පාත්‍රය දරන පිණ්‌ඩපාතික භික්‍ෂුවට අවශ්‍ය රේසරය, සබන් කැටය පවා ගිහි දායකයාගෙන් විනයානුකූලව ලබාගත හැකි ක්‍රමය පැහැදිළිවම ප්‍රතිපදාවේ සඳහන්ව ඇත. බුදුරජාණන් වහන්සේ අර්ථ දක්‌වන ලද ප්‍රතිඵල ලැබිය හැකි මධ්‍යම ප්‍රතිපදාව ඇත්තේ එතැනය. භික්‍ෂුව පිණ්‌ඩපාතයෙන් ලද දෙයින් සතුටුවීම, යෑපීම මධ්‍යම ප්‍රතිපදාවයි. කප්පිය කුටියේ වියළි ආහාර තබාගෙන තිබෙන ස්‌ථානයක දානයට මිරිසට, තෙලට, බැදුමට මොකුත් නැතිනම් හදාගැනීම මධ්‍යම ප්‍රතිපදාවට අදාළ නොවේ. නමුත් විනයෙන් ඊට පූර්ණ නිදහස ඇත. එම නිදහස උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගෙන කටයුතු කිරීමේ වරදක්‌ද නොමැත. මම නැවතත් කියමි. විනය ඇත්තේ අදක්‍ෂයාටය. දක්‍ෂයා ලද දෙයින් සතුටුවෙයි. නිවන් මඟ වැඩීමට බලාපොරොත්තුවන භික්‍ෂුව ගොඩගසන්නෙක් හෝ රැස්‌කරන්නෙක් නොව කුසගිනි සෑහීමට පත්වූ කල ඉතිරිය අතහරින්නෙකි. හෙට දවසක් ඔහුට නැත. ඔහු ජීවත්වන්නේ වර්තමානයේය. වර්තමානයේ මෙම අර්ථය හාස්‍යයක් වීමටද පුළුවන. විවේචනය කිරීමටද පුළුවන. වර්තමානයේ පමණක් නොව, බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටියදීද මෙම අර්ථයට විවේචන එල්ල විය. ඉතින් අද ගැන කුමන කථාද? එහෙත් මෙම මොහොතේදී ඉහත මඟ වඩන බුදු පුතුන්, මෙම මඟ වැඩීමට උත්සහ ගන්නා, වීරිය වඩන, සරණක්- මඟක් සොයනා බුදු පුතුන් විශාල පිරිසක් මේ දෙරණ මත වැඩසිටින බව අවිවාදයෙන් පිළිගත යුතුව ඇත. උන්වහන්සේලා තමන් වැඩ සිටින කැලයේ යෑපෙන්නේ පාංශකූල සිවුරෙන්, පිණ්‌ඩපාතයෙන් යෑයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් යන zමාධ්‍යකරුවන්Z නොවේ. උන්වහන්සේලා ඉහත අවමයද පරිහණය කරනුයේ බදාගැනීමට නොව අතහැරීමට නොහැකි නිසාය. තම නිවන් අරමුණ ජයගන්නාතුරු කය ආරක්‍ෂා කරගත යුතු නිසාය. භික්‍ෂුව ප්‍රත්‍යාවේක්‍ෂයෙන් වැළඳිය යුත්තේ දායකයා පූජාකරන ආහාරයයි. එම ආහාර රස ගුණ මදියෑයි සිතා, රස තෘෂ්ණාවෙන් තමන් හෝ කැපකරු ලවා, කටට රසට හදාගත් දෙය ප්‍රත්‍යවේක්‍ෂාකොට වැළඳීම මධ්‍යම ප්‍රතිපදාව නොවේ. එහෙත් එය විනයට එකඟව කළ හැකි බව මමද පිළිගනිමි. යමෙක් එසේ කරනවානම් එය විවේචනයද නොකරමි. මේවා ලෝකයේ පවතින ස්‌වභාවයන්ය. එහෙයින් අප නොගැටිය යුතුය. නිවන උදෙසාම කැපවන්නා කප්පිය කුටිය, ගෑස්‌ලිප, උණුවතුර බෝතලය වැනි සංඥාවලින් මිදිය යුතුය. මේවා ඔබේ රස තෘෂ්ණාව අවධි කරන මාරයෝය. මධ්‍යම ප්‍රතිපදාවත්, කාමසුඛල්ලිකානු මඟත් අතරමැදද අන්තයක් ඇත. එය මධ්‍යම ප්‍රතිපදාව හෝ කාමසුඛල්ලිකානු මග නොවේ. මධ්‍යම සහ කාමසුඛල්ලිකානු දෙකේම එකතුවකි. දෙකේම මුසුවකි. එය හරියටම ඇලීමත් ගැටීමත් මැද තිබෙන උපේක්‍ෂාව මෙනි. උපේක්‍ෂාව තුළ ඇලීමත් ගැටීමත් දෙකම තිබේ. ඉහත අවස්‌ථාවේදී මධ්‍යම ප්‍රතිපදාව ඉක්‌මවා ගිය තත්ත්වයකුත්, කාමසුඛල්ලිකානු මඟ ස්‌පර්ශ කරන ස්‌වභාවයකුත් ඇත. අපි මෙයට මාර ප්‍රතිපදාව යෑයි කියමු. මධ්‍යම ප්‍රතිපදාව යෑයි දකිමින් මාර ප්‍රතිපදාවක හික්‌මෙමින් අපි නිවන් මඟ සොයන්නෙමු. එළදෙන පැටවා සමඟ සිටියත් ඔබ කිරි දොවන්නේ පැටවාගෙන් නම් ඔබට කිරි නොලැබෙනු ඇත. එය එළදෙන හෝ පැටවාගේ වරද නොවේ. ඔබගේ වරදය. එහෙත් ඔබ ඉදිරියේ එළදෙනත් තන බුරුල්ලත් දෙකම ඇත. විනය නමැති කඹයෙන් ඔබ එළදෙන දිගේලි කරමින් සිටියාට ඵලක් නොමැත. එළදෙනගේ ගොම, මුත්‍රා එකතු කරාටද වැඩක් නොමැත. ඔබ එළදෙනගෙන් පස්‌ගෝ රස ලබාගැනීමට දක්‍ෂ විය යුතුය. ඔබ දක්‍ෂයෙක් වන්නේ එය අවබෝධ කර ගැනීමෙන්ය. ඊට මඟ සැබෑ මධ්‍යම ප්‍රතිපදාවයි. තුන් සිවුරත් පාත්‍රයත් දරමින් ආරණ්‍ය, ශුන්‍යාගාර, රුක්‌ඛමූලගතව තම ප්‍රතිපදාව වැඩීමට ඔබ කැපවුවහොත් අර්ථවත් මධ්‍යම ප්‍රතිපදාවක් ඇත්තේ එතැනය. හොඳට හිතන්න. දිව බොරු කීවද, ඔබේ හදවත බොරු නොකියනු ඇත. එය ඔබට දැකිය හැක්‌කේ ප්‍රඥාවෙන් පමණකි. ලෝකයේ බරින් නිදහස්‌වීමට ප්‍රථම, ඔබ ඔබේ බරින් නිදහස්‌වන්න. ඔබේ බරින් ඔබ නිදහස් වූ විට, ඔබ මෙතෙක් දරා සිටියේ ලෝකයේ බරම බව ඔබට තේරුම් යනවා ඇත. තමාට අයිති නොමැති ලෝකයේ බර, අවිද්‍යාව නිසා දරාගෙන සිටින පෘථග්ජන සත්වයගේ මෝහයේ දිග පළල ඔබට අවබෝධ වනුයේ ඔබ ලෝකයෙන් නිදහස්‌වූ විටදීය. ඔබ සැබෑ ලෙසම මධ්‍යම ප්‍රතිපදාවේ හික්‌මෙමින් නිවන් මඟ තරණය කළොත් මුළු විශ්වයම සියුම් කොට ඔබේ දෝතට ගත හැකිය. එවිට ඔබට මෙහෙම දැනේවී. මා ලෝකය ජයගත්තාය කියලා. ලෝකය ජයගැනීමේ ශක්‌තිය ඔබ සැමගේ අධ්‍යාත්මය තුළ සැඟවී ඇත. ඔබ කළ යුත්තේ එය මතුකර ගැනීම පමණක්‌මය. මෙම ජීවිතයේදී ඔබ එය මතුකර ගැනීමට උකටලී වුවහොත් තව කල්ප ගණනාවක් ඔබට දුක් විඳීමට සිදුවනු ඇත.
Posted by SLN | at 12:40 PM | 0 comments
නිවන් මඟ වඩනා භික්‍ෂුවක් වනගතව වාසය කරන විට, පිණ්‌ඩපාතය ලබාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවීම ස්‌වභාවිකය. එවැනි අවස්‌ථාවකදී කුසගින්නද ඔබේ නිවන් මඟට ආශිර්වාදයක් කරගත යුතුය. එහෙත් මෙහිදී ඔබ කුසගින්නේ සිටිනා වග දැනගතයුත්තේ ඔබ පමණමය. එක දිගට වේලක්, දෙකක්, තුනක් ආහාර නොලැබීම ඔබට පුදුම අවබෝධයක් ලබාගැනීමට අවස්‌ථාව සලසාදෙයි. ඔබ කුසගින්නේ සිටින බව, සිටි බව ලෝකයා දැනගතයුතු නැත. සාක්‍ෂිකාරයාද, විත්තිකාරයාද ඔබම විය යුතුය. මන්ද ඔබ මේ පහරදෙන්නේ ඇසට නොපෙනෙන මාරයාටය. හරි ඉලක්‌කයටම පහරදුන්නොත් පරාජය වන්නේ මාරයාය. ඔබ මෙවර මාරයාට වඩා දක්‍ෂ විය යුතුය.මොකද සසර මෙතෙක් ඔබට වඩා දක්‍ෂවී ඇත්තේ මාරයාය. සමහර විට කුසගින්නේ අසිරිය ඔබ මෙතෙක් විඳ නැතුව ඇත. ඔබ දන්නේ 'කුසගිනි වෙනවා, ආහාරගන්නවා' පමණක් විය හැක. ඔය චක්‍රය අපගේ දිනචර්යාවේම කොටසකි. මුළු මහත් සත්ව ප්‍රජාවගේම ස්‌වභාවයයි. නිවන් මඟ වඩනා භික්‍ෂුව සමස්‌ත සත්ව ප්‍රජාවට වඩා වෙනස් සත්වයෙකි. වෙනත් අරමුණක් අධිෂ්ඨානයක් කරා යන සත්වයෙකි. ඉර-හඳ- තාරකා ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාව, හඳහන, හස්‌ත රේඛා බලා ලෝකයේ සිටින දක්‍ෂම ජෝතීර්වේදියා ඔබට කීවොත් 'තව වසර 50ක් ඔබට ආයුෂ තියනවා' කියලා. ඔබට දීර්ඝායුෂ තියෙනවා කියා. ඔබ දින කිහිපයක් ආහාර නොමැතිව ඉන්න. ඔබව මැරෙනවාමය. ඇයි දන්නවාද? මේ කයට ආහාර නොදී කුසගින්නේ තැබුවහම හොඳට අවබෝධවෙනවා මේ කය ආහාර නිසාමයි පවතින්නේ කියලා. මේ කයට ආහාර නොදුන්නොත් ජීවන රේඛාව කොපමණ දිගට තිබුණත් ඔබ මිය යනවාමය. මේ ඔබ මහත් උජාරුවෙන් සරසාගෙන, මගේ කියා දරාගෙන සිටින කය. ආහාරයක් නොදුන්නොත් මැරෙන කයක්, මෙය පිළුණු වන ආහාරයට අයිති කයක්. ආහාර නොදුන්නොත් මැරෙන කයක්, ඔබට අයිති, ඔබට පාලනය කිරීමට හැකි දෙයක් නොවේ. ඔබ ප්‍රඥාවෙන් බැලුවොත් හඳහන, ජ්‍යෙdතිෂ්‍යය, හස්‌ථරේඛා, නාඩි වාක්‍ය ඔබට මාරයා සසර දික්‌කර ගැනීමට අටවපු මාර උගුලක් බව. මේ උගුලට ඔබ හසුවී නිවන් මඟට අවතීර්ණ වන එක කල්දමනවා. මම දන්න ඉතාමත් ගුණවත් සත්පුරුෂ නායක හිමිනමක් ඉන්නවා, ඉහළ රැකියාවක් හොඳ සමාජ තත්ත්වයක් තරුණවියේදී අතහැරලා පැවිදිවෙලා. මුළින් නිවීම අරමුණු කරගෙන දැඩි වීර්යයකින් කටයුතු කරපු උන්වහන්සේට ජ්‍යෙdතීර්වේදියක් ප්‍රකාශකර තිබෙනවා, ඔබ වහන්සේ නිවන් අවබෝධ කරගන්නේ තව වසර 10ක පසුව කියලා. දැන් උන්වහන්සේ තමන්ට පාරමී මදිය කියලා ආමිසය පැත්ත දැඩිව වඩනවා. නිවන් මඟෙන් පිටට ගිහිල්ලා. ශ්‍රද්ධාවෙන් සියල්ල අතහැරලා, දුෂ්කරම ආරණ්‍යයක බඩ ඉරිඟු කරල වළඳලා අරඹපු ගමන අද මාරයා නවත්වලා. මාරයා ඔබට හඳහන, හස්‌ත රේඛා, නාඩි වාක්‍ය හරහා දෙන අනාගත වාක්‍ය ඔබ ඉරාදමන්න. අවබෝධ කරගන්නා මේ කය ආහාරය නිසාමය පවතින්නේ...ජයග්‍රහණය, උත්සහයත්, වීර්යයත් නිසාමයි සිදුවන්නෙ කියා. ශරීරයේ ධාතු කොටස් අතරින්, වායෝ ධාතුව ඉතාමත්ම හොඳින් පැහැදිළිව ඔබට අවබෝධ වන්නේ කය කුසගින්නේ තැබීමෙන්ය. කය නිරාහාරව තැබුවොත් ඔබට දැනේවී ආමාශය, උගුරු දණ්‌ඩ, මළමාර්ගය හරහා මොනතරම් වේගයෙන් වායෝ ධාතුව ක්‍රියාත්මක වෙනවාද කියලා. කය තුළ ආහාර නැති විට වායෝ ධාතුව සිත්සේ කය ආක්‍රමණය කරනවා. වාතය කුපිත වෙලා දඟලනවා. ඔබ කළයුත්තේ සතියෙන් ඒ දෙස බලා සිටීමමයි. මේ අවස්‌ථාවේදී මාරයා ඔබට කියාවී, 'ඔබ මැරෙන්නද යන්නේ, ගෑස්‌ට්‍රයිටීස් හදාගන්නද යන්නේ. හැදුනොත් හැමදාම දුක තමයි. කලන්තය හැදුනොත්?......' මේ කිසිවකට ඔබ යටත් වෙන්න එපා. මොකද මෙසේ ඔබට කියන්නේ මාරයාමය. මාරයා යනු කෙළෙස්‌බරිත, කාම සැපයටම ලොල්වූ, ඇති වෙමින් නැති වන ඔබේ සිතය. ඔබ එවිට මෙසේ සිතන්න. මම නිවන් මඟ වඩන භික්‍ෂුවක්, මේ කුණු කය මට අයත් දෙයක් නොවේ යෑයි අවබෝධයෙන් අතහැරීම මඟවඩන භික්‍ෂුවක්. මේ කය මළත් මගේ අධිෂ්ඨානය අත්නොහරිනවාය කියලා. එවිට ඔබ මාරයාට එලව එලවා පහරදෙන භික්‍ෂුවක් වෙනවාය. මෙසේ සිතමින් මාරයට පහරදෙමින් වායො ධාතුව තව තවත් අවබෝධයෙන් දකිමින් එහි අනිත්‍ය බව වඩනකොට, මාරයා බියට පත්වේවි මේ භික්‍ෂුව මාරයාට අහිමිවේවිද කියලා. එහෙම හිතලා මාරයා භික්‍ෂුවට චාටුවක් දමාවී 'ඔබ මේ විදිහට නොකා ඉඳලා මළොත් නිවන් දකින්නනම් ලැබෙන එකක් නෑ' කියලා. බලන්න කපටි මාරයා නිවන ගැනත් කථා කරනවා. නිවන ගැන අනුකම්පාත් කරනවා. ඔබේ අරමුණ ගැන, මාරයාගේ ස්‌වභාවය ගැන ඔබ සිහියෙන්, සතියෙන් නොසිටියොත් මෙවර ඔබ මාරයාට කොටුවනවාමය. මොකද "මළොත් නිවන් දකින්න බැරිවෙයි කියලා කියපු නිසා." මාරයා මෙසේ කීවත් ඔබ සිතන්නේ, ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ඔබේ සිතේ හටගත් සිතිවිල්ලක් කියලා. නිවන් මඟ වඩන ඔබ දක්‍ෂ වෙන්න ඕනේ. මේ මාර උපක්‍රමවලට වැට බඳින්න. නමුත් බහුතරය මෙතැනදී පරදිනවා. මොකද 'නිවන' කියන වචනය මාරයා පාවිච්චිකළ නිසා. මාරයා කපටිකමටයි ඔය 'නිවන බැරිවෙයි' කියන වචන පාවිච්චි කරන්නේ. හැබැයි ඔබ මෙතැනදී දක්‍ෂ වුවහොත්, මේ කය, මේ වේදනාව මගේ නොවෙයි කියලා, මේ වායෝ ධාතුවද මගේ නොවෙයි කියලා දකින්න. ඉනුත් ඔබ්බට ගිහිල්ලා මාරයා ඔබට කියූ නිවනද මට අයිති දෙයක් නොවන බව දකින්න. නිවනට ඇති ආශාවද අයින් කරන්න. ඔබට වැඩෙන ප්‍රඥාව තුළ ඔබ නවතින්නේ නිවන් මඟේ උපරිම දුරක් ගිහිල්ලා. හැබැයි උත්සහය, වීර්ය තිබෙන්න ඕනේ නිවීම උදෙසා මේ කය අතහැරීමට. දැන් ඔබට තේරුනාද 'කුසගින්න ආශිර්වාදයක්' කියලා කීවේ ඇයිද කියලා. ඔබ එකවේලක් හෝ නිරාහාරව සිටිය යුත්තේ ඒ තුළින් අවබෝධාත්මක ප්‍රඥාව වර්ධනය කරගැනීම සඳහා මිස හුදු ශිල්වත් බව සංකේතවත් කිරීමට නොවේ. මන්ද ශීලයද, ආහාරයද ඔබව සසරටම කැන්දාගෙන යන මාර බලවේග නිසාය.
Posted by SLN | at 12:39 PM | 0 comments
9 වැනි කොටස ආහාර වේලක් ඔබ මොන තරාතිරමකින් පූජාකළත්, එය පිළිගන්නා අයට මෙන්ම පූජාකරන්නාටද ලැබෙන්නේ මෙලොව පරලොව වශයෙන් අනිත්‍යයට පත්වෙන ආයුෂ, වර්ණ, සැප සහ බලයයි. ප්‍රඥාව වඩවාගැනීමට ඉහත සියල්ලම සහයෝග වන්නේය. එහෙයින් අප වෙහෙසිය යුත්තේ එක වේලද, දෙකද, නැතිනම් මාංශද නිර්මාංශද, පලතුරුද නැතිනම් බත් ව්‍යංජනද කියා දෘෂ්ඨිගත වීමට නොව, ආහාර මොන ස්‌වභාවයෙන් ගත්තද ඉන් පෝෂණය වන්නේ නිරතුරුවම වයසට යන ලෙඩවෙන, මැරෙන කයක් බව අවබෝධකර ගැනීමටය. ඔබ ගන්නා ආහාරයම ඔබව කවදා හරි දිනයක රෝගියෙක් බවටද පත්කර ඔබව මරාදමනු ඇත. රෝගි බවට පත්වීමේ සියයට සියයක්‌ම හේතුව ආහාර වල අඩු වැඩි බවයි. ඔබට හැකිනම් ඔබේ පාත්‍රයට පූජා කරන බත්, ව්‍යංජන, පලතුරු, කැවිලි එම ස්‌වභාවයෙන් නොදැක පාත්‍රයේ ඇත්තේ අසුචි, මුත්‍රා, සෙම්, සොටු දහඩිය ලෙස දකින්න. ඔබ වළඳන තැඹිලි, වතුර කෝප්පය මුත්‍රා කෝප්පයක් ලෙස දකින්න. වළඳන සුදුළුණු ව්‍යංජනය ශරීරයෙන් පිටවන වාතයක් සේ දකින්න. වළඳන කිරි කෝප්පය ශරීරයෙන් ඉවත දමන සෙම ගුලියක් සේ දකින්න. ඒ ඔබ දකින්නේ වෙනසක් නොව එම ආහාරයේ යථාස්‌වභාවයයි. ඇත්ත ඇති සැටියෙන්මයි. සැබෑ ප්‍රත්‍යාවේක්‍ෂාවද එයයි. එසේ නොමැතිව ඇති පදම් කැමති කැමැති දේ වළඳා රාත්‍රි බුද්ධ වන්දනාවේ යෙදී ප්‍රත්‍යාවේක්‍ෂ ගාථා කීම නොවේ. ඔබ ප්‍රත්‍යාවේක්‍ෂාව වැනි උතුම් ඉගැන්වීම් වලට විකට ඇඳුම් අන්දවන්නන් නොවිය යුතුය. මන්ද ඔබ අන්දවන්නේ ඔබටම නිසාය. ඔබේ රුචි අරුචිකම්, දිග පළල, වර්ණ ස්‌වරූපයන්ට අනුවම ඔබ මසාගන්නා ඇඳුම්වලට සරිලන චරිත ඔබට මතු සසරදී ලැබෙනු ඇත. එය ඔබේම තෝරාගැනීමයි. සඡ්Cධායනා කිරීමෙන් හෝ ප්‍රාර්ථනාකිරීමෙන් ලැබෙන දෙයක් නොමැත. යමක් ලැබිය හැක්‌කේ ක්‍රියාත්මකභාවය තුළින්මය. ඔබ අදිටන් කරගන්න. දිව්‍ය ලෝක වල දිව්‍ය භෝජන, මනුෂ්‍ය ලෝකවල රාජ භෝජන, ප්‍රේත ලෝක වල සෙම සොටු, තිරිසන් ලෝකවල තණකොළ පුන්නක්‌කු, නිරයේ ගින්දර ආදිය මහපොළොවේ පස් වලට ප්‍රමානාත්මකව රසබලා ඇති මම තවදුරටත්, රසයට "දිවට" ලොල් නොවේය යන සැබෑම ප්‍රත්‍යාවේක්‍ෂාවට. එසේ නොකොට අපි අහිංසක දායකයාගේ දානය, මාරයාගේ පොෂණය සඳහා යොදවන්නේ නම් අපි අපටම ණයකාරයන් වනු ඇත. අපිට එම ණයෙන් නිදහස් විය හැක්‌කේ රසය හෝ ගුණය පසුපස යැමෙන් නොව, ආහාරයේ සහ ආහාරයෙන් පොෂණය වන කයේ ස්‌වභාවය පසුපස යැමෙන්ය. කප්පිය කුටියේ, වීදුරු අල්මාරියේ මෝල්ටඩ් මිල්ක්, පෝෂ්‍යදායී කිරිපිටි, ජාත්‍යන්තර නම් වලින් එන කෝපි වර්ග, එළවළු යීස්‌ට් සාරයෙන් තැනූ පානවර්ග ආදී බෝතල් තිබුණද උගුරෙන් පහළට තේ හැන්දක ප්‍රමානයක් ගිලගැනීමට බැරි දවසක් අපට එළඹෙනු ඇත. ඔබ අද මේ යථාර්ථය අවබෝධ නොකරගත හොත් එදාට ඔබට මේ බෝතල් දෙස බලා කෙළ ගිළිමින් මිය යැමට සිදුවනු ඇත. කෙළ ගිලෙන්නේ තෘෂ්ණාව නිසාය. රස සොයන, රස ඉල්ලන හිත අනිත්‍යවශයෙන් දැකීමට ඔබ දක්‍ෂ වුවහොත් කිසිදාක ඔබට අමුතුවෙන් ආහාරය ප්‍රත්‍යාවේක්‍ෂා කිරීමට අවශ්‍ය නොවනු ඇත. ඔබ කැමතිම ආහාරයක් නිතර නිතර ඔබට වැළඳීමට කැමැත්ත එන්නේ නම්, එම ආහාරය පිළුණු කසළ ගොඩක්, මළ මුත්‍රා වශයෙන් දකින්න. ඔබට අයිති නැති කැමැත්ත ඔබේ කරගැනීමට යැම හේතුවෙන් සසර ඔබ විඳි දුක් කන්දරාවන්, වර්තමානයේ විඳින, අනාගතයේ විඳීමට සිදුවන දුක් ගොඩත් මෙනෙහි කරන්න. ඔබට අයිතියක් නැති ආගන්තුක සිතක් නිසා මෙතරම් දුක් කන්දරාවක් විඳින, පෘතග්ජන භාවයෙන් මිදී බුද්ධෝත්පාද කාලයක ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ආහාරයේ සුවඳ, ගිලෙන කෙළ, ඇතිවෙන සිත, දැනෙන රස අනිත්‍ය බවම සිතන්න. දායක පිංවතුන් පූජා කරන ප්‍රමානය, සශ්‍රික බව, විවිධත්වය ඔබ ඔබේ කර නොගන්න. පරිභෝජනයේදී ඔබ නිතරම ඔබේ සීමාව තුළ නවතින්න. කුසෙන් අඩක් ආහාරද, කොටසක් ජලයද, කොටසක් හිස්‌වද තැබීම ඔබේ සීමාව කරගන්න. ඔබේ සීමාව තීරණය කරගැනීමට ශාස්‌තෘන්වහන්සේගේ ඉගැන්වීම්වලට මිස දායක පිංවතුන්ගේ කැමැත්තට ඉඩනොදෙන්න. මෙහි අදහස් වලංගුවන්නේ මේ ආත්මභාවයේදීම නිවීම උදෙසා මඟ වඩන සත්පුරුෂයන්ට පමණක් බව හොඳින් සිහියේ තබාගන්න. කැමැති පිංවත් උතුමන් කැමැති ආකාරයෙන් වළඳන්න. එහෙත් සසරින් නිදහස්‌වීම බොහෝ දුර වීමට පුළුවන් බව සිහියෙන් යුතුව දකින්න.
