අනේ ඔබ එවන් පාලකයකු වේ නම්...

 

පාලකයෙක්‌ වෙන්න අපි මොනතරම් කැමතිද? පංති කාමරයක වේවා, වැඩබිමක, ආයතනයක, පන්සලක, ගමක, නගරයක, රටක පාලකයා, නායකයා වෙන්න අකමැති කෙනෙක්‌ නොමැත. ඔබ ඔබෙන් අහල බලන්නකො නායකයෙක්‌ වෙන්න ඔබ අකමැතිද කියලා. ඔබ දැනටමත් නායකයෙක්‌ වෙන්න පුළුවන්. මිනිසා තරග කරන්නේද, සටන් වදින්නේද, අනුනට කැපිලි කෙටිලි දමන්නේද නායකත්වයට පාර සකස්‌ කර ගැනීමටය. නැතිනම් නායකත්වය ආරක්‍ෂා කරගැනීමටය.

වෛරය, ක්‍රෝධය, සැකය නායකත්වය සොයා යන ගමනේ අතුරු ඵලයක්‌ය. නායකත්වය සෙවීම මිනිසාට පමණක්‌ උරුම දෙයක්‌ නොවේ. සෑම සත්වයෙකුටම පොදුය. සත්වයා මහා අකුසල් ප්‍රමාණයක්‌ රැස්‌ කරගන්නේ මේ නායකත්වයට ඇති ගිජුභාවය නිසාය. මෙවැනි අකුසල් රැස්‌කරමින් ඔබ මේ පාලනය කිරීමට යන්නේ කවුරුන්වද? අනුන්මය. අනුන්ව පාලනය කිරීමට යන ඔබ මොහොතක්‌වත් සිතුවාද තමාට තමාවත් පාලනය කර ගැනීමට නොහැකි ලෝකයක තමාට අනුන්ව පාලනය කිරීමට නොහැකි බව. කවුද ඔබට මේ අවබෝධය ලැබීම වලක්‌වන්නේ. තන්හාවයි. අනන්ත අප්‍රමාණ අකුසල් සිදුකරගනිමින්, විවිධ සටකපට උපක්‍රම යොදමින්, මුසාබස්‌ දොඩවමින්, නැතිගුණ පෙන්වමින් ඔබද පාලනය මුවහත් කරගන්නවා.

බලය උදෙසා මොනතරම් ගහමරා ගන්නවාද, පාවාදීම් කරනවාද, කුලල් කාගන්නවාද, අනුනට මඩ ගසනවාද? බලයට ඇති කෑදරකම, ගිජුබව නිසාම තළුමරමින් ඉහත චර්යාවන් සිදුකිරීම බලය ලබාගැනීමට කළයුතු චාරිත්‍රයක්‌ බවට පත්වෙලා. මේ හැම දෙයම මේ අය සතුටින්මයි කරන්නේ. තිබෙන සැප ආරක්‍ෂා කරගන්න, ඇති සැප වැඩිකරගන්න, නැති සැප ඇතිකරගන්න ලෝකය පස්‌සෙ දුවනවා. දුක්‌ විඳිමින් සැප සොයනවා. වර්තමානයේ සොයන සැප ලැබිලා නැහැ. ඒ නිසා අනාගතය තුළ සොයනවා. ඔවුන් දන්නෙ නැහැ අනාගතය කියල කියන්නෙ වර්තමානයටමයි කියලා. වර්තමානයමයි අතීතය වූවේත් කියලා. මේ අයට හති දැනෙන්නෙ නැහැ. විඩාවක්‌, නිදිමතක්‌ දැනෙන්නෙ නැහැ. සැප සෙවීමට, ආරක්‍ෂා කරගැනීමට, වැඩිකර ගැනීමට ඇති තන්හාව නිසා.

තන්හාව කියන්නේ හොඳ දක්‍ෂ මැහුම්කාරියක්‌. ඇය විසිහතර පැයේම ඉඳිකටුවයි, නූලයි අත තබාගෙනයි සිටිනුයේ. ඉන්ද්‍රියයන්ට පස්‌සයවන හැම කැමැත්තක්‌ම තද මැස්‌මකින් මසන්න. දක්‍ෂ මැහුම්කාරියගේ මේ වෙලීම කල්ප ගණනාවකට කැඩෙන්නේ නැහැ. කැමැත්තෙන්ම සසර බන්ධන වලට කොටුවෙන සත්වයාට, මේ තන්හාවේ මැහුම්කාරිය අතදිගහැර උදව්කරනවා. කුමක්‌ සඳහාද? ඔබව බවය සමඟ බන්දන්න, උපාදානය කරවන්න. අපිට හිතෙනවා ලෝකයේ දක්‍ෂම මැහුම්මහන දරුවෝ ඉන්නේ කටුනායක පැත්තේ කියලා. ඒත් ඒක මුලාවක්‌. ඒ අය මහන මැහුම් අවුරුද්දකින්, දෙකකින් නැතිනම් පහකින් දිරලා යනවා. ගැලවිලා යනවා. ඒත් තන්හාවේ මැහුම්කාරිය මහන මැහුම, ගසන වෙළුම කල්ප ගණනාවකට කැඩෙන්නේ නැහැ. ඇයට විඩාවක්‌, නිදිමතක්‌, වෙහෙසක්‌ නැහැ. හැම තත්පරයකම ඔබ ඉදිරියේ ඇය සීරුවෙන් සිටිනවා. ඔබට පස්‌සය වන සෑම රූපයක්‌ සමඟම ඔබව වේදනාව විඳීමට සලස්‌වනවා. ඇලීම්, ගැටීම්, උපේක්‍ෂා වශයෙන්.