Posted by SLN | at 12:38 PM | 0 comments
අපි හැමෝම පැවිදි වෙන්නේ මේ සසර දුකින් මිදීම අරමුණු කරගෙන. එහෙම පැවිදිවෙලා ආරණ්‍යගතව කුටි හදන්න, පාරවල් හදන්න වගේ සංවර්ධන වැඩට යොමුවීම අභාග්‍යයකි. ගිහිගෙදර ගෙවල් දොරවල් අතහැරලා පැවිදිවෙන්නේ අතීතයේ කළ දේවල් නැවත කරන්නට නොවේ. ගිහි කාලේ බාසුන්නැහේ පැවිදි වෙලා බාස් වැඩේ කරනවා. ලේඛක මහතා පැවිදිවෙලා පොත්ලියනවා, අරක්‌කැමියා පැවිදිවෙලා මුළුතැන්ගෙයි දානය හදනවා..... මෙය නොවිය යුතු දෙයක්. අපි සිතන්න ඕනේ අපි පැවිදි වූණේ එවැනි සංවර්ධන වැඩ කිරීමට නොව සිත සංවර්ධනය කිරීමටය කියා. ඇයි සිත සංවර්ධනය කරන්නේ, සිත කෙළෙස් වලින් ගරා වැටී ඇති නිසා. එහෙයින් නිවන් මගේ හික්‌මෙන ඔබ කළයුත්තේ ගොඩනැගීම නොව, කඩාදැමීමය. සියලු කෙළෙස් කඩා දැමූ කල අප ගමන් කරන්නේ නිවීම දෙසටය. ගිහි ජීවිතය පුරාවට අපි කළේ ගොඩනැගීමයි. පවුල, ධනය, සම්පත්, සමාජ තත්ත්වය අපි ගොඩනැගූ කෙළෙස් කන්දයි. අපි කළයුත්තේ එම බර එකිනෙක බිම තැබීමයි. එම බර බිම තබා ආරණ්‍ය සංවර්ධන බර ඔබ කරට ගන්නේ නම්, එයද කෙළෙස් කන්දක්‌මය. අපි කළ යුත්තේ "කැහි ගෑනියදී, සොටු ගැහැනිය ගැනීම" නොව මේ දෙදෙනාම අතහැරීමය. එසේ නොකළහොත් කැහි සහ සොටු වලින් ඔබව සංසාරික පීනස් රෝගියෙක් කරනු ඇත. 'ශාසනය රකින්න, ආරණ්‍ය දියුණු කරන්න'... මේවා මාරයාගේ ලස්‌සන අයිසිං තැවරූ කේක් ගෙඩිය. ඔබ දක්‍ෂ විය යුත්තේ අයිසිං තවරා ඇත්තේ කේක් ගෙඩියකට නොව ලෝදිය හැළියකට බව අවබෝධකර ගැනීමටය. සංසාරය පුරාවට අපි ආරක්‍ෂා කළ ශාසන වල, අපි හැදූ, පූජාකළ කුටිවල, ආරණ්‍ය වල මහරහතන් වහන්සේලා ලක්‍ෂ ගණනින් වැඩ සිටින්නට ඇත. සුනිතලා, පටාචාරලා සෝපාක ලා වැනි අන්ත අසරණ අඩියක සිට පැමිණ, අරහත්වය ලබාගත් උතුමන්ද වැඩ සිටින්නට ඇත. එහෙත් අපි තවමත් කුටි, ආරණ්‍ය, ගල්වැටි බඳිමින් සිටින්නෙමු. ඔය ගඩොලින් ගඩොල බැඳෙන්නේ ආරණ්‍ය සංවර්ධනය නොව දුකය. නිවීමේ මඟ යනු ගඩොලින් ගඩොල ගලවා ඉවත් කිරීමයි. මේ දුක අපි ඊළඟ පරම්පරාවන්ටද උරුමකොට දෙන්නෙමු. ගිහි පිංවතුන්වද මේ කඹයේම දිගේලි කරමු. වනය තිබෙන්නේ එළිකරන්නටවත්, ලස්‌සන කරන්නට වත් නොවේ. වනය ස්‌වභාවයෙන්ම පියකරුය. අප කළයුතේ අපේ හදවත් ධර්මයෙන් ලස්‌සන කිරීමයි. අපේ හදවත් අපිරිසිදු නම් වනය ලස්‌සන කරන්නට අපිට සිදුවේ. එහෙත් ඔබ කැමැති ආරණ්‍ය සංවර්ධනයට නම් ඔබ එම වනයේම මතු ආත්මයේදී රුක් දෙවියෙක් ,ආරණ්‍ය සුරකින දෙවියෙක් වීමට පුළුවන. එය ඔබ කැමති දෙයම නිසා සතුටින් භාරගතයුතුය. ලෝකයේ ස්‌වභාවය විවිධය. ස්‌වභාවය විවිධත්වයට පත්වන්නේ අනිත්‍ය භාවය නිසාය. එහෙයින් විවිධත්වය ලෙස අප දකින්නේ අනිත්‍යයි. එය අවබෝධ කරගැනීම ධර්මය, අනිත්‍යය අවබෝධ කරගැනීමය. ආරණ්‍යයක්, ශුන්‍යගාරයක් තුළට නිවන් මග වඩන්නෙක් යා යුත්තේ පරිසරයේ ස්‌වභාවය අවබෝධ කරගැනීමට මිස තම තමන්ගේ උවමනා එපාකම් වලට අනුව පරිසරයේ ස්‌වභාවය වෙනස් කිරීමට නොවේ. එසේ කිරීමෙන් ඔබ ධර්මය අවබෝධකිරීම මඟහැර, ධර්මයේ කොටස්‌කරුවෙක් වෙනවා ඇත. අසනීපයට බෙහෙත් ගැනීමට රෝහලට ගිය රෝගියා කළ යුත්තේ රෝගයට බෙහෙත් ගැනීමයි. ඔහු එය පසෙක තබා රෝගීන්ට උපස්‌ථාන කිරීමට යන්නේ නම්, ඔහුගේ රෝගය ඔහුව පිළිගනු ඇත. අවාසනාව වනුයේ වෛද්‍යවරයාත්, ඖෂධත් රෝහලත් තුනම තිබියදී ඔහු රෝගයෙන් මිය යැමයි. අපි කළ යුත්තේ බැළුම්බෝලයක් වන් මිනිස් දුවකගේ, තිරිසන් දුවකගේ, ප්‍රේත දුවකගේ ගර්භාෂ කුටියකට නැවත ගාල් කිරීමට නොව මේ කසල ගොඩේ නැවත ගාල් නොවීමට වගබලාගැනීමයි. එහෙත් ඔබ පතන්නේ ගර්භාෂ කුටියක් නම් නොවරදවාම ඔබට එය ලැබෙනු ඇත
Posted by SLN | at 12:37 PM | 0 comments
11 වැනි කොටස නිවන් මඟ වඩනා භික්‍ෂුවකට ගෙපිළිවෙළින් පිඬුසිඟාවැඩීම, තම නිවන් මඟ ශක්‌තිමත් කරගැනීමට උපකාරවන්නකි. පිණ්‌ඩපාත වඩින විට භික්‍ෂුවට ගමක එක ගෙදරක සිට තව ගෙදරකට ඇත්තේ නොපෙනෙන දුරකි. ගෙවල්වල නිවැසියන් ගොවිතැන් කටයුතුවලය. දුප්පත්කම, ශ්‍රද්ධාව, ශීලාචරකම, දන්දීමේ කැමැත්ත ඔවුන් තුළ ඇත. දිනක් පිණ්‌ඩපාතය සඳහා ගොවි ගෙදරක් ඉදිරිපිට වැඩ සිටින විට, කාන්තාවක් පැමිණියාය. ඇය තරුණය. කුඩා දරුවකු ද ඇය පසුපස දුව ආවේය. ඇය එක් දරු මවක විය හැකිය. ඇය දෝතට රැගෙන පැමිණියේ සීනි බෝතලයකි. එය ද අඩක් හිස්‌ව තිබිණි. ඇය සීනි හැඳි දෙකක් පාත්‍රයට පූජා කළාය. එකපාරටම ඇය ඉකිගසා හැඬුවාය. "හාමුදුරුවනේ, මේ දරුවගේ තාත්තා හම්බ කරන සේසතම බොන්න වියදම් කරනවා. ගෙදර මොකුත්ම නැහැ පූජා කරන්න, බොහෝ බැගෑපත් ස්‌වරයෙන් කියූ ඇය ඉකිගැසීය. ඇයට පිං අනුමෝදන් කර භික්‍ෂුව ඉවතට වැඩම කළහ. කාන්තාවකගේ කඳුළු, ඉකිබිඳුම, විරහ වේදනාව, පුරුෂයාගේ නොසලකාහැරීම, එක්‌දරු මවක් ඉල්ලන කරුණාව, මේ සියල්ල මාරයා ඔබට දෙන ආහාරය. එක්‌දරු මවක ලෙස ඔබ ඉදිරියේ හඬාවැටුණේ මාරයාමය. ඔබට සිතුණොත් 'අනේ පව්. ඇයට ආහාර නැති නිසා දරුවාට කිරිත් නැහැ. පාත්‍රයෙන් යමක් දරුවාට දෙන්න ඕනේ. හෙට බිස්‌කට් මොනවහරි ගෙනත් දෙන්න ඕනෙ....' මේ ආකාරයෙන් ඔබ ඇගේ දුකට අනුකම්පා කරන්න ගියොත්, ඒ ඔබ අනුකම්පා කරන්නේ මාරයාටය. අනාගතයේදී මාරයා ඔබව ගිහිගෙදරක් තුළ එක්‌දරු මවකගේ දාසයකු කරනු ඇත. හැබැයි ඔබ දක්‍ෂයෙක් නම් මෙසේ සිතනු ඇත. මා ඉදිරිපිට හඬන ඇය සංසාරය පුරාවට මනුෂ්‍ය, දේව, ප්‍රේත, තිරිසන් දුවක් ලෙස ඉපිද හඬමින්ද, විරහවෙන්ද, පුරුෂයා නොසලකා හැරීමෙන්ද හඬාවැටී මේ බුද්ධෝත්පාද කාලයේදීද කඳුළම උරුම කරගත් මිනිස් දුවක් බවයි. ඇය සොයන්නේ අනුකම්පාවයි. කරුණාවයි. ඔබ සොයන්නේ නිවීමයි. අනුකම්පාව, කරුණාව ඉල්ලීම යනු යමක් එකතුකරගැනීමයි. නිවන් මඟ වැඩීම යනු අතහැරීමයි. ඔබ ඇයගේ කඳුළ, දුක අතහැරිය යුතුය. කඳුළ, ඉකිබිඳුමේ ස්‌වභාවය ලෙසත්, දරුවා මවකගේ ස්‌වභාවය ලෙසත් ඔබ දැකිය යුතුය. සියලු දෙය අතහැර, ගිහිගෙදරින් ඉවත්ව යමෙක් නිවන් මඟ වැඩීමට පැවිදි වෙන්නේ ලෝකයට අනුකම්පා කරන්න නොවේ. අනුන්ගේ දුක නිවීමට නොවේ. තමා තුළ දුක නිවා ගැනීමටය. මේ ගමන ඔබ යන විට මෛත්‍රිය, කරුණාව ද අනුකම්පාව ද අත්හැරිය යුතු අවස්‌ථා පැමිණෙනවාය. ලෝකයාට මෛත්‍රිය, කරුණාව දක්‌වමින් ඔබට මේ ජීවිතය තුළ නිවන් අවබෝධය ලැබීමට නොහැකිය. ඔබ තවම ලෝකය තුළ මැරෙන, ලෙඩවෙන, වයසට යන අසරණ භාවයෙන් මිදී නොමැත. මුලින් ඔබ මේ අසරණභාවයෙන් මිදෙන්න. සසර සැප තියෙනවාය කියන මුළාව පසුපස දුවන, තව පාරමී මදිය කියලා විශ්වාස කරන, රුචි ලෝක ප්‍රාර්ථනා කරන පින්වතුන්ට නම් තව තව මෛත්‍රිය, කරුණාව වැනි ගුණධර්ම වැඩිය යුතුය. ඒ පිළිබඳ කිසිදු තර්කයක් නොමැත. හැකි උපරිමයෙන් එම ගුණධර්මයන් වැඩිය යුතුය. බලන්න, සත්වයා මාරයාගේ සිත දවන්න කොතරම් අකැමැතිද කියලා. එයාගේ තුරුලම පතනවා. මාරයාගේ තුරුළ තමයි භවය. මාරයාගේ තුරුලේ උණුසුමේ තලු මරමින් සතුටු වෙමින්, ඉකිගසමින් හඬමින් කල්ප සියක් කෝටි ගණනක් ඇවිඳපු ඔබ අදත් මාරයා අතදිගුකොට පෙන්වන සසරට ලොල් වෙනවා. මෛත්‍රී බුදු සමිඳුන්ගේ ශාසනය තෙක් නිවීම කල් දමනවා. තවත් කල්ප ගණනාවක්, ආත්ම දස දහස් ගණනක් මැරී මැරී ඉපිදෙමින් යම් හෙයකින් මනුෂ්‍යයකුව ඔබ මෛත්‍රී බුදු සමිඳුන්ගේ ශාසනය ඇති වූ කල ඉපදුණහොත්, එදාටද අද වගේම මාරයො ඔබට ඊළඟට බුදු වන බුදු සමිඳුන්ගේ ශාසනය ඇඟිල්ල දිගුකොට පෙන්වාවී. ඔබ එයත් පිළිගනීවි. ඒ ආකාරයෙන් සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනාවක් පසුකොට මාරයා ඔබව රැගෙනවිත් තිබෙන්නේ. ඒ නිසාම මාරයාගේ උණුසුම ඔබේ ශරීරයේ උණුසුම කරගෙන සංසාරයක් පුරාවට ඔබට දුක් සාගරයක් උරුමකොට දුන් මාරයාගෙන් නිදහස් වීමට නම් ඔබ කිසිවක් ජීවිතයට එකතුකරගතයුතු නැත. ඔබ කළ යුත්තේ සියල්ල අතහැරීමයි. බලන්න ඔබ එකතු කිරීම කියන අමාරුදේ කරමින් අතහැරීම කියන ලෙහෙසි දෙය මගහරිනවා. එකතු කිරීමය යනු මාරයාගේ ධර්මයයි. අතහැරීම යනු ලොව්තුරා ධර්මයයි. ඔබ මාර පුතෙක් වෙන්නද කැමැති? බුදු පුතෙක් වෙන්නද කැමැති? ඔබ කරන්නේ එකතුකිරීම, රැස්‌කිරීම ගොඩගසා ගැනීම නම් ඔබ මාරපුත්‍රයෙක්‌මය.මරණින් පසු පෘථග්ජන ගිහි - පැවිදි පින්වතුන් පාංශකූලයේදී තරගයට දේශන පවත්වා, බැනර් ඔසවා ඔබව නිවන් දක්‌වනු ඇත. පෘථග්ජන ගිහි - පැවිදි පින්වතුන්ගේ අසූචි මල් මාලා පළඳවාගෙන ඔබට සිදුවන්නේ තව උපතක් කරා යැමටය. එය සතර අපාය වීමටද හැකිය. දිව්‍ය, මනුෂ්‍ය ලෝක වීමටද හැකිය. එහෙත් ඒ සියල්ලේම ඇත්තේ දුකමය. පිණ්‌ඩපාතය වැඩීම නිවන් මඟ වැඩීමට අවශ්‍ය කලමනා සොයායන ගමනක් කරගැනීමට ඔබ දක්‍ෂ විය යුතුය. ඔබ සොයා යන්නේ ආහාර පමණක් නම් මාරයා ඔබට ආශිර්වාද කරනු ඇත. මන්ද ඔබ ආහාර සොයා යන්නේ මාරයාගේ පැවැත්ම පිණිස බැවිනි. දානය පූජා කළ දායකයාට මෛත්‍රී කිරීමට අප කාටත් හැකිය. ඔබ කළ යුත්තේ සැවොම කරන දෙය නොවේ. අන් අයට කළ නොහැකි දෙයයි. හැමෝටම කළ නොහැක්‌කේ නොදුන් කෙනාට මෛත්‍රිය කිරීමයි. පිණ්‌ඩපාත ගමනේදී ඔබ දක්‍ෂ වුවොත් මෛත්‍රී සමාධියට පත්වීමට ඔබට හැකිය. යමෙක් ආහාර පමණක් සොයා පිණ්‌ඩපාතය වඩිනවා නම් ඔහු තුළ ඉතිරිවන්නේ කුසගින්න නොව, භව ගින්නය. භවගින්න නිවාගතහොත් සියලු ගිනි නිවී යනු ඇත. මෙතෙක් අප කර ඇත්තේ ගින්නට පිදුරු දමාගැනීමය. පිදුරු සපයන්නේ මාරයා වුවද ගින්නෙන් දැවෙන්නේ ඔබය. ගින්නේ ස්‌වභාවය ඇවිළීමය. පිදුරුවල ස්‌වභාවය ඇවිළීමට උපකාරී වීමය. මාරයාගේ ස්‌වභාවය මේ දෙක එකතු කිරීමය. ඔබේ ස්‌වභාවය විය යුත්තේ භව ගින්නට කෙලෙස් පිදුරු නොදමා, මාරයාට නොපෙනෙන්නට ගින්න නිවාදැමීමය.
Posted by SLN | at 12:36 PM | 0 comments
ලෝකය කියන්නේ දුකක්. ලෝකය දුකක් බවට පත්වන්නේ ලෝකයේ තිබෙන සියල්ල අනිත්‍ය බවට පත්වන නිසා. අනිත්‍ය වූ ලෝකය නිත්‍යභාවයෙන් ගැනීම නිසා ඔබ දුක් විඳිනවා. මේ මොහොතේ ඔබ නිදිමරාගෙන, දහඩිය මුගුරු දමාගෙන වෙහෙසෙන්නේ, දන්දෙන්නේ, පිංකම් සිදුකරන්නේ, විවිධත්වය සොයායන්නේ ඔය දුකෙන් අත්මිදීමටයි. දුක ඔබට අයිති දෙයක් නොවෙයි. දුක අයිති ලෝකයට. ලෝකයට අයිති දුක ඔබ අයිති කරගෙන. ඔබ මේ මුළු විශ්ව ධාතුවේම අස්‌සක් මුල්ලක් නෑරම සෙවුවද පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු කොටස්‌වලින් සෑදුණ, නිරතුරුව වෙනස්‌වන රූපයක් මිසක් වෙන දෙයක් හමුවන්නේ නැහැ. මම, අපි, ඔබ..... මෙහෙම කෙනෙක් කොතැනකදිවත් හමුවන්නේ නැහැ. මෙතෙක් ඔබ 'මම, අපි, ඔබ' කියා කෙනෙක් මුණගැසී ආශ්‍රය කර ඇත්නම් ඒ හැමදෙනාම නිරතුරුවම ලෙඩට, වයසට, මරණයට පත්වූ, එහෙම නැතිනම් පත්වෙන පිරිසක්. ඔබේ සීයා, ආච්චි, ලොකු තාත්තා, ලොකු අම්මා, අම්මා, තාත්තා මැරිලා යනකොට පුතා, දුව, මුනුපුරා, මිනිපිරී ලොකු මහත් වෙනවා. කුමක් සඳහාද? කවදාහරි දවසක ආච්චිලා සීයලා වීම සඳහා. ඔය චක්‍රය වටේ අපි දිව යනවා. අපට ගැලවිල්ලක් නැහැ. චක්‍රය කියන්නේ ලෝකයයි. ලෝකය තුළ සත්වයා දුවනවා. මෙය චක්‍රයක් නිසා ඉන් පිටවෙන්න කාටවත්ම බැහැ. ඔබට මේ ලෝකයෙන් ගැලවෙන්න අවශ්‍ය නම් චක්‍රයම නිවාදමන්න ඕනෙ. මේ චක්‍රය තුළ දුවනකොට අපට ලෝකය සුන්දර බව පේනවා. සත්තකින්ම ලෝකයේ සුන්දර බවක් තිබෙනවා. එය ඔබට පෙනෙනවා, ස්‌පර්ශ කරනවා, විඳිනවා. රාත්‍රී අහස දෙස බලන්න. එහි රශ්මි වළල්ලක් සහිතව පායන පුරසඳ, නැතිනම් වැහි අහසේ පායන පාට පාට දේදුන්න. සති අන්තයක කතරගම, අනුරාධපුර පූජා භූමි මතකයට ගන්න. තරු පහේ හෝටලයක, සමාජ ශාලාවක රාත්‍රියේ තිබෙන අසිරිය.... ඔබ මේවායේ මොනතරම් ආශ්වාදයක් අත්විඳිනවාද? ඔබ මේ සුන්දරත්වය කියලා දකින්නේ අනිත්‍යයි. මොකද මේ හැමදෙයක්‌ම මොහොතින් මොහොත වෙනස්‌වන නිසා. මේ මොහොතේ පවතින ස්‌වභාවය, ඊළඟ මොහොතේ වෙනස්‌වන නිසා ඇතිවන විවිධත්වය තමයි ඔබට මේ සුන්දරත්වය ඇති කරන්නේ. මේ රූප අනිත්‍යභාවයට පත්නොවී නිත්‍යභාවයේ පවතිනවා නම් ඔබට ඒවායේ විවිධත්වයක් පෙනෙන්නේ නෑ. මේ විවිධත්වය, චමත්කාරය ඔබට දැනෙන්නේ රූපය අනිත්‍යභාවයට පත්වන නිසාමයි. රූපය අනිත්‍යභාවයට පත්වන වේගයෙන්ම සිතද අනිත්‍යභාවයට පත්වෙනවා. මන්ද, සිතක් සකස් වෙන්නේ රූප දෙකක් පස්‌සය වීම නිසා. අභ්‍යන්තර- බාහිර රූප දෙකක් පස්‌සයවීම නිසා සකස් වන සිතද අනිත්‍ය වීම හේතුවෙන් ඔබ සුන්දරත්වයට රැවටෙනවා. එහි නිත්‍ය ස්‌වභාවයක් දකිනවා. අභ්‍යන්තර රූපය අම්මා නම් බාහිර රූපය තමයි තාත්තා. මේ දෙදෙනාගේ පස්‌සයෙන් උපදින දරුවා තමයි සිත. අම්මා, තාත්තා වගේම දරුවා තුළ ඇත්තේද වේගයක් පමණක්‌මයි. අම්මා, තාත්තා මැරුණහම අපි බිරිඳ දූ දරුවන් මගේ කරගන්නවා වගේ සිතත් අනිත්‍යභාවයට පත්වන විට තව තව සිත් පරම්පරාවක් සකස් කර ගන්නවා. සිත් සකස්‌කිරීමට හේතුවන අභ්‍යන්තර ආයතන හය හරියට කර්මාන්ත ශාලා හයක් වගේ. 24 පැයේම ක්‍රියාත්මකයි. භාහිර රූප මේ කර්මාන්ත ශාලාවට යොමුවූ සැණින් නිෂ්පාදනය සූදානම්. ලෝකයේ වේගවත්ම නිෂ්පාදන ධාරිතාවය මෙම ආයතන හය සතුයි. බාහිරින් ප්‍රවාහනය කරන අමුද්‍රව්‍ය වන බාහිර රූප, ආයතන හයෙන් එකකට ලැබුණ සැණින් නිෂ්පාදනය (නිමි භාණ්‌ඩය) සූදානම්. නිමි භාණ්‌ඩය තමා සිත. ප්‍රඥාවෙන් තොරව ඔබට මේ ගැන සිතන්නටවත් බැරි තරමට සංකීර්ණ ක්‍රියාවලියක් මෙය. ලෝකයේ සංකීර්ණ බව ඇතිවෙලා තියෙන්නේ සිත් සකස්‌වීමේ වේගවත් ක්‍රියාවලිය නිසාය. තණ්‌හාවේ ප්‍රමාණය අනුව මේ කර්මාන්තශාලාවේ ඉල්ලුමට සැපයුම ස්‌ථිරව සපයනවා. නිෂ්පාදනය වැඩි වන්න වැඩි වන්න සංකීර්ණ බව වැඩිවනවා. මේ සංකීර්ණ බවට භෞතික දියුණුව කියලා කියනවා. ස්‌වභාවිකත්වය විනාශකොට කොන්ක්‍රීට් වනාන්තර ඉදිවන්නේ, ශීලාචාරකම විනාශකර අශීලාචාරකම බිහිවන්නේත්, මැදිහත්බව පරාජය කර තරගකාරීබව ඇතිවන්නේත් , ආධ්‍යාත්මික වටිනාකම් අභිබවා භෞතික වටිනාකම් පැතිරෙන්නේත් අනිත්‍යභාවයට පත්වන සිත්වල සංකීර්ණ බව නිසාමයි. අවිද්‍යාව නිසා ඇතිවන මේ සංකීර්ණභාවයට ඔබ දාසයකු වනවා. ඔබව දාසභාවයේ, වහල්භාවයේ යොදවන්නේ තණ්‌හාව විසින්. අවිද්‍යාවේ තණ්‌හාවේ හැඩතල, ස්‌වරූපය, වර්ණය, රසය, ගුණය සකස් වන සිත්වල ක්‍රියාකාරිත්වය තුළ මනාව පිහිටලා තිබෙනවා. අම්මා, තාත්තාගේ රුව ගුණ දරුවාට තිබෙනවා වගේ, අවිද්‍යාවේ හැඩතල ලෝකයාගේ ක්‍රියාකාරීත්වය තුළ හොඳින් විද්‍යමාන වෙනවා. අවිද්‍යාව, තණ්‌හාව ඔබව මුළාකරන මහා මගෝඩියන් දෙදෙනකු වගේ. ඔබ මේ ගමන ඉදිරියට යන්න යන්න ඔබට නම්බු නාම දෙනවා. පොහොසතා, කෝටිපතියා, මුදලාලි, පාලකයා, නායකයා, සභාපති..... සමාජයේ විවිධ ස්‌ථරවල ඉහත කොටස් ඉන්නවා. ගමේ කඩේ හිමිකරු 'මුදලාලි'. පිටකොටුවේ තොගකඩේ හිමිකරුත් 'මුදලාලි'. පන්ති භේදයකින් තොරව අවිද්‍යාව විසින් නම්බු නාම දෙනවා. 'අම්මෝ හරිම ගාම්භීරයි, ආඩම්බරයි, ශ්‍රේෂ්ඨයි. පිළිගැනීම ඉහළයි. මගේ මහත්තයා ලොක්‌කෙක්, විධායකයෙක්, මගේ මහත්තයට පැක්‌ටරියක් තිබෙනවා. මගේ මහත්තයා ඇමරිකාවේ' හරිම උජාරුවට අපි කියනවා. මෙහෙම කියනකොට ඔබට නොතේරුණාට ඔබේ කට දෙකොනින් තණ්‌හාව, මමත්වය බේරෙනවා. ඒ කුණුකෙළටත් වඩා අප්‍රසන්නයි. ප්‍රඥාව වඩන කෙනකුට මෙය හරිම අප්‍රසන්න සිද්ධියක් වෙන්න පුළුවන්. තමා ඉලක්‌ක කරන සැප සෑම මොහොතකම අනිත්‍ය වෙනවා. අහිමි වෙනවා. ගිලිහෙන, අහිමිවන වේගයෙන්ම ඔබ නැවත නැවත අයිතිකර ගන්න උපක්‍රම යොදනවා. සිත ඔබට නානාප්‍රකාර උපදෙස් දෙනවා. හරියට මුදලට වහල්වෙච්චි නීති උපදේශකයෙක් වගේ. සිත දන්නවා කෙසෙල් මලත්, නෙළුම් මලක්‌ය කියලා ඔප්පු කරන්න. සිතට පුළුවන් අවුරුදු හැටක් පැන්න ආච්චි කෙනෙක් තරුණියක් ලෙස පෙන්වන්න. සිතට පුළුවන් පිරිමියෙක් ගැහැණියක් කරලා පෙන්වන්න. මේවාට විශේෂඥ දැනුම සිතට තිබෙනවා. අවිද්‍යා ටියුෂන් පන්තියේ කල්ප සියක් කෝටි ගණනක සිට තණ්‌හාවේ විෂය හදාරපු ඉව, ඇතිවෙමින් නැතිවෙන සිත් සමග ගලාගෙන යනවා. ඔබ මැඩියෙක් ගැන සිතන්න. එම සතා ජලයේද, මඩේද, ගොඩබිමද, නිවසේද, පීවත්වන්නේ එකම ස්‌වභාවයේය. මේ හැමතැනම සැපයි කියලා අල්ලාගෙන. සිතත් ඔය වගේම ලගින ලගින තැන සැපයි කියලා උපාදානය කරගන්නවා. සිත ඔබේ දුක් දෙන මිතුරාය කියන්නේ ඔය නිසාය. මේ මිතුරා දෙස සැකයෙන් බලන්න. එවිට මේ මිතුරාගේ ගමන් බිමන් ගැන ඔබට හොඳින් දැනේවි, වැටහේවී. මොහු චපලයෙක්, දෙපිටකාට්‌ටුවෙක්, පෙරේතයෙක්. උම්මත්තකයෙක් වගේම විටෙක සිල්වතෙක්, ගුණවතෙක්.... මේ දෙබිඩි චර්යාව ඔබට දර්ශනය වේවි. මෙවැනි දෙබිඩි මිතුරෙක් ඔබට හමුවුවහොත් ඔබ ඔහුගෙන් ඈත් වෙනවා. පරිස්‌සම්වනවා නේද? අන්න ඒ වගේ සිතේ දෙබිඩි ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරන්න. අනවශ්‍ය බරක් නොගෙන හුදෙකලාවේ මේ අධ්‍යයනය කරන්න. එවිට ඔබට ජීවිතේ වෙනසක් දැනේවී. ඔබ යමක් හඳුනාගන්නා බව, සොයාගන්න බව ඔබට දැනේවි. ඔබේ ජීවිතේ සංකීර්ණ බව දුරස් වේවි. ඔබට තිබෙන්නේ නැවත නැවත සිතේ අනිත්‍ය බව දැකීම පමණක්‌මය.
Posted by SLN | at 12:35 PM | 0 comments
ගිහි - පැවිදි කාහට වුවද, තමන්ගේ ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට, අපල උපද්‍රව, ලෙඩ රෝග අමනුෂ්‍ය දෝෂවලින් මිදීමට පිරිත් ගැන විශාල විශ්වාසයක් තිබෙනවා. ඒ විශ්වාසය නිවැරැදිය. ප්‍රතිඵලදායකය. නමුත් පිරිතේ සැබෑ ශක්‌තිය, සැබෑ ප්‍රතිඵලය තිබෙන්නේ සඡ්Cධායනය හෝ ශ්‍රවණය කිරීම තුළ නොවේ. වර්තමාන සමාජය තුළ පිරිතේ යෙදීම ඉහත කරුණු දෙකට සීමා වන බවක් පෙනෙන්නට තිබේ. පිරිතේ අර්ථය ජීවිතය තුළින් ක්‍රියාත්මක කිරීමේ හුරුව, පුරුද්ද, දැනුම සමාජයෙන් ඈත්වෙමින් ඇත. පිරිතේ සැබෑ ශක්‌තිය ඇත්තේ එහි අර්ථය, ජීවිතය තුළින් ක්‍රියාත්මක කිරීමෙන්ය. අයෙක් භික්‍ෂුවගෙන් ඇසුවා "ඇයි ඔබ වහන්සේ පිරිත් කටපාඩමෙන් නොදන්නේ, පිරිත් පොතක් භාවිත නොකරන්නේ" කියලා. භික්‍ෂුව දුන්න පිළිතුර තමා "ඔබ භික්‍ෂුවගේ සිත, කය, වචනය ක්‍රියාත්මක වන ස්‌වරූපය දකින්න. ඒ ඔබ දකින්නේ පිරුවානා පොත්වහන්සේය" කියලා. පිරිත් කටපාඩම් නොකළාට, අනුනට දේශනා කරන්නට නොගියාට, පිරිතේ සැබෑ හරය ජීවිතයට එකතු කරගෙන සිටිනවා පිරිත් පොතක් වගේම. ඔබත් දක්‍ෂවන්න ජීවිතය පිරිත් පොතක් කරගන්න. එවිට ඔබ පූජනීය වේවි. "ආදරණීය" බරපොදිය බිම තබන්න සමහර දෙමාපියන් ඉන්නවා, ඒ අය දූ දරුවන්ගේ වගකීම් වලින් නිදහස් වෙලා කුසල් දහම් වඩමින් ජීවත් වෙනවා. ඒ අය නිවන ගැනත් කථා කරනවා. දිව්‍ය බ්‍රහ්ම ලෝක ගැනත් බලාපොරොත්තු තබා සිටිනවා. මේ අය මොන පිංකම කරන්නෙත්, දවස ගතකරන්නෙත් දෙදෙනාට දෙදෙනා ගොඩාක් ළෙන්ගතු බැඳීමකින්. සිදුහත් කුමාරයා ධර්මය සොයාගෙන ගියේ යශෝදරාව අතහැර දමාය. ඇය පමණක් නොව, රාහුලයන්ද අතහැර දමාය. මේ අය ගැන බැඳීමෙන් නිවීමක් හෝ බ්‍රහ්ම ලෝකයක් ගැන සිතිය නොහැකිය. යශෝදරාවන්ටද නිවීම අවබෝධකොට ගන්නට සිදුහත් කුමරුන්ද, රාහුලයන්ද අත්හැරිය යුතු විය. එකට බැඳීමකින් නිවීම අවබෝධ කරගත නොහැක. සහකරුවන් සමඟ නිවීම උදෙසා යා නොහැක. ඇය හෝ ඔහුද, ඔබ අතහැරිය යුතුය. අත්හැරිය විට, ඔබේ මඟ නිරවුල්ය. ඔබේ තනියට, පාළුවට ඔබ ළඟ සිටින්නේ ඔහු හෝ ඇය පමණක් වුවද, ඒ කෙනා යනු ලෝකයමය. මුළු ලෝකයටම ඔබව තබා බඳින වරපටයි. ඔබ දක්‍ෂ නම්, ඔබේ තනියට ඔබ ළඟම සිටින කෙනා ඔබෙන් අතහැර ඔබ ධර්මය අවබෝධ කරගෙන, අවම වශයෙන් සතර අපායෙන් මිදුණ සත්වයෙක් බවට හෝ පත්වී, ඇයට හෝ ඔහුට පිහිටවෙන්න.... නිවන් මඟ ඔබට තරණය කළ හැක්‌කේ ඔබ සරල, පහසු, සැහැල්ලු වන තරමටය. ඔබ ඔබේම කරගෙන ඔසවාගෙන යන්නේ ඔහු හෝ ඇය කියන බර පොදිය වුවද බර යනු බරක්‌මය. ලෝකයේ බරෙන් මිදීමට පෙරාතුව ඔබ ඔබේ බරෙන් මිදිය යුතුව ඇත. ඔබේ සහකරු හෝ සහකාරිය ඔබේ පිහිට, සරණ යෑයි ඔය සිත නිරතුරුව සිතුවද නිවන් මඟට ඇය හෝ ඔහු මහා කළුගල් පර්වතයකි. අතිනත අල්ලාගෙන දෙදෙනා ආදර්ශමත් යුවළක් ලෙස කුසල් මඟේ සතුටින් ගමන් කළද, කවදාහරි දවසක දෑස පියවෙන මොහොතේ, එය අත අතහැරීමට ඔබට නොහැකි වුවහොත් එය මහා අවාසනාවක් වනු ඇත.
Posted by SLN | at 12:34 PM | 0 comments
15 වැනි කොටස ගෞතම සම්බුද්ධ ශාසනය ඇතිවෙලා, අතීතයේ දඹදිව් තලයේ තරුණ, මධ්‍යම, වැඩිහිටි වයස්‌වල බලකාර, නිලකාර, සාමාන්‍ය, දුගි දුප්පත් පවුල්වල දරුවන් පැවිදි භාවයට පත්වී ශාසනතලය ඒකාලෝක කළේ ශාසනය තුළ කිසිදු විනයක් පනවා නොතිබියදීය. වසර 20 ක් පුරාවට අනන්ත අප්‍රමාණ පිරිසක් නිවී සැනසුනේ විනය පැනවීමකින් තොරවය. ඒ උන්වහන්සේලා තුළ සිහිය, සතිය, නිවීම කෙරෙහි ඇති වීර්යය නිසාය. එහෙත් කාලීනව බිහිවූ සතිය, සිහිය දුර්වල භික්‍ෂූන්වහන්සේලා නිසා විනය පැනවීමට ලොව්තුරා බුදුරජාණන් වහන්සේට සිදුවිය. විනය පැනවූයේ සතියෙන්, සිහියෙන් තොරව තම අරමුණ, ප්‍රතිපදාව අමතකවූ ස්‌වාමීන්වහන්සේලාට සතිය, සිහිය ඇතිකිරීමටය. ඒ තුළින් අනාගත ශාසන පැවැත්ම උදෙසාය. සමාධිය, ප්‍රඥාව තබා අවම වශයෙන් ශීලය තුළවත් හික්‌මීමට අසමත්වූ භික්‍ෂූන් නිසා විනය පැනවීමට සිදුවූ බව විනය කාරණා විමර්ශනය කිරීමේදී වැටහේ. එහෙයින් විනය කවුරු උදෙසාද යන්න පැහැදිළිය. එහෙත් ඔබ තුළ නිවීම උදෙසා අවංකභාවය, වීර්යය අධිෂ්ඨානය ඇති නම් මුල් වසර 20 තුළදී ශාසනයේ භික්‍ෂූන් වහන්සේලා හික්‌මුණේ යම්සේද එලෙස හික්‌මීමට වර්තමානයේදී භික්‍ෂුවට කිසිදු බාධාවක් නොමැත. නිවීමේ සැබෑ මඟ ඇත්තේ තමා තමා නීති පනවාගැනීමකින් තොරව ස්‌වභාවික සිත, කය, වචනය හික්‌මවා ගැනීම තුළය. සිහිය සතිය පවත්වාගනිමින් සැබෑ මධ්‍යම ප්‍රතිපදාව තුළ ඔබ හික්‌මෙන්නේ නම් ශාසනය ආරම්භවී මුල් වසර 20 තුළදී මෙන් ඔබටද සැබෑම බුදුමග යන බුදුපුතෙක් විය හැක. ඔබ විනය ගැන ගැටෙමින් ජීවත්වන්නේ නම් එයට හේතුව ඔබේ ශීලය ශක්‌තිමත් භාවයක් නැතැයි ඔබ තුළ ඇති සැකය නිසාය. ඔබ විනය දැඩි ලෙස රකින්නේ යෑයි විනයට ඇලෙමින් ජීවත්වන්නේ නම් එයද කෙළෙස් ධර්මයකි. මෙහිදී මාන්නය ඇතිවීම ස්‌වභාවිකය. නිරතුරුවම තමා තුළින් වරදක් සිදුවුණාය යන සිතිවිල්ලද, තමා නිවැරදි වුණාය යන සිතිවිල්ලද යන දෙකම තුළ ඇත්තේ ඇලීම සහ ගැටීමය. මෙය නිවන් මඟ අතරමං කරන සියුම් ස්‌ථානයකි. ශීලයෙන් ශක්‌තිමත්ව සමාධිය ඇතිකර ගනිමින් ඔබ අනිත්‍ය වශයෙන් සියල්ල දකිමින් ප්‍රඥාව වඩවාගන්න. එවිට ඔබට ඉබේම ඔබ තුළින්ම විනය රැකේවී. ශීලයෙන් පිරිහෙමින් විනයේ සරණ නොයන්න. නැවත නැවත වැරදි කරමින් නිවැරදි වීම ශාසනය රැකීමේ ප්‍රතිපදාව විය හැකිය. එහෙත් එය සැබෑ නිවන් මඟ නොවේ. මොනයම් හෝ ආකාරයකින් සම්මා සම්බුද්ධ ශාසනය රැකීම අති ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයකි. ඒ ගැන තර්කයක් නොමැත. නිවන් මඟේ හික්‌මෙන්නාට ඔහු අවංක නම් සතිය, සිහිය තුළින් විනය ස්‌වභාවිකව ඇතිවෙනවා මිස එය ආයාසයක් ගෙන ඇතිකරගන්නක් නොවේ. විනය, සතිය, සිහිය යනු තුන් නිවුන් දරුවන් සේය. සතිය සිහිය ඔබ ළඟ තිබෙන්නේ නම් ඒ ඔබ ළඟ තිබෙන්නේ විනයයි. සතිය සිහිය ඔබෙන් ගිලිහී ගිය විට විනයද ඔබෙන් ගිළිහී යනු ඇත. ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. භික්‌ෂුවකට හිසකෙස් සහ රැව්ල වෙන් වශයෙන් බෑම විනයට පටහැනි නැහැ. සතිදෙකකට මාසයකට වරක් හිසකෙස් බානවා. දින දෙක තුනකට වරක් රැව්ල බානවා. නමුත් ඔබ විනය, පොතපත අතහැරපු එක භික්‍ෂුවක් ඉන්නවා. උන්වහන්සේ හිස රැව්ල සතියකට වරක් එකටමයි බාන්නේ. වෙන් වශයෙන් බාන්නේ නැහැ. සතියක් රැව්ල වවාගෙන ඉන්න එක කෙනෙකුට ප්‍රශ්නයක්. නමුත් අදාළ භික්‍ෂුවට එය ප්‍රශ්නයක් නොවේ. මන්ද උන්වහන්සේ හික්‌මෙන්නේ ශාසනයේ විනය පැනවීමට පෙර තිබූ ශාසන චර්යාවේ නිසා. එම භික්‍ෂුන් වහන්සේ දැඩිව කියනවා මගේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී කිසිම දවසක හිස රැව්ල වෙන් වශයෙන් දින දෙකකදී නොකැපූ බව. මෙන්න මේ ප්‍රතිපදාවේ තමා සැබෑ නිවන් මඟ හික්‌මිය යුත්තේ. ඔබේ රැව්ල ඔබට ප්‍රශ්නයක් වන්නේ ඔබ කණ්‌ණාඩියකින් මුහුණ බලනවා නම් පමණයි. ඔබ කණ්‌ණාඩිය අතහරින්න. එවිට රැව්ලත් ඔබට අතහැරේවී. විනයකින් තොරවම ඔබත් හික්‌මේවි. මේ සියල්ලටම සතිය සහ සිහිය මෙන්ම අවංක බවද අවශ්‍යමයි.
Posted by SLN | at 12:32 PM | 0 comments
පළමු කොටසේ අවසන් ලිපිය... ගෞරවනීය නායක ස්‌වාමීන්වහන්සේ නමක් ශාසනයේ දරුවෙකු කළ විට ඒ සාමනේර පොඩි හාමුදුරුවන්ට, සාමනේර ලියාපදිංචිය ලබාදෙන්නත් කලින් ලබාදෙන්නේ ඉතිරි කිරීමේ බැංකු පොතක්. මෙම ක්‍රියාව දැන් හුඟක් ජනප්‍රියයි. නායක ස්‌වාමීන්වහන්සේත්, පොඩි හාමුදුරුවෝත්, දායක පිරිසත්, දෙමව්පියනුත් පොඩි හාමුදුරුවන්ගේ ඉතිරි කිරීමේ බැංකු පොත ගැන හරිම සතුටුයි. පොඩි හාමුදුරුවන්ට පිරිකරට ලැබෙන ලියුම් කවර දැන් නිකරුනේ වියදම් කරන්නේ නැහැ. පොඩි හාමුදුරුවන්ට ස්ථාවර අනාගතයක්...... පුංචි කාලෙම ඉතිරි කිරීම පුරුදු කළහම පොඩි හාමුදුරුවන්ට අතහැරීම අමතක වෙනවා. අතහැරීම අමතක වුණ පුංචි හාමුදුරුවෝ තරුණ වියට පත්වුණහම, භවයට ඉතිරි කිරීම සඳහා සිව්රු හැරයනවා. පුංචි හාමුදුරුවෝ වැරැදි නැහැ. පුංචි කාලෙ ඉඳලා උගන්වපු දෙය පොඩි හාමුදුරුවෝ ක්‍රියාත්මක කරනවා. නිරයේ බැංකුව, තිරිසන් ලෝකයේ බැංකුව, ප්‍රේත ලෝකේ බැංකු වල හොඳ පොලියක් ගෙවනවා. අවසානයේ සියල්ලන්ම එකතුවී සිව්රු හැරයැම ගැන තරුණ ස්‌වාමීන්වහන්සේලාට දොස් කියනවා. ඔබට ලිපියක් මඟහැරුණේද? මේ අවසානයක් නොවේ. එය ජවාධික ඇරඹුමක්‌මය. මෙම ලිපි මාලාව කියවූ ඔබ විසින් අපට දෙනු ලැබූ දුරකථන ඇමතුම් ගණන, යොමු කරනු ලැබූ ලිපි ගණන, අන්තර්ජාලයෙන් එවන ලද (ඊ-මේල්) කන්දරාව, ප්‍රමාණ කර දැක්‌විය නොහැකි තරම්ය. විමුක්‌තිය උදෙසා වන මාර්ගය සෘජුව සඳහන් වන තැන, එය සැබැවින්ම 'යහ මඟ' යෑයි තෝරා ගැනීමට හැකි මෙතරම් පිරිසක් මේ බිමෙහි ඉපිද සිටින වග අපට දැනුණේ මහත් වූ සතුටක්‌ද සමගය. තමනුත්, නිවන් මඟත් යන්න දෙකක් නොව එකක් කරගත් අපේ කාලයේ 'වීරයකු'වූ බුදු පුතකුගේ නිර්මල චිත්ත සන්තානයේ ඉපිද, දහමට අනුව ගැළපුණු අදහස් මාලාවක මහිමය දහම් පිපාසයෙන් පෙළුණු ජාතියක් අවදි කිරීමට තරම් ජව සම්පන්ව වූ බවකි අපට හැඟුනේ. මෙම ලිපි මාලාවේ බොහෝ තැන් පැවිදි පාර්ශ්වයට කරන්නා වූ ආමන්ත්‍රණයක් ලෙසින් මතුපිටින් පෙනුණද, ඒ ගලපා ගැනීම ගිහි දිවියක වුව සසර ගිනි නිවන සිසිල් පැන් දහරක් වූ බව නිසැකය. ගිහි පැවිදි භේදයකින් තොරව ඔබේ සදහම් සිත සරු කළා නියතය. මේ මාර්ගෝපදේශනයෙන් ඔබ දහම දකිද්දී මේ සටහන් තැබූ බුදු පුතුන් කව්රුන්දැයි දැනගැනීමට ඔබ තුළ උපදින කැමැත්ත ඉතා අහිංසක අශාවක් බව ඉඳුරාම දනිමු. ඒ හේතුවෙන්ම මේ සටහන් තැබූ ස්‌වාමීන්වහන්සේ කවරෙක්‌දැයි, උන්වහන්සේ වැඩ සිටිනුයේ කොහිදැයි අපෙන් ඇසූ පිරිසද බොහෝය. එහෙත් උන්වහන්සේ හුදෙකලාව ප්‍රියකරන නිසාම, සමාජයේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත්ව සංකීරණ වනවා වෙනුවට, අප්‍රසිද්ධියේ සරළ දිවියක් ගතකරමින් පිළිවෙත් පිරීම පහසු බව කියා ඇති නිසාම මේ ලිපි මාලාව ඔබට ඉදිරිපත් කරන අප පවා උන්වහන්සේ වැඩ සිටින ඉසව්වක් ගැන සෙවීම යුතු නොවේ යෑයි සිතමු. එබැවින් මින් මතු ඔබ විසින් ඒ පැනය අප වෙත ඉදිරිපත් නොකරනු ඇතැයිද සිතමු. මන්ද මේ බුද්ධ පුත්‍රයානෝ අප වෙනුවෙන් සිය යුතුකම් මැනවින් ඉටුකර ඇති බැවිනි. දැන් අපට ඉතිරිව ඇත්තේ ඒ අදහස් පිහිට කරගනිමින් මේ සසර ජයගැනීමය. සතර අපායෙන් මිදීමය. මෙය අවසානයක් නොව, ජවාධික ආරම්භයක් ලෙසින් සටහන ඇරඹුමේ සඳහන් කළේ එනිසාය. මේ සමග පළවෙන්නේ උන්වහන්සේගේ වචන් වලින්ම 'නිවනට මඟ' ලෙසින් මාතෘකා කර ඇති පළමු සටහන් පොතෙහි අවසන් සටහනය. එහෙත් මෙතැනින් මෙම ලිපි මාලාව අවසන් නොවේ. 'අතහැරීම' නමින් උන්වහනසේ නම් කර ඇති මෙම සටහන් මාලාවේ දෙවැන්න ලබන සතියේ සිට මේ අකාරයෙන්ම පළවනු ඇත. 'නිවනට මඟ' හෙවත් පළමු කොටසින් ඔබ ලද ජවය තවදුරටත් වර්ධනය කරගැනීමට එය ඔබට මහෝපකාරී වනු ඇත. 'අතහැරීම' කොටසෙහි ලිපි තරමක් දීර්ඝය. දහම් හරයෙන් නොතිත්ය. එයද ඔබගේ දහම් දිවිය සරුවෙන් සරුවට පත්කරනු ඇති වග නිසැකය. අපි ඔබට ආරාධනා කරමු. මහ රහතුන් වැඩි මඟේ තවත් පියවරක් තබන්නට ලබන සතියේ සිට.... (මෙම ලිsපි මාලාව ගැන උනන්දු බොහොමයක් දෙනා අපෙන් කරන ලද ඉල්ලීම වූයේ එහි සමහරක් කොටස් ඔවුනට මඟහැරුණු බැවින් ඒවා ලබාගැනීමට උපකාර කරන ලෙසය. එය අපේ උපරිමයෙන් කිරීමට උත්සහ ගත්තද පසුව එය ප්‍රායෝගිකව අපහසු කටයුත්තක් බවට පත්විය. එහෙත් මේ ලිපි මාලාව පිළිවෙලින් එකතුකර ගැනීමට ඔබට නොහැකිවී යෑයි කණගාටු නොවන්න. නුදුරේදීම ඒ පළමු කොටසේ ලිපි සියල්ල එකතු කර 'මහ රහතුන් වැඩි මං ඔස්‌සේ' පළමු කොටස ලෙසින් ඔබ අතට පත්වනු ඇත. එය පළකරනු ලබන දිනය පිළිබඳව ඉදිරි ලිපිමාලාව පළ කරන අතරතුර මේ තීරයෙන්ම ඔබට දැනුම්දෙන්නෙමු. එම පොත කිසිවිටකත් ලාභ ලැබීම හෝ වෙළෙඳ අරමුණකින් යුක්‌තව ප්‍රකාශයට පත්කරන්නක් නොවන අතර ඉන් ලබන සියලුම ආදායම මේ ශාසන සම්ප්‍රදායේ චිරස්‌ථිතිය උදෙසාම යෙදවීමේ පැහැදිලි වැඩ පිළිවෙලක්‌ද සකසා ඇත්තෙමු)
Posted by SLN | at 12:32 PM | 1 comments
මහා රහතුන් වැඩි මග ඔස්සේ.... දෙවන අර්ධය මෙතැනින් සිට පහලට....
Posted by SLN | at 12:31 PM | 0 comments
"අතහැරිම" - 1 කොටස සම්බුද්ධ ශාසනයක් මුණගැසී තිබෙන මෙවැනි දුර්ලභ අවස්‌ථාවක, ගිහි පැවිදි අපි වඩාත් උත්සහගන්නේ ශාසනය ආරක්‍ෂා කරගැනීමට සහ ශාසනයේ බර කරගසා ගැනීමටය. පිරිත, ධර්ම දේශනා, දානමය පිංකම්, විහාර නඩත්තුව, සංවර්ධනය, දහම් පාසල්, ආගමික උත්සව, සමාජ සේවා, සමාජ සේවා කටයුතු නිසා දවසේ නිදි නොලබා අවිවේකයෙන් සිටින විට ඔබට දැනෙන වෙහෙස ඔබ දකින්නේ ශාසනයේ බර කරගසා ගැනීම නිසා ඇතිවෙන වෙහෙසක් ලෙසය. මෙය වැරදි අර්ථකථනයකි. සම්බුද්ධ ශාසනය යනු ඔබට බරක් දැනෙන දෙයක් විය නොහැක. එය ඔබව බරෙන් නිදහස් කරන, සැනසිල්ල ලබාදෙන දෙයකි. අපි අදිටන් කරගතයුත්තේ ශාසනයේ බර දැරීමට නොව, ශාසනයේ සැහැල්ලුව දැරීමටය. ශාසන ප්‍රතිපදාවේ යෙදෙන විට ඔබට වෙහෙසක් බරක් දැනේ නම් ඔබ, ඔබ ඉදිරියේම ප්‍රශ්නාර්ථයක් තබාගත යුතුය. මග නොමග ගැන සිතීමට ඔබ නිහතමානී විය යුතුය. එහෙත් ඔබ සොයන්නේ ඔබේ ජීවිතයට සැපයක් නම්, සතුටක් නම්, ඔබට වෙහෙස මෙන්ම බර දැනෙනු ඇත. මන්ද ඔබ නැති යමක් සොයන නිසාය. අපි බෞද්ධයන් විය යුත්තේද, පැවිදි විය යුත්තේද ශාසනයේ සැහැල්ලුව දැරීම සඳහාය. ශාසන ප්‍රතිපදාවේ යෙදීමේදී අපට බරක්, වෙහෙසක් දැනේනම් එය අපට අවශ්‍ය නොමැත. ගිහි පැවිදි අප නිවැරැදි ලෙස ආමිස ප්‍රතිපදාවේ යෙදෙන විට, ලොව්තුරු බුදුසමිඳුන්ට මහේශාක්‍ය ලීලාවෙන් ආමිසයෙන් පූජා පවත්වන විට, එහි ආනිසංශ වශයෙන් පූජා පවත්වන්නාට සිව්පසය ගලාගෙන එන්නේය. එය ආශ්චර්යයක් නොවේ. බුදු බලය, සම්මා සම්බුදුරජානන් වහන්සේ කෙරෙහි ඔබ තුළ ඇති ශ්‍රද්ධාව ඔබට ලැබෙන දිට්‌ඨධම්මවේදනීය කුසල විපාකයකි. මෙම සෞභාග්‍යය සමාජයේ අපට නිතර දකින්න පුළුවන්. නමුත් කුසල විපාකයක් වශයෙන් සෞභාග්‍යය ලැබෙනවිට අප පටලවා ගන්නවා. ඔබට මේ සෞභාග්‍යයේ විපාකය ලැබෙන්නේ, ලොව්තුරා බුදු සමිඳුන් කෙරෙහි තව තවත් ශ්‍රද්ධාව වඩවාගෙන උන්වහන්සේ දේශනා කළ ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ඉදිරියටම විශ්වාසයෙන් වඩින්න. සෞභාග්‍යය තුළින් ඔබට විශ්වාසයක් ලබාදෙන්නේ මේ දෙය කළොත් මේ දෙය ලැබෙනවා කීම පිණිසයි. එවිට ඔබ දක්‍ෂ විය යුතුයි. ආමිසයෙන් ප්‍රතිපත්තියට නැඹුරු වෙන්න. නමුත් අප සෞභාග්‍යය බදාගැනීමට ආමිසය තුළ සිරවෙනවා. එවිට තව තවත් සිව්පසය ගලාගෙන එනවා. අවසානයේ එම සිව්පසය විසින් අපව ග්‍රහනයකට ගන්නවා. එවිට ඔබ ශීල, සමාධි, ප්‍රඥා නිවන් මගේ ඉදිරියට නොයා, ඔබ සැපයි කියා සිතූ තැන නවාතැන් ගන්නවා. පදිංචි වෙනවා. මෙහි වැරැද්දක් ඔබට පෙනෙන්නේ නැහැ. ඔබ දැන් සෞභාග්‍යය ලැබීමෙන් මත්වෙලා. ඔබට දුර පෙනෙන්නේ නැහැ. ඔබ දකින්නේ ළඟ පමණයි. ඈත තිබෙන ප්‍රඥා මාර්ගය ඔබට පෙනෙන්නේ නැහැ. මොකද ඔබ පසුපසටයි ගමන් කරන්නේ. අලෝකයට පිටුපාමින්, අඳුරේ අතපතගාමින් අපි මොනවද මේ සොයන්නේ. නැති සතුටක්, සෞභාග්‍යයක් සොයනවා. ඔබ සොයමින් යන සතුට, සෞභාග්‍යයේ මිම්ම, සීමාව, සෑහීම, නොසැහීම තිබෙන්නේ ඔබ ළඟමය. මේවායේ තීරකයා, විනිශ්චයකරුවා ඔබේ ඇති වෙමින් නැතිවන සිතමය. එහෙත් ඔබ ලෝකය තුළ කිසිදා හමුනොවන සතුට සොයනවා. සැප සොයනවා. ඔබට ලැබීමටත්, අතහැරීමටත් දෙකටම මඟ කියන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාවයි. ඔබ මෙහිදී දක්‍ෂ වෙන්න අවශ්‍යයි. කුමකටද? ලැබීම අතහැර ඔබට සිව්පසය ලාභසත්කාර ලබාදීමට මඟ පෙන්වූ ලොව්තුරා බුදු සමිඳුන් දැකීමට. ලොව්තුරා බුදුසමිඳුන් උන්වහන්සේව දකින්නට, ඔබට අවස්‌ථාව සලසාදී තිබියදී, ඔබ නැති සතුටක් සොයමින්, නිදිමරා වෙහෙසෙනවා. විඩාවෙන් අවිවේකයෙන් සිටින ඔබ ඔබෙන් අසන්න, මේ මොහොතේ ඔබ සොයන්නේ එම නැති සතුටම නේද? කියලා. සියලුම මනුෂ්‍යයන් විසි හතර පැයේම වෙහෙසෙන්නේ කුමක් සඳහාද? ඔවුන් ඒ වෙහෙසෙන්නේ අයිති කරගැනීම සඳහාය. වැඩිකර ගැනීම සඳහාය. මොනවා අයිතිකර ගැනීම සඳහාද? සැප, සතුට, වගකීම්, නායකත්වය වැඩිකර ගැනීමටය. අයිතිකර ගැනීමටය. මිනිසා පමණක් නොව, තිරිසන් සතාද අරගල කරන්නේ, වෙහෙසෙන්නේ, සැරිසරන්නේ සැප සෙවීම සඳහාය. දෙවියෝද දිව්‍ය ලෝකවල බැසගෙන දිව්‍ය සැප, දිව්‍ය ඕජාව විඳින්නේ සැපයට ඇති කැමැත්ත නිසාය. සැපය නිත්‍ය යෑයි ගෙන සැප පසුපසම හඹායැම නිසා ඔවුන් නිරතුරුවම රැස්‌කරන්නේද තන්හාවමය. තන්හාව තුළින් ජනිතවන්නේද අකුසලයක්‌මය. සත්වයින්ට සැප සෙවීම සඳහා යන මේ අසාර්ථක ගමනේදී තමන් නොදැනුවත්වම සතර අපායට වැටී අනන්ත දුක් විඳිමින් සැරි සැරීමට සිදුවනු ඇත. බ්‍රහ්ම ලෝකවල ජීවත්වන මිත්‍ය දෘශ්ඨික, තෙරුවන් සරණ නොගිය බ්‍රහ්මයෝද නැවත සතර අපායට වැටී දුක්‌විඳීමේ ස්‌වභාවය ඇත. බ්‍රහ්මලෝක වල සිටින සම්‍යක්‌දෘෂ්ඨික බ්‍රහ්මයන් හැර අන් සියලු සත්වයන්ට සැපය සොයායන ගමනේදී අත්වනුයේ එකම ඉරණමකි. දිව්‍ය සැප කෙටිය. සතර අපායේ දුක ඉතා දීර්ඝය. දිව්‍ය ලෝකයේ දෙවියන් නිරතුරුවම අනන්ත කාම සම්පත් විඳිමින්, එම කාම සම්පත් වලට තව තවත් ලොල් වෙමින්, අධික ආශාවෙන් කාමය පසුපස හඹායැම නිසාත්, නිරතුරුව තන්හාව වැඩීම නිසාත් අකුසල රැස්‌කර ගනී. මේ හේතුවෙන් දිව්‍ය සැප ඉක්‌මනින් පිරිහී යයි. දෙවියන් නැවත සතර අපායට වැටීමේ ඉඩකට ඉතාම වැඩිය. එහෙයින් දිව්‍ය සැප කෙටිය. සතර අපායේ ජීවත්වන සත්ත්වයා, ඔහු විඳින දුක නිසාම නිරතුරුව වෛරය, ක්‍රෝධය සහිතව ජීවත් වේ. එතුළින් සෑම මොහොතකම එම සත්වයන් රැස්‌කරන්නේ අකුසලයක්‌මය. මේ හේතුවෙන් අකුසල් වැඩිවී, මේ සත්වයා දුකෙන් දුකටම පත්වේ. සතර අපායේ කොටස්‌කරුවන් බවටම පත්වේ. බ්‍රහ්ම ලෝකයේ ජීවත්වන බ්‍රහ්මයාද තමා විඳින සමාධි සැපය අනිත්‍ය යෑයි දකින මොහොතේම අරිහත්වයට පත්වීමට හැකියාව තිබියදී, සමාධි සැපය අනිත්‍ය යෑයි දකිමින් එහි සතුට සොයන නිසා, අරිහත්වයට තමා විසින්ම දොරගුළු දමාගනී. බ්‍රහ්ම ලෝකයේ, බ්‍රහ්ම තලවල මිත්‍යදෘෂ්ඨික බ්‍රහ්මයන්ද ඇත. ඒ මිනිස් ජීවිත වලදී ශීලය, සමාධිය උපරිම මට්‌ටමින් වැඩීම නිසා බ්‍රහ්ම සැප ලබයි. නමුත් සම්මා සම්බුද්ධ ශාසනය තුළ තෙරුවන් සරණ නොගිය පිරිසකි. බෞද්ධයින් නොවේ. මේ බ්‍රහ්මයන් ප්‍රඥාව වඩවාගෙන නොමැත. ඔවුන් සිටින්නේ අවිද්‍යාව තුළය. එවැනි බ්‍රහ්මයන් නැවත සතර අපායට වැටේ. එහෙත් ශීලය, සමාධිය උපරිම මට්‌ටමින් වැඩීමේ ආනිසංස නිසා ඒ අයට කල්ප ගණන් බ්‍රහ්ම සැප ලැබිය හැකිය. කවදාහෝ දවසක තෙරුවන් මුණගැසී, තෙරුවන් සරණ ගොස්, ප්‍රඥාව වැඩී, සෝවාන් ඵලයට පත්ව, බ්‍රහ්ම ලෝකය තුළම නිවීමේ මඟට පත්වීමට මේ අයට හැකියාව ඇත. එතෙක් ඔවුනද නැති සතුටක් ලෝකය තුළ සොයන පිරිසක්‌මය. ඒ අය මිනිස් ජීවිතවලදී අතහැරීම පුරුදුකොට ඇත. එහෙත් ඔවුන් අතහැරීම පුරුදුකොට ඇත්තේ ප්‍රඥාව නිසා නොව සමාධි සැපයට ඇති ලොල්වීම, තෘෂ්ණාව නිසාය. සියලුම සැප අතහැරියත් සමාධි සැපය නිත්‍ය බවට ඇති විශ්වාසය නිසාය. සැප සොයන සියලු සත්වයෝ මේ යන්නේ කිසිදා තෘප්තිමත් නොවන ගමනකය. ඔබේ කුටිය දෙස බලන්න. එහි සුවපහසු පුටු,මේස, ඇඳ, ඇතිරිලි, පාපිස්‌නා, පලස්, රේඩියෝ, ආහාර පාන, කිරිපිටි, බෙහෙත් තිබෙනවාද? මේ සියල්ල තිබෙන්නේ තමන්ගේ ආත්ම ගරුත්වය, සැප සඳහාය.ඒ කියන්නේ නිරතුරුවම ඔබ සිටින්නේ දෙවැනියෙක් සමඟමයි. හුදෙකලාව නම් නොවේ. ඔබම සිතන්න, තුන් සිවුරත් පාත්‍රයත් කියන සීමාවෙන් කොච්චර දුරස්‌වද ඔබ ඉන්නේ. එපමණටම තන්හාව ඔබේ හුදෙකලාව මකන හිතවතා වෙලා. සක්‌විති රජ පදවියද, රාජ රාජ මහාමාත්‍ය පදවිද සංසාරයේ ලබා ඇති අපි , එම රජශ්‍රීය තළුමරමින් රසවිඳ ඇති අපි. වර්තමානයේදී අනවබෝධය නිසා නොවිඳපු රස, සැප සොයමින් තරගයක යෙදී සිටිමු. සංසාරයේ ඔබ සක්‌විති රජ පදවිය ලද මොහොතේදීද එම සක්‌විති රජ පදවියෙන් චුතවන මොහොතේදීද, ඔබ එම සැපයෙන් සෑහීමකට පත්නොවුණි. ඒ නිසාම තන්හාවෙන් ගැටෙමින් ඔබ නැවත නැවත සසර සැප සොයන ගමනටම වැටුණි. මේ ඔබ යන්නේ එම මාර්ගයේය. මේ මාර්ගයට ඔබව දැම්මේ අන් කිසිවෙකු නොව, අවිද්‍යාවෙන් පිරි ඔබේ සිතමය. කෑදර, ගුණමකු, අවිචාරවත්, පංචකාමය සොයාගෙන අයාලේ යන ඔබගේ ඇති වෙමින් නැතිවෙන සිතමය. මේ කෑදරකම නිසාම ඔබව රැගෙන පැමිණි දුර තව රැගෙන යැමට නියමිත දුර, ඉලක්‌කම් වලින් ප්‍රකාශ කළ නොහැක. ඔබ කව්රුන් වුවද ඔබ මේ වෙහෙසෙන්නේ සැප සෙවීම සඳහා නොවේද? ඔබ මේ පුවත්පත අතට ගත්තේද ඔය සිත ඔබට අණ කළ නිසා නේද? ඒ සිත දැන් තිබෙනවාද? එය අනිත්‍ය වී ගොසිනි. ඒ සිත ඔබට අයිති දෙයක් නොවෙයි නේද? ඔබට ආගන්තුකයෙක් නේද? එහෙත් අතීතයේ යම් මොහොතක එම සිත නිත්‍ය යෑයි සිතා, ඔබේ යෑයි සිතා, සිත ක්‍රියාත්මක කළා නේද? ඒ තුළින් ඔබ කුසලයක් හෝ අකුසලයක් රැස් කළා නේද? මේ දෙකම ඔබට රැගෙන යන්නේ බවයට නේද? එසේ නම් අනිත්‍ය වශයෙන් නොදකින සෑම සිතක්‌ම ඔබව සංසාරයට රැගෙන යනවා නේද? ඔබ නිවන් අරමුණ කරා යන නිවීමේ මෙහෙයුමේ, යම් සන්ධිස්‌ථානයකදී ඔබගේ ඉදිරියට ලොව්තුරා බුදු සමිඳුන් වඩිනවා. එය ස්‌ථිරයි. නියතයි. එහෙම උන්වහන්සේ වැඩම කරලා ඔබට නිවන් මඟේ ඉතිරි දුර සම්පූර්ණ කරන්න කමටහනක් දෙනවා. එය දෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ ඔබට දෙන කමටහන තමයි ඇතිවුණ සිත අනිත්‍යයි කියලා දකින්න කියන කමටහන. ශාස්‌තෘන් වහන්සේ දෙන කමටහනක් නිසා එය දැඩි ලෙස ඔබට දැනෙනවා. අවබෝධ වෙනවා. ඒ මොහොතේම ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව දැකපු සිත අනිත්‍ය වශයෙන් දකිනවා. උන්වහන්සේගේ රූපකාය, උන්වහන්සේගේ කමටහන, මේ සියල්ල අනිත්‍ය වශයෙන් දකිනවා. ඔබට වැඩෙන ප්‍රඥාව තුළ එය එසේ වනවාමයි. මෙහිදී ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කියලා දකින්නේ ඔබ තුළ වැඩෙන ප්‍රඥාවයි. ප්‍රඥාවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේත් කියන්නේ දෙකක් නොව එකක්‌ය යන්න ඔබට මෙහිදී හොඳින් අවබෝධ වනවා. අපි හිතන්නේ නැහැ බුදුරජාණන් වහන්සේත් ප්‍රඥාවත් කියන්නේ එකක් බව. එහෙත් ඔබ නිවීමේ මෙහෙයුමේ ක්‍රියාත්මක භාවයට පත්වීමේදී ඔබට මේ යථාර්ථය අවබෝධ වනවා. අද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවානම් ඔබට දෙන කමටහනත් ඔය කමටහනම විය යුතුය. zඇතිවුණ සිත අනිත්‍ය වශයෙන් දකින්නZ එය තන්හාවෙන් තෙත්කොට ක්‍රියාත්මක භාවයට පත්වීමට ඉඩ නොදෙන්න. ඔබ මෙතෙක් කළේද, කරමින් සිටින්නේද ඇතිවන සිත තන්හාවෙන් තෙත්කර ක්‍රියාත්මකභාවයට පත්කිරීමය. බලන්න ඔබ මොනතරම් වාසනාවන්තද කියලා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිණිවී වසර දෙදහස් හයසියයක් ඉක්‌මගියද, ඔබ දක්‍ෂ නම් ඔබට පුළුවන් උන්වහන්සේගෙන් කමටහන් ලබාගන්න. උන්වහන්සේව දකින්න. උන්වහන්සේගෙන් ආරක්‍ෂාව ලබාගන්න. උන්වහන්සේ සැනසුණු ධර්ම මාර්ගයේ සැනසීම ලබාගන්න. අසූහාරදහසක් පහන්ද, මල්ද, හඳුන්කූරුද, පිරිකරද පූජාකර ඔබ දකින්නේ දිව්‍ය, මනුෂ්‍ය සශ්‍රීක සංඥාවන්මය. එම සංඥා භවගාමීය. එහෙත් ඔබ එම සිත අනිත්‍ය වශයෙන් දැකීමෙන් ඔබ දකින්නේ ධර්මයයි. ඔබ දකින්නේ ලෝකයේ සැබෑ ස්‌වභාවයයි. හැබැයි ඔබ තුළ තවම එම ශක්‌තිය මෝදුවී නැති නම්, ඔබ කළ යුත්තේ ඉහත පිංකම්වල යෙදෙමින්, ඔබ තුළ ඉහත ශක්‌තිය වර්ධනය කර ගැනීමය. එහෙත් ඔබ එකතැන පල්වෙන, එකතැන පදිංචිවෙන බෞද්ධයෙක් නොවිය යුතුය. අත්විඳිමින්, අත්දකිමින්, අවබෝධය කරා යන බෞද්ධයෙක් විය යුතුය. පෘථග්ජන සත්වයා කල්මැරීමට ඉතාමත් ප්‍රියය. අතීතය පුරාවට කළේද කල් මැරීමය. බහුතරයක් බෞද්ධයෝ වර්තමානයේදීද මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී උන්වහන්සේගෙන් ධර්මය අසා, නිවන් දැකීමට බලාපොරොත්තු වෙති. ප්‍රාර්ථනා කරති. ඔබ ගිහි හෝ පැවිදි වුවද මෙසේ ප්‍රාර්ථනා කිරීමේදී ඔබ දකින්නේ මෛත්‍රී බුදුන් නොව, අවිද්‍යාවයි. ඔබ ප්‍රාර්ථනා කරන්නේ අවිද්‍යාවයි. නමුත් මෛත්‍රී බුදුන්ගේ ශාසනයේදී උන්වහන්සේගෙන් ධර්මය අසා නිවන් දකින්න යෑයි ඔබට අණකරන ඔබේ සිත අනිත්‍ය බව දැකීමෙන් ඔබ දකින්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේමයි. උන්වහන්සේ දේශනා කරන ධර්මයමයි. බලන්න ධර්මයේ ආශ්චර්යය. අද මේ මොහොතේදී ඔබට පුළුවන් මෛත්‍රී බුදුසමිඳුන් විසින් දේශනා කරන ධර්මය දකින්න. අත්විඳින්න. එහෙත් ඔබ තුළ ඇති අවිද්‍යාව නිසා, ඔබ දුක් විඳිමින් කල්ප ගණනක් සසර ඈතට යන්න යනවා. අවිද්‍යාව විසින් සත්වයාව මොනතරම් මුලාකරනවාද බලන්න. මෛත්‍රී බුදුසමිඳුන්වත්, උන්වහන්සේ දේශනාකරන ධර්මයත් මේ මොහොතේ දකින්න අවස්‌ථාව තිබියදී, භවයට කෑදර අපේ සිත, අපිව දුකටම ඇදගෙන යනවා. මෛත්‍රී බුදුසමිඳුන්ව පෙන්වනම් කියා අපිට අවිද්‍යාව පෙන්වනවා. ඔබ දක්‍ෂවෙන්න නිරතුරුවම ඇතිවන සිත අනිත්‍ය වශයෙන් දකින්න. සිත ඔබට අයත් දෙයක් නොවන බව දකින්න. ඔබට ආගන්තුකයෙක් බව දකින්න. සිත ඔබේ දුක් දෙන මිතුරා බව දකින්න. ඔබ මෙසේ දකිද්දී ඔබ තුළ වැඩෙන්නේ සතර සතිපට්‌ඨානයයි. ඔබ අවබෝධ කරන්නේ පංචඋපාදානස්‌කන්ධයයි. පටිච්චසමුප්පාදයයි. සප්ත බොඡ්ජංග ධර්මථාවයනුයි. ඔබ මේ කිසිවක් සොයා යා යුතු නැත. හැදෑරිය යුතුද නැත. ඇතිවන සිත අනිත්‍ය වශයෙන් දැකීමේදී ඉහත ධර්මතාවන් ඔබ තුළ අයාසයෙන් තොරව වැඩෙනු ඇත. ඔබට අවබෝධවනු ඇත. සිතේ අනිත්‍යභාවය නොදකින්නා, මේ ධර්මථාවන් සොයාගෙන කමටහන් පංති දේශනා පසුපස යා යුතුය. ඔහු මේ සොයන්නේ තමා තුළ තිබෙන දෙයකි. සියල්ල සෙවීම අතහැර ඔබ මේ සතර මහා ධාතූන්ගෙන් සකස්‌වුණ, දෙතිස් කුණපය ක්‍රියාත්මකභාවයට පත්කරන, ඇතිවී නැතිවී යන සිත ගැන පමණක් සොයන්න. දකින්න. ඒ ඔබ සොයන්නේද, දකින්නේද ධර්මයයි. ඔබට කතරගමට යැමට අවශ්‍යනම් ඔබ කළ යුත්තේ බස් නැවතුමට ගොස් කතරගම බසයකට ගොඩවී, ටිකට්‌පතක් ලබාගැනීමය. එවිට බසය ඔබව කතරගමට රැගෙනයනු ඇත. කතරගමට යන ගමනේදී ඔබ වටපිටාව හොඳින් නිරීක්‍ෂණය කරමින් ගියහොත් ඔබට කළුතර බෝ සමිඳුන්ද, ගාල්ල වරායද, හම්බන්තොට ලුණු ලේවායද, තිස්‌ස මහසෑ සමිඳුන්ද දැකිය හැකිය. ඔබ බස් රථයට ගොඩ නොවී බස් නැවතුමේ සිටින අයගෙන්, එහෙත් නැතිනම් මාර්ග සිතියමකින් කළුතර බෝ සමිඳුන් ගැන, ලුණු ලේවාය, වරාය, මුහුද ගැන විස්‌තර තොරතුරු ඒවායේ ස්‌වභාවය ඇසීමට ගියහොත්, සෙවීමට ගියහොත් ඔබට බසය වැරදී අතරමං වීමට සිදුවනු ඇත. මෙපරිද්දෙන් ඔබ සිත දෙස බලාසිටින්න. එවිට සතර සතිපට්‌ඨානයද පටිච්චසමුප්පාය, පංචඋපාදානස්‌කන්ධය, සප්ත බොඡ්ජංග ධර්මයන් පෙණෙනු ඇත. දකිනු ඇත. අවබෝධය ලබනු ඇත. මේවා සොයා ටියුෂන් නොයා යුතුය. සිත දෙස බලන්න. සිත යනු අනිත්‍යයයි. ලෝකයයි. සුන්දරත්වයයි. අසුන්දර බවයි. සැපයි. දුකයි. මෛත්‍රයයි.ක්‍රෝධයයි.භවයයි. නිවීමයි. කොටින්ම සිත යනු ලෝකයේ නිර්මාණකරුවායි. සිත යනු දුක් ගොඩකි.එහෙත් ඔහු ඔබගේ පරම මිතුරාය. ඔබට සැනසිලිබස් තෙපලන සුරතලාය. හරි මග වසා වැරදි මඟ පෙන්වන වංචාකරුවාය. එසේම ඔබගේ ගැලවුම්කරුවාය. එනිසා අවබෝධයෙන් සිත හඳුනාගන්න. සිත ඔබේ කලණ මිතුරා කරගන්න. එය කළ හැක්‌කේ සිත අතහැරීමෙන්ය. සිත අතහැරීමේදී ලෝකයද ඔබට මඟහැරෙනු ඇත. සැප අනිත්‍ය වන බව දුක දන්නා නිසා, සැප අසලම දුක ගැවසෙමින් සිටියි. සැපය දන්නා දෙයත්, දුක දන්නා දෙයත් ඔබ නොදන්නේ සැපත් දුකත් දෙකම ඇති කළේ ඔබට ආගන්තුක, ඔබට අයිති නැති සිතක් නිසාය. ඔබ සිත ගැන දන්නේ නැහැ. සිත ගැන බලන්නේ නැහැ. දිනපතා කණ්‌ණාඩි මේසය ළඟට ගිහින් හිස, රැව්ල, ඇස, කන, දිව, දත්, මුහුණ, කුරුළෑ, සම බලනවා. අඩුපාඩු තිබුණොත් විටමින් බොනවා. ක්‍රීම් ගානවා. මා තුළ මා බලනවා. ලස්‌සන කරනවා. නමුත් සිත ගැන බලන්නේ නැහැ. ඔබ, සැප සෙයාන සිත, ලස්‌සන සොයන සිතදෙස ප්‍රඥාවේ කැඩපතින් බලන්න. ඔබ දකින්නේ ඔබව නොව, මහා වේගයක් පමණක්‌ය.
Posted by SLN | at 12:28 PM | 0 comments
ඔබ රටේ තොටේ සංචාරය කළොත් ඔබට හැමතැනකම දකින්න ලැබෙන දෙයක් තමයි රූපලාවන්‍ය ආයතන. අතීතයේ අපි ගමක නගරයක ඇති බාබර් සාප්පුවක් මිස මෙවැනි ආයතන දැක නැහැ. රූපය වර්ණවත් කරන රූපලාවන්‍ය ආයතන, ගුවන් විදුලි ආයතනවල, රූපවාහිනී සේවාවල රූපලාවන්‍ය වැඩසටහන් ඔබගේ රූපය වර්ණවත් කිරීම සඳහා, ප්‍රභාශ්වර කිරීම සඳහා මොනතරම් වැඩසටහන් කරනවාද. මේවා මෙහෙයවන හැඩකාර පිංවත් නෝනාමහත්වරුන් මොනතරම් ආත්ම අභිමානයකින්ද මේ රූපයට උරුම ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදිය මුදවපු කිරිවලින්, යෝගට් වලින්, පිපිඤ්ඤා, කැරට්, බිත්තර සුදු මදවලින්, ක්‍රීම්, ජෙල්, ඩයි වර්ගවලින් පරාජයට පත්කරන්න උත්සහගන්නේ. ශරීරයේ දෙතිස් කුණපයම ලස්‌සන කරන්න, රැළිවැටීම නවත්වන්න, කාන්තිමත් කරන්න, ඇති රෝම නැති කරන්න, නැති රෝම ඇති කරන්න, සුදු කෙස් කළු කරන්න, කළු කෙස් නා නා වර්ණ ගන්වන්න...... බලන්නකෝ, ආශ්චර්යමත් ක්‍රියාන්විතයක් මේක. මේ ක්‍රියාන්විතයේ රූපයේ හැඩගන්වලා, ඔපවත් කරලා, මෝස්‌තර විලාසිතා, විසිතුරු මාල, වළලු, මුදු පළන්දලා මේ කය අංග සම්පූර්ණ කරලා ගත්තහම මොන තරම් හැඩද. මෙවැනි හැඩකාර පිංවත් නෝනා මහත්වරුන් වයස් භේදයකින් තොරව වර්තමානයේ වැහි වැහැලා. මේ අය "රීකන්ඩිශන්" කරපු තම කය දරාගෙන මහත් අභිමානයෙන් යුතුව කාලය ගත කළත් ඔබ දන්නවාද ඒ අය මොනතරම් බියකින්ද ජීවත්වෙන්නේ කියලා. තමා කෘත්‍රිමව සකස්‌කරගත් ශරීර ස්‌වභාවය, හැඩය, වර්ණය අහිමිවේය කියලා. මේ අහිමිවීම වැළැක්‌වීම සඳහා මොනතරම් මේ අය දුක්‌විඳිනවද, මහන්සි ගන්නවද.. ඒ වෙහෙස නේද දිනෙන් දින ඉහළ යන රූපවාහිනී රූපලාවන්‍ය වැඩසටහන්, රූපලාවන්‍යාගාර, විලාසිතා, ඇඳුම් මාලිගා, විසිතුරු පළඳනා යන ක්‍ෂෙත්‍ර වල දැවැන්ත වර්ධනය. මේ පිබිදීමට හේතුව ලෝකයා තුළ රූපයටත්, එහි හැඩය, වර්ණය, කාන්තිය, රිද්මය, ලාලිත්‍යය අහිමි වේය, අඩුවේය කියන බිය නිසාම ඇති වූවකි. වයස් භේදයකින් තොරව ලෝකයා එහි ගිලනුන් බවට පත්වී ඇත. ඔවුන් මේ සොයන්නේ නැති දෙයකි. අනිත්‍ය බවට පත්වන දෙයකි, එහෙයින් ඔවුනට හිමි දුකම පමණකි. රූපලාවන්‍යාගාර, රූපලාවන්‍ය වැඩසටහන්, මුදවපු කිරි පිපිඤ්ඤා, කැරට්, බිත්තර සුදුමද මේ දුකේ, අවිද්‍යාවේ සංෙ€තයන්ය. සිහිවටනයන්ය. යමෙක් මේවායේ සේවාව සොයාගෙන යන්නේ නම් හේ අසරණයෙකි. දුකෙන් මිදීම පිණිස දුක ඇති කළ මාරයාම සොයායැමකි. ජාති, ජරා, ව්‍යාධි මරණ දුක නැතිකරගැනීම පිණිස ජාති, ජරා, ව්‍යාධි මරණ දුකම සොයායැමකි. රූපයේ ආශ්වාදය පමණක්‌ම කථාකරන අවිද්‍යාවේ හඬවල් ඔබව මේ ගාල් කරන්නේ දුකෙන් දුකටමය. දුකෙන් නිවීමට, සැනසීමට නොවේ. ඔබට මේ ජීවිතයේ නිවීම, සැනසීම අවශ්‍ය නම් ඔබ මේ අවිද්‍යාවේ හඬට සවන් නොදිය යුතුයි. එහි වහලෙක් ගොදුරක් නොවිය යුතුව. ධර්ම මාර්ගයේ ගමන් කරන පිංවත් මහත්ම මහත්මීන්, අනන්ත අප්‍රමානව ඔබට මුණගැසී ඇත. ඒ අය ශරීරය අස්‌වාභාවික ලෙස හැඩනොගැන්වූ, ස්‌වභාවය විකෘති කරනොගත් උදවියයි. සුදුවත් දරාගෙන, බොහොම සංවර ප්‍රසන්න, ශාන්ත ස්‌වභාවයෙන් සමාජයේ ජීවත් වෙනවා. මේ අය දැකපුවහම කෙනෙකුට හිතෙන්න පුළුවන් දිව්‍ය ලෝකයේ දිව්‍ය දිව්‍යාංගනාවනුත් මේ වගේම ඇතිය කියලා. ඔවුන් ඒ තරමටම ප්‍රසන්න සුන්දර නිසා. ඒ අයගේ රූපලාවන්‍ය තමයි බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, දාන ශීල ප්‍රතිපදාව. රූපය කියන්නේ මරණයක්. රූපය කියන්නේ ව්‍යාධියක්, රූපය කියන්නේ ඉපදීමක්. එහෙම දෙයකට මෝස්‌තර හැඩතල, රිද්ම දමනවා කියන්නේ මරණයකට, ඉපදීමකට, ව්‍යාධියකට මෝස්‌තර, හැඩතල, රිද්ම දැමීමක්. බලන්න අපි මොනතරම් අදක්‍ෂද? හැබැයි ඉතින් මේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. අවුරුදු 80ක් ජීවත් වෙලා ගෙදර ආත්තම්මා මිය ගියහම ගෙදර සාලය මැද්දෙ තිබෙන ඇගේ මිනී පෙට්‌ටිය වටේට පාට පාට විදුලි බුබුලු වැල් දමනවා. අත්තම්මාගේ ඉදුණු අවපැහැගැනුණු කොණ්‌ඩය, රැලි වැටුණු අතපය, ඉදුමුණු මුහුණ ලයිට් එළියට ලස්‌සනට පේනවා. ගෙදර අය කියනවා, ආච්චි මැරුණත් මුහුණ හරි ලස්‌සනයි. මුහුණේ සිනා රැල්ලක් තිබෙනවා කියලා. බලන්න අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ ආශ්වාදය කරන හැටි. සුදු වෙන හිසකෙස්‌වලට වර්ණ දානවා කියන්නේ, රැළි වැටෙන සමට, ඇහි බැමට, නියපොත්තට රූප ලාවන්‍ය කරනවා කියන්නේ මරණයකට, ව්‍යාධියකට සාත්තු කරනවා කිරීමක්. ඔබ හිතලා බලන්න, පතිකුළයට යන පිංවත් මනාලියක් පෙරවරු 10 ට පෝරුවට නගින්න තිබෙනවා නම්, රූපලාවන්‍ය ශිල්පියා ඇයව හැඩකරන්න ගන්නේ, ඒ කියන්නේ ඇයගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වහන්න, සඟවන්න, යටගහන්න පටන්ගන්නේ පාන්දර තුනේ හතරේ පටන්. ඒ විතරක් නොවෙයි. පතිනියගේ ශරීරය නිවෙන්නට, ප්‍රසන්න වෙන්න, කාන්තිමත් වෙන්න අවශ්‍ය උපදෙස් පිළිපැදීම ඊට මාසයට පමණ පෙර සිටයි ඇය ආරම්භ කරන්නේ. මොකක්‌ද මේ උත්සහය. ජාති, ජරා, ව්‍යාධි, මරණ නොපෙන්වීමේ උත්සහයයි. හැබැයි මෙතනදී මනාලියට මෛත්‍රිය වැඩීම ගැනත් කියලා දෙනවා. සිත සන්සුන්ව තබාගන්න... බලන්නකො රූපයේ ආදීනවය සමඟින් ආශ්වාදය තළු මරමින් වමාරන මාරයා මෙතැනදී මෛත්‍රිය ගැනත් කියලා දෙනවා. මඟුල් ගෙදර අමුත්තෝ මැද්දේ දහවල් කාලය ලංවෙද්දී වෙහෙස, තෙහෙට්‌ටුව, අවිවේකය, දහඩිය කඳුළු හේතුවෙන් මනාලියගේ සඟවපු ජාති, ජරා, ව්‍යාධි මරණ පවුඩර් දියවෙලා නැවත පෙනෙන්නට පටන් ගන්නවා. නැවත දහවල් කෑමෙන් පස්‌සේ රූපලාවන්‍ය ශිල්පියා මනමාලියගේ ජාති, ජරා, ව්‍යාධි මරණ පවුඩර් ක්‍රීම්වලින් වසාදමනවා. හැබැයි ඉතින් පිංවත් මනාලිය මනාල මහත්මයාගේ නිවසට ගියහම, යට ගැසූ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔක්‌කොම පේන්න ගන්නවා. මේවා දැකලා මනමාලයා, මනමාලිය කම්පා වෙනවද? නැහැ. ගෙදර ගෙනාපු ජාති, ජරා, ව්‍යාධි, මරණ කොටම ගන්නවා. මා තුළ ඇය ඉන්නවා, ඇය තුළ මා ඉන්නවා කියා සිතා zඅපි ලුණුයි බතුයි කාල හරි ජීවත්වෙමුZ යි ගිවිස ගන්නවා. ඒ කියන්නේ මේ දුක අපි සැපයක්‌ම කරගමුයි කියන එකයි. "මගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔබ ගන්න. ඔබේ ජාති, ජරා, ව්‍යාධි, මරණ මට දෙන්න." තියෙන දුක මදිවට අනුන්ගේ දුකත් තමාගේ කරගන්නවා. විවාහය නාමයෙන් සිද්දවුනේ එක සැපයක් උදෙසා දුක් ගොඩක් අයිතිකර ගැනීමකි. ඒ කියන්නේ ඇත්තටම ඒ ගෙනාවේ මනාලියක් නොවෙයි. දුකක්. දුකට අයිති දෙයක්. මේ සියලු දුක් කන්දරාව කුමක් නිසාද හටගත්තේ. රූපය මගේ කරගැනීම නිසා. මොකක්‌ද රූපය කියන්නේ. ඔබ පිංවත් ස්‌වාමීන්වහන්සේ නමක්‌වේවා, පිංවත් පුරුෂයෙක්, ස්‌ත්‍රියක් වේවා ඔබේ කය. උදාහරණයට ගන්න. කුමක් නිසාද මේ කය පවතින්නේ. ආහාරය නිසාමයි. ජලය, බෙහෙත් නිසාමයි. කුමකින්ද මේ කය සැදී පවතින්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතූන්ගේ තද ස්‌වභාවය, වැගිරෙන ස්‌වභාවය, උණුසුම් ස්‌වභාවය, වායු ස්‌වභාවය. ඉහත ස්‌වභාවයේ ධාතූන් හතරකින් තමයි මේ කය නිර්මාණය වී තිබෙන්නේ. මේ ධාතූන් වෙන් වෙන් වශයෙන් ශරීරයේ කොතැනකවත් නැහැ. මේක පඨවිය, ආපෝ, තේජෝ,වායෝ කියලා වෙන් වෙන් වශයෙන් ගන්න බැහැ. ඔබට උදාහරණයක් කියන්නම්. ඔබගේ ශරීරයේ තැනකින් මස් කැබැල්ලක් කඩලා ගත්තොත් එම මස් කැබැල්ල තුළ පඨවි, ආපෝ තේජෝ වායෝ ධාතූන් සියල්ලම තිබෙනවා. එහි තද ගතිය පඨවි ධාතුව. එහි තිබෙන රුධිරය ආපෝ ධාතුව. එහි තිබෙන උණුසුම තේජෝ ධාතුව, පීඩනය තිබෙනවා, එමනිසා රුධිරය ගලනවා, ඒ වායෝ ධාතුව. ඒ කියන්නේ මස් කැබැල්ල තුළ ධාතු කොටස් හතරම තිබෙනවා. නමුත් අප සාමාන්‍ය ව්‍යවහාරයේදී මස් කැබැල්ලට කියන්නේ පඨවි ධාතුව කියලයි. නමුත් දැන් ඔබට වැටහෙනවා ඇති මස් කැබැල්ල තුළ පඨවි ධාතුව පමණක් නොව, එකිනෙකට මුහුවුණු අනෙකුත් ධාතු කොටස් තුනත් තිබුණු බව. ඔබ මුත්‍රා කෝප්පයක් ගන්න. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී මුත්‍රා කියන්නේ ආපෝ ධාතුවට, නමුත් මුත්‍රා වල සියුම් කුඩු ස්‌වභාවයක් තිබෙනවා. ඒ තමයි පඨවිය. උණුසුම් ස්‌වභාවයක් තිබෙනවා. ඒ තමයි තේජෝ ධාතුව. වැගිරෙන ස්‌වභාවයක් තිබෙනවා. ඒ තමයි ආපෝ ධාතුව, පෙන බුබුලු නගින ස්‌වභාවයක් තිබෙනවා. ඒ වායෝ ධාතුව. මේ කියන්නේ මුත්‍රා වල ධාතු කොටස් හතරම අන්තර්ගතව තිබුණ බවයි. අධ්‍යාත්මික හෝ භාහිර යම් රූපයක් වෙතොත් සෑම රූපයක්‌ම ස්‌වභාවය ඉහත පරිදිමය. නමුත් මෙහිදී කථාකරන්නේ අධ්‍යාත්මික රූපය ගැනය. ඔබගේ කය ගැනය. දැන් ඔබට පැහැදිලිය. කය යනු රූපයකි. රූපය සෑදී තිබුණේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගෙනි. මේ ධාතු කොටස් හතර නිතරම වෙනස්‌වෙමින් පවතින්නකි. රූපය අනිත්‍යභාවය වශයෙන් අපි දකින්නේ මේ වෙනස්‌වීමයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ වශයෙන් දකින්නේ මේ වෙනස්‌වීමයි. ලෝකයේ වේගවත්ම ක්‍රියාවලිය රූපය අනිත්‍යභාවයට පත්වන වේගයයි. ලෝකය තාක්‍ෂණික වශයෙන් මොන තරම් දියුණු වුවද, රූපය අනිත්‍යභාවයට පත්වන වේගය දැකීම පිණිස ජායාරූපයකට ගැනීමට සිතීම පවා මෝඩකමකි. මන්ද ලෝකයේ ප්‍රවේගකාරීම දෙය රූපය අනිත්‍යභාවයට පත්වන වේගය නිසාය. එය මේ මස් ඇහැට දැකිය නොහැකිය. ප්‍රඥාවේ ඇසින් පමණක් දැකිය හැක්‌කකි. ඒ වේගය යමෙක් ප්‍රඥාවෙන් දකීද, හේ තම කයද වේගයෙන් අනිත්‍යභාවයට පත්වන රූපයක් සේ දකියි. අවබෝධයෙන්ම කලකිරේ. රූපයෙන් නිදහස් වේ. රූපයේ අනිත්‍යභාවය අවබෝධකරගත් භික්‍ෂුවට තම ප්‍රඥාවේ ඇසින් මහා ගල්කුළක් එක මොහොතකින් අනිත්‍යයෙන් සියුම්භාවයට පත්කොට සුළගේ පාවී යන වායෝ ධාතුවක් බවට දැකිය හැකිය. මහා සද්ධන්නත ගල්කුළක් සුළඟ පාවී යන දුමක් සේ දකිමින් ඒ අවබෝධය ලැබුවේ රූපයේ අනිත්‍යභාවයට පත්වන වේගයේ ප්‍රවේගයයි. මේ අනිත්‍යයේ ප්‍රවේගය දකින්නා රූපයට ඇති කැමැත්තෙන් මිදී නිස්‌සරණය ලැබීම ඒකාන්තය. ඉහත අකාරයෙන් සතර මහා ධාතූන් අනිත්‍යභාවයට පත්වන විට, එකිනෙක සම්බන්ධව පවතින සතර මහා ධාතූන් අතර සියුම් අවකාශධාතුවක් සකස්‌වේ. මේ අවකාශ ධාතුව දැකිය හැක්‌කේ ප්‍ර+ඥාවෙන් පමණක්‌මය. මස් ඇසට මේ අවකාශ ධාතුව නොපෙනේ. සාමාන්‍යයෙන් අවකාශ ධාතුව වශයෙන් හදුන්වනුයේ කන් සිදුර, නාස් සිදුර, නාභිය වැනි අවකාශයන්ය. එහෙත් එය ප්‍රාථමික දැනීමකි. සැබෑ ඇතිවී නැති වී යන අවකාශ ධාතුව නිර්මානය වන්නේ එකමවිට පවතින්නාවූ සතර මහා ධාතූන්ගේ ප්‍රවේගයෙන් ඇතිවීම නැතිවීම වන විට ඇතිවන හිඩැසය. එම අවකාශය කවදාහරි අපි ප්‍රඥාවේ ඇසින්ම දැකිය යුත්තකි. ඔබට සරළ උදාහරණයක් පෙන්වන්නම්. ඔබ මේසයක් ළඟට යන්න. මේස ලෑල්ලට අඩියක් පමණ උඩින් ඔබේ අත්ල තබාගන්න. එක ඇඟිල්ලක් දික් කරන්න. දැන් එම ඇඟිල්ල වේගයෙන් මේස ලෑල්ලට ගැටීමට සලස්‌වමින් ඉහළට ගන්න. ඉතා වේගයෙන් මෙය කරන්න. ඔබට පෙනේවී හැම මොහොතකට ඔබේ ඇඟිල්ල මේස ලෑල්ලේ වදිනබව. නමුත් ඇඟිල්ල ඉහළට යනවිට මේස ලෑල්ලේ වදින්නේ නැහැ. වේගවත් බව නිසා ඔබට මෙය දකිනන්ට බැහැ. අවකාශ ධාතුවත් ඔය වගේමයි. සතරමහා ධාතූන්ගේ වේගවත් ඇතිවීම, නැතිවීම නිසා ඇතිවන අවකාශය මස් ඇහැට පෙනෙන්නේ නැහැ. දැන් ඔබට පැහැදිලියි පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතූන් හතරත්, එම ධාතූන්ගේ වේගවත් වෙනස්‌වීමත් නිසා හටගන්නා අවකාශ ධාතුවත්. එහෙම නම් ඔබ මමය, මගේය කියලා හැඩකරන, ලස්‌සන කරන ඔබ කය අයිති කාටද? ඔබටද? නැහැ. එහි සැබෑ අයිතිකරු තමයි ස්‌වභාවධර්මය. කොහොමද මේ කය අයිති ස්‌වභාවධර්මයට යෑයි කියන්නේ. මේ කයත්, ස්‌වභාවධර්මයේම කොටසක් නිසා මේ කය හැදිලා තිබෙන, පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන්ගෙන්මයි ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ. ඒ කියන්නේ ඉර, හඳ, තරු, වලාකුලු, මහපොළොව, ගස් වැල්, දෙවියා, බ්‍රහ්මයා, නිරිසතා.... මේ සියල්ල හැදිලා තිබෙන්නේ හතරමහා ධාතූන්ගෙන්මයි. දැන් ඔබට වැටහෙනවා ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ සතරමහා ධාතූන්ගෙන් කියලා. මේ ස්‌වභාවධර්මයේ සැබෑම අයිතිකාරයා තමයි අනිත්‍යය. දැන් මෙන්න මේ විදිහට ඔබ ඔබේ කය අයිති ස්‌වභාවධර්මයට කියලා ඔබට ඔප්පුකරගන්න. ඔබ මෙහෙම සිතන්න. මේ හාමුදුරුවෝ අපවත්වෙනවා. හාමුදුරුවෝ අපවත්වුණහම දායකයෝ මොකද කරන්නේ. හාමුදුරුවන්ගේ සිරුර ආදාහනය කරනවා. ගිණිතියනවා. හාමුදුරුවන්ගේ සිරුර ගිනිගන්නකොට එම ගිනි දළුවලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නෑ. ඔබ කියන්නේ තේජෝ ධාතුව කියලා. මේ හාමුදුරුවන්ගේ සිරුර බුර බුරා ගිනිගනිද්දී, මේ ගින්න ඇවිලෙන්නේ ශරීරයේ තිබෙන තෙල් වලට. සම මතුපිටට තෙල් උනමින් ගිනිගන්නා විට එම තෙල් වලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබ කියන්නේ ආපෝ ධාතුව කියලා. මේ හාමුදුරුවන්ගේ සිරුර දැවී අහසට නගින දුමට "හාමුදුරුවෝ" කියන්නේ නැහැ. ඔබ එම දුමට කියන්නේ වායෝ ධාතුව කියලා. හාමුදුරුවන්ගේ සිරුර දැවිලා ඉතිරිවන අළු වලට, ඇට කැබැලිවලට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ නැහැ. ඔබ කියන්නේ පඨවි ධාතුව කියලා. ඔන්න එහෙමනම් දකින්න හාමුදුරුවෝ දරාගෙන සිටි කය අයිති කාටද, එම ශරීරය අවසානයේදී එකතුවුනේ කොහාටද? ස්‌වභාවධර්මයටමයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ස්‌වභාවයටමයි. එහෙනම් හාමුදුරුවන් හැටියටත් ගින්න, තෙල්, දුම, ඇටකටු, අළු වශයෙන් අපි දකින්නෙත් අනිත්‍යභාවයමයි. සතරමහා ධාතුවේ විවිධත්වයයි. ඔබේ ජීවිතයට මෙය ගලපාගෙන අවබෝධය ලබන්න බලන්න. ස්‌වභාව ධර්මයට අයිති දෙය, අනිත්‍යයට අයිති දෙය, ගින්නට, දුමට, අළුවලට, තෙලට අයිති දෙය මගේ කරගෙන, අපේ කරගෙන ස්‌වාමියා, බිරිඳ කරගෙන, අම්මා, තාත්තා කරගෙන දුක්‌විඳිනා අවාසනාවන්තයෝ අපි. මෙහි වඩා පුදුම විය යුත්තේ මෙය නොවේ. මේ කය මගේ කරගෙන, මේ කය නිසා මොනතරම් අකුසල් අපි රැස්‌කරගන්නවාද. මේ කයට ආත්මගරුත්වය ලබාදෙන්න, මුල්තැන දෙන්න, කැපී පෙනෙන්න, සැප දෙන්න, සිත කය වචනය කියන තුන්දොරින් මොන තරම් අකුසල් රැස්‌කරගෙන සතර අපායට වැටුනාද? ඒ වැටුනේ තමාට අයිති නැති ස්‌වභාවධර්මයට, අනිත්‍යයට අයිති දෙයක් මගේ කරගැනීම නිසා නේද. මේ කථාවේ මුලින් සඳහන් කළ පිංවත් මනාලියත්, මනාලයත් රූපලාවන්‍ය සොයා යන පිංවත් පිරිසත් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදීමට යෝගට්, බිත්තර සුදුමද, මුදවපු කිරි, පිපිඤ්ඤා, කැරට් සරණ යන පිංවතුන් හිතන්න උත්සහගන්න තමන් මේ සරසන්නේ, සැප දෙන්නේ, සැප දෙන්නේ තමාට අයිති නැති ගින්දරට,දුමට, අලුවලට, තෙල්වලට අයිති දෙයක්‌මය කියලා. ඒ නිසා ඔබ දක්‍ෂ වෙන්න ඔය කය රැකගැනීම, පෝෂණය කිරීම උදෙසා අකුසල් සිදු නොකරගන්න. ඇයි ඔබ ගින්දරට, තෙලට, දුම්වලට, අලු වලට අයත් දෙයක් මගේ කරගැනීමට නිසා අපාගතවෙන්නේ. ඉහත ස්‌වභාවය නිතර මෙනෙහිකර අවබෝධය ලබාගැනීමට උත්සහගන්න. දැන් ඔබ දන්නවා ඔබ ඔය මගේ කරගෙන පෝෂණය කරන්නේ, මුහුණ සෝදවන්නේ, නාවන්නේ, ඇඟ සෝදවන්නේ, බෙහෙත් දෙන්නේ, නායකයා, ඇමැති, සභාපති, ලේකම්, උතුම් මහනායක, උතුම් අනුනායක පදවි ලබාදෙන්නේ ගින්දරට, දුමට, තෙලට, අලුවලට අයිති දෙයකටය. එහෙමනම් ඔබ ඔය ඔබේ ඇස, කන, නාසය, දිව, හිසකෙස්, නිය, දත්, සම, මස් කියලා දැක්‌කෙත් ගින්දර, දුම, තෙල්, අලු හැටියට දැක්‌කෙත් එකිනෙකට වෙනස් ධාතුවල වෙනස්‌වීමයි. අනිත්‍යභාවයයි. ඔතනින් ඔය අනිත්‍ය ක්‍රියාවලිය නවතින්නේ නැහැ. සතර මහා ධාතූන්ගෙන්, ඒ කියන්නේ නිය, දත්, මස්, සම් වශයෙන් තිබූ ස්‌වභාවය අනිත්‍ය භාවයට පත්වී ගින්දර, දුම, අළු, තෙල් බවට පත්වූවාසේම මේ ගින්දර, දුමද, තෙල්ද,අලුද ජාති ජරා ව්‍යාධි මරණවලට පත්වීම නිසා අනිත්‍යභාවයට පත්වනවා. මන්ද ඒවාත් සතර මහාධාතූන්ගෙන් සැදි රූපයක් නිසා. ඔබගේ ඔය කය ගින්දර, දුම, අළු, තෙල් බවට පත්වූවා සේම ගින්දර ගින්දර ස්‌වභාවයෙන්ම, දුම දුම ස්‌වභාවයෙන්ම, තෙල් තෙල් ස්‌වභාවයෙන්ම, අළු අළු ස්‌වභාවයෙන්ම පවතින්නේ නැහැ. රූපයේ අනිත්‍යභාවය නිසා ඒවාත් වෙනස්‌වෙනවා. මේවා ජලවාශ්ප බවට, සුළඟ බවට, වලාකුලු බවට, වැස්‌ස, පින්න, වලාකුලු, අළු දුවීලි, ජලය බවට, ගස් කොළන් මේවායින් යෑපෙන පෝෂණය වන මත්ස්‍යයින් සත්වයින් බවට පත්වෙනවා. එහෙමනම් ඉහත ස්‌වභාවයට පත්වූයේ ඔබේ කයම නේද? ඔබ රූපලාවන්‍ය කළ යෝගට්, බිත්තර සුදුමද, පිපිඤ්ඤා, පවුඩර්, ක්‍රීම්වලින් වෛවර්ණ කරපු ඔබගේම ශරීරය නේද? ඔබ මහ පාරේ ගමන්කරන විට ඔබට ඉතා දුගඳහමන කසලගොඩක් හමුවුනාය හිතන්න. ඔබ කසල ගොඩ කියන්නේ මොකද්ද? කවදාහරි අතීතයේ දවසක මනුශ්‍යයෙක්, නැතිනම් තවත් සත්වයෙක්, මගේ කියලා දරාගෙන සිටපු කයක්‌මයි. ඒ ධාතූන්ගේ වෙනස්‌වීමමයි. ඒ ශරීරයට අතීතයේ එම පුද්ගලයා රූපලාවන්‍ය කරන්න ඇති. රන්, රිදී, පළඳවන්න ඇති. ඔබ ඔය මහා සාගරය දෙස බලන්න. ඔය මහා සාගරයේ තිබෙන සෑම ජල බින්දුවක්‌ම සත්වයාගේ නෙතින් ගලාගිය කඳුළු, රුධිරය, දහදිය. මේ ශරීරය ගිනිගනිද්දී ඇතිවූ දුම ජල වාෂ්ප බවට පත්වී ඒවායින් වලාකුළු සැදී ඇතිවූ වැස්‌ස. මහා සාගරයේ හැම දියබිඳක්‌ම මීට පෙර මනුශ්‍ය ශරීරයක්‌මයි. අපි මුහුදු වතුර වශයෙන් දකින්නේ සතර මහා ධාතුවේ විවිධත්වය, රූපයේ අනිත්‍යය. ලෝකයේ සුරූපීම ශිල්පියා හෝ ශිල්පිනිය, ඒ සුරුපීභාවය තිබියදීම මියගියහොත්, ඒ සිරුර පුච්චාදැමුවහොත්, එම කයත් ඔය වැස්‌සටම, ඔය ජලයටම, ඔය පසටම, ඔය වාතයටම, ඒවායින් වැඩෙන ගහකොළ, සතා සිව්පාවටම එකතුවෙනවා. එහෙමනම් මේ කයේ වෙනස්‌වීමේ ස්‌වභාවයෙන්ම නේද වැස්‌ස, හිරුඑලිය, ජලය, වාතය.... කොටින්ම මේ ස්‌වභාවධර්මය හැදිලා තිබෙන්නේ. ඔබේ ලේ නෑකම නිසා ඔබ අම්මා, තාත්තා, නංගී, මල්ලී, මාමා, නැන්දා, ආච්චි සීයා වශයෙන් හදුන්වනවා වගේම වැස්‌ස, ජලය මහපොළොව, ගහකොළ ඔබේ ලේ ඥාතීන්මයි. ඇයි ඒවාත් අතීතයේ ඔබේ කයින්, මසින්,ලෙයින්, ගින්නෙන්, දුමෙන්, අලුවලින් ඇතිවූ නිසා. බලන්නකො මනුශ්‍ය කය. ඒ කියන්නේ ඇස, කන, නාසය, ශරීරය කියන ධාතු ස්‌වභාවය වෙනස්‌වී වලාකුලු, ජලය, පස්, මහා සාගර, ගහකොළ, කැලිකසල බවට පත්වුණා. එම ස්‌වභාවයන් නැවත නැවතත් වෙනස්‌වෙමින් ආරම්භයක්, අවසානයක් නොපෙනනෙන චක්‍රයක් සේ ඇදීගෙන යනවා. එසේනම් වැස්‌ස, වලාකුලු, ගින්දර, මහපොළොව ඔබට අයිති නැහැ වගේම, ඔබේ අම්මා, තාත්තා, සහෝදරයා, ඥාතියා, දරුවා, ඔබට අයිතිද? මේ සියල්ල සතර මහා ධාතූන්ගේ විවිධත්වයි. මෙ විවිධත්වය ඇතිවූයේ අනිත්‍යභාවය නිසාමයි. එහෙමනම් මේ කය අයිති සතර මහා ධාතූන්ටයි. සතර මහාධාතූන් අයිත් ස්‌වභාවධර්මයටයි. ස්‌වභාවධර්මය අයිති අනිත්‍යයටයි. අනිත්‍යවූ දෙයක් කුමක් නිසා ඔබ ඔබේ කරගන්නද. ඉහත ස්‌වභාවය අවබෝධයෙන් වඩන්න, දකින්න, එවිට ඔබට අවබෝධයෙන් කලකිරේවී. මේ රූපය ගැන කලකිරීම නිසා රූපය ඔබට අතහැරේවී. අතහැරීම තුළ ඔබ ලබන්නේ නිදහස්‌වීමයි. ලෝකයේ උතුම්ම ආර්ය නිදහසයි.
Posted by SLN | at 12:25 PM | 0 comments
ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු හතරක් නොදැනීම අවිද්‍යාවය කියලා. මේ කරුණු හතර තමයි දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය. මෙන්න මේ චතුරාර්ය සත්‍යය නොදැනීම නිසා සත්වයා ජාති, ජරා, ව්‍යාධි, මරණවලට අයත් මේ කය නිරෝගීභාවයට පත්කිරීම උදෙසා අප්‍රමාණ වෙහෙසක් ගන්නවා. රටපුරා තිබෙන ක්‍රීඩාංගණ, කායවර්ධන මධ්‍යස්‌ථාන, ජනමාධ්‍යවල, ක්‍රීඩාගාර, මහපාරේ දෙපස ඇති තණතීරුවල පිංවත් නෝනා මහත්වරුන් දුවනවා, ඇවිදිනවා, ව්‍යායාම කරනවා ඔබ දකිනවා ඇති. කුමක් සඳහාද? ජාති, ජරා, ව්‍යාධි, මරණ වලක්‌වාගන්න. ලෝකයේ වේගයෙන්ම දුවන සතා තමයි චීටා. මේ සතුනුත් ළමා කාලයේදී මියයනවා, තරුණ කාලයේදී මියයනවා, මධ්‍යම වයසේදිත් මියයනවා. ජාති ජරා ව්‍යාධි මරණ වලට නිරතුරුවම පත්වෙනවා. ලෝකයේ වැඩිම ව්‍යයාම කරන සතා තමයි වඳුරා. එයා හැම නිමේශයකම අත්තෙන් අත්තට, ගහෙන් ගහට පනිමින් මහා ව්‍යායාමයක යෙදෙනවා. ඒ වඳුරොත් ළමා කාලයේදී, තරුණ කාලයේදී, මධ්‍යම වයසෙදි මැරෙනවා. නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට ලක්‌වෙනවා. මේ නිසා දිවීම තුළින්වත්, ව්‍යායාම තුළින්වත් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලක්‌වාගන්න බැහැ නේද? අපේ මේ දිවීම නතරකළ දවසටයි අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් අත්මිදෙන්නේ. කාගේ දිවීමද? රූපයට තන්හාවෙන් දුවන සිත, උපාදානයෙන් අල්ලාගන්නා සිත දිවීමෙන් නතරකළහොත් එතැනයි දුකේ කෙළවර. මේ දිවීම තුළ, ව්‍යයාම තුළ කුමක්‌ද සැඟවිලා තියෙන්නේ. අවිද්‍යාවේ වේගයයි. ඔබ මේ දුවන්නේ තව තවත් අවිද්‍යාව දෙසටයි. ලෝකය දෙසටයි. දුක දෙසටයි. ඔබ මේ නිරෝගි කරන්න හදන්නේ ලෙඩට උරුම කයක්. ඔබ ඔය මස්‌පිඩු වලින් පුරවන්න හදන්නේ ලෙඩට උරුම රැළිවැටෙන කයක්. දිවීමෙන්, ව්‍යායාමය මඟින් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මේ කය මුදාගත්ත ලෝකයේ යමෙක් සිටියාද? සිටිනවාද? නැහැමයි. මේ කය ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට තෝතැන්නක්‌මයි කියලා දැකලා, රූපයට ඇති ඡන්දරාගයෙන් මිදුන තැනැත්තන්මයි දුකෙන් අත්මිදුණේ. නමුත් පෘතග්ජන සත්වයා රූපයේ ආදිනවය, ආදීනවයක් හැටියට නොදකින නිසා ඔහු ජාති, ජාරා, ව්‍යාධි, මරණ හමුවේ කම්පා වෙනවා. සලිත වෙනවා. බිය වෙනවා. මට ලස්‌සන අහිමිවෙයි, මගේ ලස්‌සන නැතිවෙයි, මගේ නිරෝගීකම නැතිවෙයි කියලා. ශරීරය කෙට්‌ටු කෙනා, ශරීරය මහත්කරගෙන සතුටු වෙනවා. ශරීරය මහතකෙනා ශරීරය කෙට්‌ටු කරගෙන සතුටු වෙනවා. ශරීරයේ මේදය වැඩි කෙනා, මේදය අඩුකරගෙන සතුටු වෙන්න හදනවා. විටමින් ඌනතාව හෙවත් ඒවා අඩුකෙනා විටමින් පාවිච්චි කරලා සතුටු වෙන්න හදනවා. මේ සියල්ල තුළ තිබෙන්නේ කුමක්‌ද? වැඩිදෙය අඩුකර ගන්නවා. අඩුදෙය වැඩිකර ගන්නවා. කෙනෙක් අඩුදෙය උපාදාන කරනකොට, තව කෙනෙක් වැඩිදෙය උපාදානය කරගන්නවා. කොතැනද මෙහි සීමාව, කවුද මේ සීමාව තීරණය කරන්නේ. තීරකයා තමයි පෘතග්ජන සිත. අඩුවැඩි කරගනිමින් මරණය කියන සීමා ඉරට අපි සේන්දුවෙලා, අපි ඒ සීමා ඉර පසුකරන්නේ අතෘප්තියෙන්. මොකද ඉහත ස්‌වභාවයන්ට අප පත්වන්නේ මැරෙයි කියලා හිතලා නොවෙයි. මා තුළ නිරෝගීබව තිබෙනවාය, නිරෝගීබව තුළ මා ඉන්නවාය කියලා ඇති කරගත් උපාදානය නිසා, ඒ උපාදානය කරගත් දෙය බිඳවැටීමෙන් ඇතිවන අතෘප්තිය, මරණ භය, ගැටීම..... මෙන්න මේ ගැටීමේදී ඔබේ පිහිටට ඔය ව්‍යායාමවත්, ශරීර ශක්‌තියවත්, විටමින් සිරප්වත් ඔබේ පිහිටට එන්නේ නැහැ. ඉහත සියල්ල ඔබට උරුමකර දුන්නේ දුකක්‌මයි. නමුත් ඔබ ජීවිත කාලය තුළදී පුqරුදු පුහුණු කළේ කාය ශක්‌තියේ, ව්‍යායාමයේ, නිත්‍යභාවය නම් ඔබේ මරණ මොහොතේදී එම සංඥාවන් ඔබට ඇතිවුනොත්, අවසාන කැමැත්ත - උපාදානය ඉහත ස්‌වභාවයන්ට ඇලීගියා නම්, ඔබේ මීළඟ උපත චීටාවෙකුගේ හෝ වැඳිරියකගේ කුසේ වීමටද පුළුවන්. මන්ද ඔබේ කැමැත්ත පරිදිම, ඔබ උපාදානය කරගත් පරිදිම සුවසේ දිවීමටත්, සුවසේ ව්‍යායාම කිරීමටත් ඔබට ලැබෙන නිසාය. භික්‍ෂුවක් සමාධියෙන් පසුවන එක්‌තරා අවස්‌ථාවකදී මෙන්න මෙහෙම දර්ශනයක් දැක්‌කා. ආකාශය තුළ, ඒ කියන්නේ මහපොළොවේ සිට මීටර 200 ක් පමණ ඉහළ විසි දෙනෙකුගේ පමණ කණ්‌ඩායමක්, වැල්පාලම් ඔන්චිල්ලා වැනි උපකරණ මත ජිම්නාස්‌ටික් වැනි ක්‍රීඩාවක නිරතවෙනවා. මේ අය කිසිම බියක් නොමැතිව මීටර 200 ක් පමණ ඉහළ සිට බොහොම රිද්මයානුකූලව බීමට පතිත වෙනවා. නැවත ඉහළට යනවා. මහා අන්තරාකාරී ක්‍රීඩාවක් ඉතාමත් සුවසේ නොබියව කරනවා. ආකාශයේ දැමූ ලණු පාලමක් වැනි දෙයක් මත පිනුම්, කරණම් ගසනවා. මේ අය ප්‍රේත ලෝකයට සම්බන්ධ පිරිසක් නොවේ. මනුෂ්‍ය ස්‌වභාවයේ හොඳ අඟ පසඟ සහිත සුදු පැහැති දිග සහ කොට කලිසම් වගේම ටී-ෂර්ට වලින් සැරසී සිටි පිරිසක්. භික්‍ෂුව හඳුනාගත්තේ මේ අය දේව ස්‌වභාවයේ පිරිසක් හැටියටයි. ඒ අය පෙර මනුෂ්‍ය ජීවිතයේදී උපාදානය කරගත් ක්‍රීඩාව, ව්‍යායාමය මෙතැනදිත් උපාදානය කරගෙන. ඒවාට කැමති පිරිස ඒකරාශි වෙලා. හැබැයි මේ අය සශ්‍රික දේව පිරිසක් නොවෙයි. ප්‍රේත ලෝකයට වඩා ටිකක් ඉහළ ස්‌වභාවයේ දේව කොට්‌ඨාශයක්. මේ අය තුළ ආලෝකමත් බව, ප්‍රභාශ්වර බව තිබුණේ නැහැ. ගුප්ත ස්‌වභාවය ඒ අයගේ ස්‌වරූපයේ තිබුණා. ඔබ යමක් උපාදාන කරගතතොත් එය මතුභවයටත් ඔබ අරගෙන යන හැටි පැහැදිලියි නේද? හේතුඵල ධර්මයන්ට අනුව විග්‍රහ කිරීමක් පමණයි භික්‍ෂුව මෙහි සඳහන් කළේ. ඔබ වෙනදා වගේම දුවන්න, ව්‍යායාම කරන්න මගේ කය, මගේ ශක්‌තිය, මගේ නිරෝගීකම මගේ ලස්‌සන, පෞරුශත්වය, හැඩය නිත්‍යයි කියන දෘශ්ටීන්ට යට නොවී. ඉහත සියල්ල ඔබේ වසඟයේ පත්වාගැනීමට නොහැකිය යන අවබෝධය තුළ සිටිමින්... නමුත් මෙය කරන්න ලේසි නැහැ. ඔබේ ඔය මාර සිත නිරතුරුවම මේවායේ නිත්‍යභාවය පැත්තටම ඔබව රැගෙන යනවා. අතීතයේ තිබූ මිත්‍යාදෘශ්ටික ශීල වෘතයන්ගෙන් එකක් තමයි ශරීරයට දුක් දීමෙන් සැප ලබාගැනීම කියන දෘශ්ටිය. නිගන්ඨයන් වැනි පිරිස් ආසන ප්‍රතික්‍ෂෙප කොට, උල් සහිත ස්‌ථානවල ඇවිදිමින්, නිදාගනිමින් ශරීරයට දුක් දුන්නා. කුමක් උදෙසාද? සැප උදෙසා. අතීත කර්ම ගෙවීම උදෙසා. වර්තමානයේ ඔය දුවන ව්‍යායාම කරන අය දෙස බලපුවහම කෙනෙකුට සිතෙන්න පුළුවන් අතීතයේ නිගන්ඨ දෘශ්ටියේ නව ප්‍රවේශයක්‌ද මේ කියලත්. මොකද මේ අයත් අනාගත සැප උදෙසායි මේ දුක් විඳින්නේ. ඔබ මේ දෙතිස් කුණපය කුමන සංඥාවකින් නිත්‍යභාවයෙන් අල්ලාගත්තද ඒ තුළින් ඔබ විඳින්නේ දුකක්‌මය. ඔබ කොතරම් මහන්සිවී ශරීරයේ මස්‌පිඩු, පෙනුම ලස්‌සන කරගත්තද ඔබට සෙම්ප්‍රතිශ්‍යාවක්, උණක්, අසනීපයක් හැදුනහොත් සතියක් ව්‍යයාමයෙන් තොරවූ විට ශරීරය නැවතත් 'ජොල් වීමට' පටන් ගනී. හැඩය වෙනස්‌වී යයි. මොනතරම් දුවලා, ව්‍යායාම කරලා, නිරෝගීව තබාගත්තද හදිසියේ මඟුල් ගෙදරකට, උත්සවයකට, උත්සව කාලය පැමිණියහම ඔන්න නැවතත් සීනි, පිෂ්ඨය, මේදය වැඩිවෙලාය. ඔබ ජාති, ජරා, ව්‍යාධි, මරණ මොන පැත්තෙන් යටගැහුවද ඒවා දිය යට ඇති රබර් බෝලයක් මෙන් ග්‍රහණයෙන් මිදුණු සැනින් නැවත මතුවී එයි. මේවාට ප්‍රතිකාර කියන පිංවත් වෛද්‍යවරුන්, ව්‍යායාම කරවන මහත්වරුන් ඔබතුමන්ලාට වෛද්‍ය උපදෙස්, ව්‍යායාම උපදෙස් දේවී. ඒ මහත්වරුන් ඔබලාට උපදෙස් දෙන්නේ ඔවුන්ගේ කයත් ඉහත ස්‌වභාවයේම තිබියදීමය. ඔවුන්ද ඉහත ස්‌වභාවයෙන් මිදී නැත. ඔවුනට අසනීපයක් වුවහොත් ඔවුන්ද තවත් වෛද්‍යවරයකු වෙතට ගොස් ප්‍රතිකාර ගත යුතුය. එහෙත් මේ අසනීපයට හොඳම ප්‍රතිකාරය වදාළ උත්තමයා තමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ. මුලින්ම උන්වහන්සේ අනුනට බෙහෙත් කියන්නට පෙර තමන් ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදුනාහ. උන්වහන්සේ තම ශ්‍රාවකයන්ට අනුදැන වදාලේ තුන් සිවුරත්, පාත්‍රයත්, උපරිමය ආහාර වේල් දෙකකින් යෑපීමත්ය. උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නිතරම දේශනාකළ වදනක් වූයේ දිනකට එක් වේලක් පමණක් වැළඳීම ශරීරයට පුදුමාකාර සැහැල්ලුවක් දනවන බවයි. ඔබ දිව සංවර කරගන්න. රසයට ඇති කැමැත්තෙන් මිදෙන්න. ආහාරයේ අශූභය වඩන්න. එවිට ආයාසයකින් තොරවම ඔබේ කය යම් ප්‍රමාණයකට නිරෝගී වේවි. ප්‍රසන්න වේවි. හැඩවේවී. රසයට ඇති ගිජුභාවය ඔබ අතහැරියොත් ඔබට යම් පමණකට රෝගීබව මගහැරේවී. අතහැරීම තුළ ඇති සැහැල්ලු සුවය අත්විඳීමට ඔබට හැකිවේවි. ප්‍රඥාවන්ත පුද්ගලයා උත්සහගන්න ඕනේ දීර්ඝ කාලයක් ආයුෂ විඳින්න නොවේ. හැකිතාක් ඉක්‌මනින් මේ ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් මිදීමටය. නැවත උපතකින් මිදීමටය. එය අර්ථවත් කරගන්න බැරිනම් සසර කෙටිකර ගැනීමටය. මේ දෙකෙන් කොයික කරගත්තත් මා තුළ නිත්‍යවූ නිරෝගීබව, ලස්‌සන, හැඩය තිබෙනවාය කියන අවිද්‍යාවෙන් මිදෙන්න ඕනේ. හැබැයි සමහරු මෙන්න මෙහෙමත් ප්‍රකාශ කරනවා. තමන් ව්‍යායාම කළත් අනිත්‍යය වඩමින් තමයි කරන්නේ කියලා. හැබැයි ඉතින් මේ ධර්මයත් මාර ධර්මයක්‌ම තමයි. හරියට දිව්‍යලෝක, මනුශ්‍ය ලෝක සැප කෙළවර නිවන් ප්‍රාර්ථනා කරන්න කියලා කියන මාර ධර්මය වගේ. දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක සැප කෙළවර නිවන ගැන විශ්වාසයක් තියන්න බෑ. මෙය ස්‌වභාවයන් දෙකක්. දිව්‍යලෝක, මනුශ්‍ය ලෝක කියන්නේ අල්ලා ගැනීමක්. නිවීම කියන්නේ අතහැරීමක්. අල්ලා ගැනීමක් කෙළවර අතහැරීමක් ගැන විශ්වාසය තැබීම නොවිය හැක්‌කක්. සංසාරය පුරාවට කල්ප කෝටි ගණනක් අපිව මේ දුර ගමන ඇවිද්දුවේ ඔය මාර වදන් අපි අපේ කරගත් නිසා. මේ දෙකෙන් එක ස්‌වභාවයකට අපි එන්න ඕනේ. එක්‌කෝ අල්ලා ගැනීම, එක්‌කෝ අතහැරීම. පෘතග්ජනයා පුදුමාකාර කෑදරකමකිනුයි තමන් කැමති දෙය උපාදානය කරගන්නේ. මනුශ්‍යයා ජීවිතයේදී මුලින්ම උපාදානය කරගන්නේ මොකක්‌ද? තම මෑනියන්ගේ ගර්භාෂයයි. මව්කුසයේ ගර්භාෂයේ ඇතිවන ප්‍රතිසන්ධි චිත්තය ළදරුවෙක් වශයෙන් කලල රූපය අල්ලාගෙන වැඩීමේදී මේ ළදරුවා ගර්භාෂය මගේය කියලා අල්ලා ගන්නවා. මේ ගර්භාෂය තුළ දරුවා මොනතරම් දුකක්‌ද විඳින්නේ. බැලුම් බෝලයක් වගේ ආවරණයකට මැදිවෙලා, අතපය වකුටු කරගෙන සැරව, රුධිරය, මේදය, අසුචි, මුත්‍රා, බොකු බඩවැල්, වමනය, දිරවූ නොදිරවූ ආහාර.... මොනතරම් ජරා ගොඩක් මැද්දෙද. මෑණියන්ගේ කුස තුළ ක්‍රියාත්මක වන වායෝ ධාතුවට හෙවත් වාතයට, තේජෝ ධාතුවට හෙවත් රස්‌නයට, ආපෝ ධාතුව හෙවත් දියර වර්ගවලින් පීඩනයට ලක්‌වෙමින්. මේ දරුවා වැඩෙන්නේ. මෙවැනි අවිචාරවත් පරිසරයක් මැද මේ දරුවා ගර්භාෂයේ වැඩුණත් ඔහු අකමැත්තෙන් නෙවෙයි ගර්භාෂය තුළ සිටින්නේ. ඔහු දුකක් හැටියට හිතලා නෙමෙයි ගර්භාෂය තූළ සිටින්නේ. මේ දරුවා ගර්භාෂය මගේ කියලා අල්ලාගෙනයි මෙහි පදිංචිවෙලා සිටින්නේ. තන්හාව නිසා හටගත් උපාදානයේ බලවත් බව නිසා බැසගත් තැන මගේ කියලා අල්ලා ගන්නවා. මගේ කරගන්නවා. සැපයක්‌ම හැටියට දකිනවා. මේ විදිහට නව මාසයක් ඇවෑමෙන් මේ දරුවා ලෝකයට බිහිකරන්න මොන තරම් වෙහෙසක් ගන්න වෙනවද? අම්මා, දරුවාව මේ උපාදානයෙන් ගලවාගන්න මොනතරම් අහිංසක වේදනාවක් විඳිනවාද? මොන තරම් තටමන්න ඕනිද? ශක්‌තියක් වැයකරන්න ඕනෙද? ඇයි මේ අම්මා මෙතරම් දුකක් විඳින්නේ? දරුවා තමා උපාදානය කරගත්, මගේ කරගත් ගර්භාෂය අතහැරීමට ඇති අකමැත්ත නිසා. එය මගේ කර අල්ලාගෙන සිටින නිසා. මගේ තැනින් මිදීමට ඇති අකැමැත්ත නිසා. අවසානයේදී මවත් දරුවත් අතර සටනක් තමයි සිද්ධවෙන්නේ. දරුවා ගර්භාෂය අල්ලාගෙන සිටීමට ප්‍රයත්න දරනවා. මව දරුවාව එලියට ගන්න ප්‍රයත්නය දරනවා. දරුවා තුළ ගර්භාෂ කුටියට ඇති උපාදනයත්, මවට දරුවා දැකීමට, අයිතිකර ගැනීමට ඇති උපාදානයත් අතර සටනින් ශක්‌තිය වැඩි මව දිනනවා. මවට මේ ශක්‌තිය නොමැතිනම් වෛද්‍යවරයා සැත්කමකින් බලහත්කාරයෙන් දරුවා එලියට ගන්නවා. දරුවා මව්කුස ගර්භාෂ කුටිය උපාදාන කරගෙන එහි රැඳෙන්නට හදනවා. අම්මා 'මගේ දරුවාය' යන උපාදානයෙන් දරුවාව දෝතට ගන්න අයිති කරගන්න හදනවා. වෛද්‍යවරයා තම වෘත්තිය උපාදාන කරගෙන දරුවා සැත්කමකින් එලියට ගන්නවා. හෙදිය තම වෘත්aතිය උපාදනය කරගෙන දරුවා උපද්‍රව රහිතව ලෝකයට ගන්නට උපකාර කරනවා. මේ සතර දෙනා තුළම ක්‍රියාත්මකවන්නේ උපාදානයමයි. තම තමන් කැමැත්තෙන් අල්ලාගත් දෙය තමයි මේ සැපයක් හැටියට දකින්නේ. දරුවා මේ විදිහට ලෝකයට බිහිවෙනකොට බෙරිහන් දීගෙන, හඬාගෙන තමයි බිහිවෙන්නේ. මොකක්‌ද මේ කෑගැසීම, හැŽම. මගේ තැන, නව මාසයක් මා පදිංචිවී සිටි තැන මට අහිමිවුනාය, අහිමි කළාය යන වේදනාවෙන්, බයෙන්, අසරණ භාවයෙන් තමයි ඔය කෑගහන්නේ. තමාගේ අකැමැත්තෙන් අම්මා සහ වෛද්‍යවරයා එකතුවී උදුරාගත් නිසා තමයි ඔය කෑගසන්නේ. විරෝධය දක්‌වන්නේ. මගේ තැන අහිමිවුනාය කියලා දරුවා කෑගහනකොට ඒ හඬ අහලා අම්මාට සතුටුසිනා පහළ වෙනවා. සතුටු කඳුළු සලනවා. මට දරුවා ලැබුණා කියලා. අහිමිවීම නිසා දුකත්, ලැබීම තුළ සතුටත් තමයි දෙදෙනාම විඳින්නේ. හැබැයි මේ විඳීමේ ස්‌වභාවයන් මොහොතකින් අනිත්‍යභාවයට පත්වෙනවා. මේ දරුවා ගර්භාෂයේ උපාදානයෙන් මිදිලා ලෝකයට බිහිවුනාට පස්‌සේ මොකද වෙන්නේ. අම්මාගේ උණුසුම, අම්මාගේ පියයුරු උපාදානය කරගන්නවා. ඔන්න දැන් හිටපු තැනට වඩා මෙතන සැප හැටියට දරුවා අල්ලා ගන්නවා. මව් උණුසුමත්, පියයුරුත් මගේ තැන හැටියට උපාදානය කරගෙන ඒ දෙක මගේ කියලා ආශ්වාදය කරනවා. ඔන්න දැන් මවගේ උණුසුමෙන්, මවගේ පියයුරුවලින් දරුවා ඉවත් කරන්න හැදුවොත් දරුවා කෑගසනවා. විරෝධය දක්‌වනවා. මෙන්න බලන්න දැන් මව් උණුසුමත්, පියයුරුත් උපාදාන කරගන්න ස්‌වභාවය. ගර්භාෂයේ විඳීම අනිත්‍යභාවයට පත්වුනා. තවත් විඳීමක් අල්ලා ගත්තා. මේ විඳීමේ ස්‌වභාවය අනිත්‍යභාවයට පත්වෙමින් ක්‍රමයෙන් තාත්තාව, තොටිල්ල, ළදරු පාසල, පාසල, විශ්වවිද්‍යාලය, රැකියාව, නිවස, බිරිඳ, දරුවා, මුණුපුරා ආදී වශයෙන් එකක් අතහැරෙද්දී තව රූපයක් සැපයි කියලා ක්‍රමානුකූලව මගේ කරගන්නවා. (මෙහිදී පළවන්නේ මෙම ලිපියේ පළමු අර්ධයයි. එහි පසු භාගය ලබන සතියේ පළවීමට නියමිතය)
Posted by SLN | at 12:24 PM | 0 comments
වර්තමානයේදී ඔබ සුඛෝපභෝගී නිවසක නවීන ගෘහ භාණ්‌ඩ තබාගෙන සුසිනිඳු ඇඳ ඇතිරිලි, සිනිඳු ඇඳුම් ආයිත්තම් පරිහණය කරගෙන ජීවත්වුණත්, ලක්‍ෂ ගණන් වටිනා වාහන, රන් රිදී පාවිච්චි කර ඔය කය කලඑළි කළත්, අතීතයේ දවසක අපි හැමෝම සැරව, රුධිරය, මේදය, අසූචි, මුත්‍ර, බොකු බඩවැල්, වමනය, දිරවූ, නොදිරවූ ආහාර වැනි ජරාගොඩක් මැද, බැලුම් බෝලයක් වැනි ආවරණයක් මැද වකුටුවී, අප්‍රසන්න අමිහිරි ගර්භාෂ කුටියක් මගේ කොටගෙන එයට ඇලී, ඉන් මිදීමට අකමැතිව වාසය කරපු කෙනෙක්‌මයි. මෙවැනි ගර්භාෂ කෝටි කීයක් අතීතයේදී අපි අපේ කරගෙන ඇතිද? අවාසනාව මෙය නොවේ. මෙතරම් ගර්භාෂවලට රිංගාගෙන මහා දුකක්, කැමැත්තෙන් වින්ද අපි වර්තමානයේදීද උත්සහ කරන්නේ ඔබේ ගර්භාෂයෙන් එවැනි දුක් විඳින සත්වයෙක් උපද්දවා ගැනීමටය. ඔය කැමැත්ත ඔබ තුළ තිබෙන තාක්‌කල් ගර්භාෂය මගේ කරගත් දරුවන් ද, දරුවන් මගේ කරගත් මවුවරුන්, පියවරුන්ද වීම මිස සසරින් මිදෙන්න නම් බැහැ. ඔබේ මවුකුසින් දරුවකු ලෝකයට බිහිවුණ සැනින්, ඔබත් ඔබේ ස්‌වාමීපුරුෂයාත් මුළින්ම මොකද කරන්නේ. නමක් හදනවා, වාසගම, මුලකුරු සමග උප්පැන්න සහතිකය සමගම... ඇයි මේ උප්පැන්න සහතිකය? බයයි මේ දරුවා අහිමි වේය කියලා. වෙන කෙනෙක් අයිතිකරගනීය කියලා. ඒ නිසා රජයේ පොතේ නීත්‍යනුකූලව ලියාපදිංචි කරනවා. ප්‍රශ්නයක් වුණොත් උසාවියට ගිහින්හරි අයිතිකර ගන්නවා කියලා. නමුත් ඔබ සිතන්නේ නැහැ මේ දරුවා කොහේ සිටද ආවේ කියලා. සමහර විට ගිය ජීවිතයේදී මේ දරුවා අන්‍ය ආගමක, අන්‍ය ජාතියක වෙන්න පුළුවන්, යාචකයෙක් වශයෙන් ජීවත්වුණ කෙනෙක් වෙන්නත් පුළුවන්. කුල වශයෙන් සමාජයේ පීඩනයට පත්වුණ කෙනෙක් වෙන්නත් පුළුවන්. තිරිසන් සතෙක් වෙන්නත් පුළුවන්. ප්‍රේතයෙක් වෙන්නත් පුළුවන්, යක්‍ෂයෙක් වෙන්නත් පුළුවන්. දෙවියෙක් වෙන්නත් පුළුවන්. බ්‍රහ්මයෙක් වෙන්නත් පුළුවන්. මෙසේ සිටි සත්වයෙක් එතැනින් චුතව මව්කුසේ ප්‍රතිසන්ධිය ඇතිවූවා වෙන්න පුළුවන්. මේ දරුවා පෙර ආත්ම භවයේ ඔබේම අම්මා, තාත්තා, ඥාතියෙක් වෙන්නත් පුළුවන්. ඒත් ඔබ දන්නේ නැහැ ඔබ මේ නළවන්නේ පෙර ආත්මයක ඔබේ අම්මා, තාත්තා, එහෙම නැතිනම් අන්‍ය ආගමක, අන්‍ය ජාතියක කෙනෙක්, ප්‍රේතයෙක්, දෙවියෙක්... කියන සම්මුතියෙන් හැඳින්වුණ සත්වයෙක්‌ය කියලා. මේ තමයි උපාදානයේ බලවත් බව. නිර්ලඡ්ජිත බව. උපාදානයේ සෙළුව, තන්හාවේ දුහුල් සළුවෙන් අපි වසාගන්නවා. ඔබ මෙහෙම සිතන්න. ඔබ යුද කාලයේ ක්‍රියාන්විතයේ සේවය කරන හමුදා නිලධාරියෙක්‌ය කියලා. ඔබ රට, ජාතිය, ආගම, රැකියාව නාමයෙන් යුද්ධ කරනවා. ඔබේ අතින් මිනිසුන් මැරෙනවා. අපි හිතමු ඒ මිය යන මිනිසුන් ද්‍රවිඩ ජාතික නොමඟ ගිය අය කියලා. ඔබට ඒ අය කෙරෙහි අනුකම්පාවක් ඇතිවෙනවා, වේදනාවක් ඇතිවෙනවා. ඒ අයගේ දෙමාපියන් ඥාතියන් කෙරෙහි දුකක් ඇතිවෙනවා. මෙවැනි සිත් පරම්පරාවක් ඔබ තුළ ඇතිවෙමින් නැතිවෙන මොහොතක ඔබද යුද බිමේදී මියයනවා. මෙවැනි මියයැමකදී ඔබ නැවත අම්මා කෙනෙකුගේ කුසේ පිළිසිඳ ගැනීමට ඉඩකඩ ඕනෑතරම් තියෙනවා. ඒ ආකාරයකට ඔබ තුළ ඇති වූ උපාදානය නිසා, ඔබ ද්‍රවිඩ මවකගේ කුසේ ප්‍රතිසන්ධිය ලබනවා. දරුවකු ලෙස ලෝකයට බිහිවෙනවා. ඔබ දැන් අලුත් සම්මුතිය තුළ අභිශේක ලබන්නේ යාපනයේ ද්‍රවිඩ පවුලක ද්‍රවිඩ නමක්, වාසගමක් සහිත ද්‍රවිඩ දරුවෙක් ලෙසයි. එම දරුවා යාපනයේ ලොකු මහත්වී දසවැනි වියට පැමිණියහම ද්‍රවිඩ කණ්‌ඩායමේ ළමා සොල්දාදුවෙක් වශයෙන් රාජ්‍ය හමුදාවට එරෙහිව සටන් වදිනවා. බලන්න මොනතරම් මුළාවක්‌ද? වසර 11ක කාලයක් තුළ සිංහල හමුදා නිලධාරියෙක් වශයෙනුත්, ද්‍රවිඩ සොල්දාදුවෙක් ලෙසත් භූමිකා දෙකකට පණ දුන්නා. මේ භූමිකාව මෙතැනින් නවතින්නේ නැහැ. නැවත නැවත උපාදානයක් නිසාම භවය කරා යනවා. ඔබ වර්තමාන ජීවිතයේදී මහත් අභිමානයෙන් යුතුව මම සිංහල බෞද්ධයෙක් කියලා උදම් ඇනුවද ඔබ පෙර ආතමයේ අන්‍ය අගමක, අන්‍ය ජාතියක වෙන්න පුළුවන්. මේ ජීවිතයෙන් පසු නැවත ඔබ අන්‍ය ආගමක, අන්‍ය ජාතියක වන මවුකුසක උප්පත්තිය ලබන්න පුළුවන්. නමුත් අපි අල්ලාගත් දේ තුළ 'මම' ඉන්නවාය කියලා දකිනවා. දැන් ඔබට පැහැදිලිවෙන්න ඕනේ කල්ප සියක් කෝටි ගණනක ඈත පටන් අපි මැරෙමින් ඉපදෙමින් පැමිණීමේ ගමනේදී ඔබ මේ ලෝකයේ හැම මනුෂ්‍යයෙකුට, දෙවියෙකුට, තිරිසන් සතෙකුටම, ප්‍රේතයෙකුටම, තිරිසනෙකුටම, බ්‍රහ්මයෙකුටම ලේ ඥාතියෙක් වී සිටිය බව. සම්මුතිය තුළ වෙන් වශයෙන් හඳුනාගත්තත් සියලුදෙනාම ඔබේ ලේ ඥාතීන්මයි. නමුත් ලෝකය තවමත් වර්ගවාදීව යුද්ධ කරනවා. ඒ අය දන්නේ නැහැ යුද්ධය තිබෙන්නේ යුද බිමේ නොවේ කියලා. ඒත් ඒ අය හිතනවා යුද්ධය තිබෙන්නේ යුද බිමේය කියලා. නමුත් යුද්ධය තිබෙන්නේ, යුද්ධයේ මූල බීජයන් හටගන්නේ අවිද්‍යා සහගත මනුෂ්‍ය සිතේ. සිතේ තමයි යුද්ධය හටගන්නේ. කුමක් නිසාද? තන්හාව නිසා හටගන්නා උපාදානය හේතුවෙන්. ඒක නිසා කවුරුහරි හිතනවානම් ලෝකයේ යුද්ධය නතර කළ හැකිය කියලා, එය මිත්‍යාවක්‌මයි. යුද්ධ නතර කරන්න බැහැ. ඉවරකරන්නත් බැහැ. හැබැයි තාවකාලිකව වැඩි බලයෙන් යටපත් කර තබන්න පුළුවන්. එයත් තාවකාලිකයි. යුද්ධය නතර කළ හැක්‌කේ මිනිසුන් මැරීමෙන්, දෘෂ්ටින් මැරීමෙන් නොවේ, මිනිසා තුළ අවිද්‍යාව මරාදැමීමෙන් පමණක්‌මයි. අවිද්‍යාව මියගිය තැන උපදින්නේ විද්‍යාවයි. ඒ කියන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාව යනු ලෝකයේ විශාලම යුද්ධයෙන් ලබනා ජයග්‍රහණයයි. ඒ ජයග්‍රහණයේ ජය ලබන්නා සවුදිය පිරීම්, රාත්‍රි භෝජන සංග්‍රහයන්, ජාතික කොඩි එසවීම්, රතිඤ්ඤා පත්තුකිරීම්, ආචාර වෙඩිමුර නොමැත. ඇයි? ඒ ඔහු යුද්ධය අවසන් කළ කෙනෙකි. ඔහු නැවත රූපයක් මගේ කරගෙන එයට ඇලීමට හෝ ගැටීමට නොයයි. රූපයක් උදෙසා යුද්ධ නොකරයි. රණ්‌ඩු නොකරයි. ඔහු අවබෝධයෙන් හඳුනනවා රූපයක් යනු අනිත්‍යයක්‌ය කියලා. ඔහු යුද්ධ භූමිය පමණක් නොවේ. යුද ආයුධ, යුද ආයුධ කර්මාන්ත ශාලා සේම යුද සේනාවද සුණුවිසුණුකොට දමා අවසන්ය. ඔහු මේ සියල්ල විනාශකොට දැමුවේ ආයුධ පාවිච්චි කර නොවේ. සතිය සිහිය නැමැති ආයුධය පමණක් පාවිච්චි කිරීමෙනි. ඔහු මේ ජයග්‍රහණය ලබාගන්නේ තව තව මායිම් අල්ලාගැනීමෙන් නොව, අතහැරීමෙන්ය. දැන් ඔබට වැටහෙන්න ඕනේ ගෙදර යුද්ධයත්, ගමේ යුද්ධයත්, රටේ යුද්ධයත් හටගන්නේ කුමක් හෝ උපාදානය කරගත් නිසාය කියලා. උපාදානය කරගත් දෙය අතහරින්න. එවිට යුද්ධය නවතිනවා. ඒත් ඔබ එයට කැමති නැහැ. මොකද ඔබ උපාදානය කරගත් දෙය මගේය, එය නිත්‍යය කියලා දකින නිසා. ඔබ උපාදානය කරගත් දෙය රට වෙන්න පුළුවන්, ජාතිය, ආගම, ආත්මගරුත්වය, රැකියාව, තමාගේ පැවැත්ම, නායකත්වය, මේ අනිත්‍යවූ ධර්මතාවයන් තමයි ඔබේ සකස්‌වීමට හේතූන් වෙන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තන්හාව නිසාය උපාදානය සකස් වෙන්නේ කියලා. මේ උපාදානය තමයි ඔබව ජාති, ජරා, ව්‍යාධි මරණ කරා රැගෙන යන්නේ. ඒ නිසා ඔබ ඔය දිවීම, ව්‍යායාම කිරීම, ශරීරය හැදීම මොහොතකට නතර කරලා, එහෙම නැතිනම් ඒවා කරන ගමන් විවේකීව සිතන්න මොකක්‌ද මේ කය..... මස්, නහර, ඇට, රුධිරය, අසූචි, මුත්‍රා, බොකු බඩවැල්, සෙම්, සොටු... මෙහි හදන්න දෙයක් තිබෙනවාද? මේවායේ මොනවා හදන්නද? ජරාවක්‌මයි. පිළිකුලක්‌මයි තිබෙන්නේ. මෙය හදන්න නොවේ තිබෙන්නේ, අතහරින්නයි. ඔබ උදේට කටේ තිබෙන කුණුකෙළ මගේ නොවේ කියලා ඉවතට දමනවා. ඇසේ තිබෙන කබ, ශරීරයේ පිරුණු අසූචී, මුත්‍රා මගේ නොවේ කියලා ඉවතට දමනවා. ශරීරයේ පිරුණු වාතය මගේ නොවේය කියලා එලියට දමනවා. ශරීරයේ පිටවන දහදිය මගේ නොවේය කියලා පිසදමනවා. අන්න ඒ වගේ ඔබ තුළ තිබෙන්නාවූ, 'මා තුළ සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නවාය. ඔහුව නිරෝගී කරන්න ඕනෑය. ඔහුගේ මස්‌පිඩු ක්‍රමවත් කරන්න ඕනෑය' කියන අවිද්‍යා සහගත සිත ඔබ ඔබේ නොවේය කියලා ඉවතට දමන්න. මා තුළ 'මම' සිටියි. මා තුළ ආත්මයක් තිබේය යන දෘෂ්ටීන්ගෙන් මිදෙන්න. ඔබට ලැඡ්ජා නැතිද, හිරිකිතයක් අපුලක් නැතිද මළ කුණකට, මළ කඳකට අතීතයේ ප්‍රේතයෙකු, තිරිසනකු, තිරිසන් සතකුව ඔබ ඔබේ කරගන්න. 'මම' කියලා හඳුන්වාගන්න. ඔබට ලැඡ්ජයි නේද? තාමත් ඔබට ලැඡ්ජාවක් නොදැනෙන්නේ නම් ඔබ මේ සටහන නැවත නැවත කියවන්න. මේ ඔබ කියවන්නේ ඔබේ රූපයෙන් නිදහස්‌වීමේ මාර්ගයයි. නිවීමේ මාර්ගයයි. මේ ගැන සිතලා සතුටු නොවී, ඇති වූ සතුටත් අනිත්‍ය බවම දකින්න. ඇතිවූ, නැතිවගිය සිත අනිත්‍ය වශයෙන් දැක නිවීමේ මඟට අවතීර්ණ වන්න. කයේ ස්‌වභාවය හොඳින් දකින්න. ඔබ දැකලා තිබෙනවාද ලස්‌සන කුකුලෙක්‌ව. නා නා වර්ණ පිහාටු වලින් කුකුලා අලංකාරයි. දකින්න ප්‍රිය උපදවන රූපයක් එයාට තිබෙනවා. මේ ලස්‌සන කුකුලාව මස් කඩයට ගෙනිහින් පිහාටු සේරම ගලවලා, සුද්ද කරලා, යකඩ කොක්‌කක, එහෙත් නැතිනම් වීදුරු ශීතකරණයක විකිණීම සඳහා තබා තිබෙනවා ඔබ දැකලා ඇති. උගේ දැන් තිබෙන්නේ සම පමණයි. ලස්‌සන පිහාටු නැහැ. දැන් ඔබ ඔබේ කය දෙස බලන්න. ඔබ හුදෙකලාව මනසින් හෝ හැබැහින් ඔබේ කය නිරුවත් කරන්න. කැඩපතක් ඉදිරියේ සිට දකිනවා සේ ඔබේ කය දෙස බලන්න. අර කුකුල් මස් කඩේ එල්ලලා තිබෙන හමගහපු කුකුළාගේ කයත් ඔබේ කයත් අතර වෙනසක් තිබෙනවාද? ඔබේ කයත් හමගහපු කුකුලෙක් වගේමයි. ඔබ මමත්වයෙන් පිරුණු ඔබේ සිත ලැඡ්ජාවට පත්කරන්න. සිත අපහසුවට පත්කරන්න. මාන්නය බිඳ දමන්න. කුකුලාව ලස්‌සන කළේ උගේ ලස්‌සන පිහාටු වගේම ඔබවත් ලස්‌සන කරලා පෙන්වනනේ ඔබේ ඇඳුම් පැළදුම්, ආභරණ, සුවඳ විලවුන්. අර කුකුල් කය බාහිර දේ විසින් අලංකාර කරනවා. ඔබ යථාර්ථයෙන් ඈත් කරනවා. අවිද්‍යාවෙන් අන්ධ කරනවා මේ වෙළෙඳපොළ කියන්නේ අවිද්‍යාව විකුණන තැනට. වෙළෙඳපොළේ මුදලාලිලා අවිද්‍යාව පැකට් කරලා, බෝතල් කරලා, පෙට්‌ටි කරලා, ලස්‌සන ලේබල් අලවලා, රූපවාහිනී දැන්වීම් දමලා, ලොකු බෝඩ් ප්‍රදර්ශනය කරලා, විදුලි බුබුලු දමලා අලෙවි කරනවා. මේ මිනිස්‌සු උදේ ඉඳලා රෑ වෙනකම් කර්මාන්තශාලා වල, වැඩබිම් වල රැකියා කරන්නේ මේ අවිද්‍යාව මිලදී ගන්න සල්ලි සොයන්නයි. එක පැත්තකින් ඔවුන්ට අවිද්‍යාව නිෂ්පාදනය කරනවා. තව පැත්තකින් ඔවුන් අවිද්‍යාව මිලදී ගන්නවා. සමාජයේ ඇති නැති ස්‌වභාවය මත මේ නිෂ්පාදනයේ සහ මිලදී ගැනීමේ ගුණාත්මකභාවයන් අඩුවැඩි වෙනවා. ලෝකය භාණ්‌ඩ සහ සේවා අංශයෙන් දියුණු වෙනවා කියන්නේ අවිද්‍යා දියුණු වෙනවා කියන එකයි. අවිද්‍යා නිෂ්පාදනය සහ මිලදී ගැනීම ඉහළ යනවා කියන එකයි. ඔබ දැන් නිවී සැනසිල්ලේ සිතන්න ඔබත් අවිද්‍යාවේ දාසයෙක්‌ද? පිංවත් ඔබ ශරීරයේ නිරෝගීබවට, දිවීමට, ව්‍යායාම කිරීමට වැයකරන කාලය මේ කය අවබෝධ කරගැනීමට වැයකරන්න. ඔබට අයිති නැති ආගන්තුක සිත, ඔබේ යටතට ගන්න. සතිය සිහිය උපද්දවාගන්න. දුවන්න, ව්‍යායාම කරන්න කියන සිත ඔබ අතහරින්න. එවිට දිවීම, ව්‍යායාම ඔබට අතහැරේවී. දිව සංවරව තබාගෙන නිරෝගී වන්න. නිරෝගී ශරීරයක් ඇති අයෙක් වන්න, එහි අනිත්‍යය දකිමින්ම. නිරෝගී කය ලෝකයට ප්‍රදර්ශනය කිරීමට නොව, සසර ගමනින් එතෙරවීම සඳහා ප්‍රයෝජනයට ගන්න. නිවීමේ දොරටුවට පිවිසීමට ඔබේ නිරෝගී කය වාහනයක් කරගන්න. ඔබ නැවත වේගයෙන් දුවන චීටාවෙක්, සිරුරට බොහෝ ව්‍යායාම් දෙන වඳුරෙක්, ව්‍යායාම් සරඹ ආදිය උපාදානය කිරීමෙන් ඉපැදුණු අහසේ ජිම්නාස්‌ටික් කරනා ප්‍රේතයෙක් නොවීමට වගබලාගන්න.
Posted by SLN | at 12:21 PM | 0 comments
සියලු සංස්කාරයන්ගේ තිබෙන්නා වූ අනිත්‍යතාවය පසක් කරමින් දැන් නිර්මල බුද්ධ ශාසනයද කෙමෙන් කෙමෙන් අවරට යමින් පවතියි. ධර්මයේ අර්ථයන් දිනෙන් දින ගිලිහී යයි. අබුද්ධෝත්පද්දිත කාලයක් උදාවෙමින් පවතින බවට ඉඟි පලවෙයි. සම්‍යක් දෘෂ්ඨික බෞද්ධයන් ගණන දිනෙන් දින අඩු වෙයි. මිත්‍යක්දෘෂ්ඨිකයන් ගණන දිනෙන් දින වැඩි වෙයි. මිනිසුන් මෙන්ම දෙවියන්ද දිනෙන් දින ශීලයෙන් පිරිහීම නිසා වැඩි වැඩියෙන් අකුසල් රැස් කර ගනිති.
එදුසිල්වත් බව නිසා ඔවුනගේ අකුසල් විපාක දිමට සුදුසුවන පරිදි ලෝකය සකස් වෙමින් පවතියි. ස්‌වභාවික විපත්,යුද්ධ ලෙඩ රෝග ආදිය දිනෙන් දින වැඩි වෙයි. මනුෂ්‍යයාගේ පරමායුෂ දිනෙන් දින අඩුවෙයි. කොසොල් රජු දුටු සිහින දහසය දිනෙන් දින සැබෑ වෙන බව දැනෙයි. කිසි කලෙකත් අදට වඩා හෙට හොඳ නොවෙයි. තෘෂ්ණාවේ අධිකභාවය නිසා තරඟකාරීත්වය නමැති මාර දැලට හසුව කාර්ය බහුල ලෝකයක් බිහිවී මිනිසුන් දුකෙන් දුකටම යන්නට පාර කපා ගනිති. මාරයා, නිරයන්, දිව්‍ය ලෝක, ප්‍රේත ලෝක, අසුර ලෝක හුදෙක් සංකල්ප බව සිතති. හැකිතාක් සරලව පැහැදිලිව මුනිඳු දෙසූ ධර්මය, ඔවුන් තමන්ට අවැසි පරිදි විග්‍රහ කර ගනිති. මිත‍්‍යක් දෘෂ්ඨිකත්වයට පත්වෙති. මිනිසෙකුගේ ජීවිතය සාර්ථක වූවා යනු පාසල්, විශ්ව විද්‍යාල ගොස් විභාග ඉහලින් සමත් වී ඉහල වැටුප් සහිත රැකි රක්ෂා ලබා තට්ටු ගණන් නිවාස සදා විවාහ වී දරුවන් ලබා ඔවුන් උස් මහත් කර නොදැනීම වයසට යෑම බව සිතති. පෙර ආත්මයන්හි ධර්ම දානයන්ගේ හීනබාවයන් නිසාදෝ දහම ඔවුන් අසල වුවත් දහම නොදකිති. ඉතා කලාතුරකින් උදා වන බුද්ධෝත්පද්දිත කාලයක තමා ලබා ඇති බෞද්ධ මිනිසත් බව කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බැලුවාක් වන් දුෂ්කර දෙයක් බව නොවටහා ගනිති.
කෙසේ හෝ තවමත් බුද්ධ ශාසනය පරිහානියට පත්ව නැත. තවමත් ධර්මය සන්දිට්ඨිකය. තවමත් මෙලොව තුල රහතුන් බිහිවිය හැක. තවමත් ධර්ම මාර්ගය විවෘතය. නමුදු දැන් ගෙවී යමින් පවතින්නේ ගෞතම බුදු සසුනේ අවසන් හෝරා කිහිපයයි. එබැවින් අප අප්‍රමාදි විය යුතුය. හිස ගිනි ගත්තෙක් ගින්න නිවාගන්නට වෙර දරන්නා සේ මෙ ඝෝර කටුක භව ගින්නන් මිදීමට අප අප්‍රමාදි විය යුතුය.
අප පුණ්‍යවන්තය. දැන් සිරිලක තුල අසිරිමත් සඟ මැණිකක් වැඩ සිටිති. ආරණ්‍යවාසී ස්‌වාමීන් වහන්සේ හුදෙකලාව, නිදහස ප්‍රිය කරන බැවින් ඒ උතුම් සමාධියට, විවේකයට බාධා නොවනු පිණිස වග බලා ගැනීමද ශ්රද්ධාවන්ත අපගේ යුතුකමකි. බොහෝ දෙනාට හිත සුව පිණිස වන්නා වූ මේ උතුම් සද්ධර්මයට හිත යොමු කර සතර අපායෙන් මේ ජීවිතයේදීම එතෙර වීමට සියල්ලෝ වීර්යය ගනිත්වා…! සියලු සත්වයෝ මෙම ඝෝර කටුක බියජනක සංසාරයෙන් අත්මිදෙත්වා! තෙරුවන් සරණයි!
‘අනමතග්ගෝ භික්ඛවේ සංසාරෝ පුබ්බකොට න පඤ්ඤෝයති අවිජ්ජා නනීවරනානං තන්හා සංයෝජනං සන්දාවතං සංසරතං මමඤ්චෙව තුම්හාකඤ්ච
අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා පින්වත් මහණෙනි නුඹලාත් මමත් බොහෝ කාලයක් මේ අති දීර්ඝ සංසාරයේ සැරිසැරුවා. මේ සංසාරය අති දීර්ඝයි. මෙහි ඉමක් කොනක් පණවන්න බැහැ’
සියල්ලෝ සංසාර බිය දකිත්වා! අප්රමාදී වෙත්වා!