ඔබ කවදාහරි නිවීම ලබන්නේ තන්හාවේ මැහුම්කාරිය හඳුනාගෙන ඇයගෙන් මිදුනුදාටය. එතෙක්‌ ඔබ කුසල් අකුසල් පිsරුණු මඟක නායකයින්ද, පාලකයින්ද වීමේ දොළදුක සංසිඳුවාගැනීමට අකුසල්ම කරගසාගනිමින් ගමන් කරයි.

තිරිසන් ලෝකයේ සතුන් සහ පක්‍ෂීන් දෙස ඔබ හොඳින් බලන්න. ඔය තිරිසන් සතුන් කිසිවෙක්‌ රාත්‍රියට හෝa දවාලට එක දිගට පැයක්‌ නිදාගන්නේ නැහැ. ඒ සතුන්ට නිදාගන්න වාසනාවක්‌ නැහැ. පිනක්‌ නැහැ. ගසක අත්තක්‌ සෙලවුනොත්, කොළයක්‌ වැටුනොත්, තවත් සතෙකුගේ හඬක්‌ ඇසුනොත්..... මේ ආකාරයට නිරතුරුව බියට පත්වී නින්ද කැඩෙනවා. තිරිසන් සතුන් මුළු රැයම නිදාගන්නේ බයෙන්. මෙය අහම්බයක්‌ නොවේ. කර්ම විපාකයක්‌මයි. කර්මය තමයි පෙර ජාතිවල මිනිස්‌ ආත්ම වල ඉපැදිලා ලොකු කුඩා පාලකයෝ වෙන්න ගිහින් කරපු අකුසල්. මිනිස්‌සු බියගන්වලා, පීඩනයට පත්කරලා, මුලාකරලා, අතීත භවවල කරපු අකුසල් මරණින් මතු විපාක දෙන්නේ ඔය විදිහට. ලොකු කුඩා පාලකයන්, නායකයන් මියගිය පසු පාංශකූල පොලේදී අනුශාසනා, දේශනා, ගුණකථා, බැනර, ශෝක ප්‍රකාශ, සැරසිලි වලින් ඔවුන්ව නිවන් දැක්‌වුවද සැබෑ යථාර්ථය කටුකය. ඔබ හොඳින් නිරීක්‍ෂණය කර බලන්න. තිරිසන් සත්ව ප්‍රජාවේ නායකත්වය වෙනුවෙන් එම සතුන් වියරුවෙන් ගැටෙන හැටි. වියරුව මරාගනිමින් නායකත්වයට සටන්වදින විලාසය. මේ සියල්ල එම සතුන්ගේ සංසාරික හුරුපුරුදුය.

ශ්‍රී සද්ධර්මය පවතින අවස්‌ථාවක, වාසනාවන්ත මනුෂ්‍ය විලාසයක්‌ ලබා, නායකත්වයට ඇති ගිජුභාවය නිසා, අනන්ත අප්‍රමාණ අකුසල් සිදුකර තිරිසන් ආත්මයක්‌ ලැබූ පසු, නැවතනම් කල්ප ගණනාවකට සුගතිගාමී ජීවිතයක්‌ නම් ලැබිය නොහැකිය. මන්ද තිරිසන් සත්ව ප්‍රජාව තුළ ඇති වෛරය නිසා දුකෙන් දුක කරාම, තිරිසන් ලෝකයෙන් නිරය කරාම ඇදී යාම එම ස්‌වභාවය නිසාය. බලන්නකො මේ තරම් වටිනා මනුෂ්‍ය ජීවිතයක්‌ ලබපු ඔබ, අනුන්ව පාලනය කරන්න ගිහිල්ලා කල්ප ගණන් අපාදුක්‌ විඳින සත්වයන් බවට පත්වෙනවා. මොන තරම් අවාසනාවක්‌ද.

හැබැයි සමහරු ඉන්නවා, පෙර පිං නිසාම ආයාසයකින් තොරවම නායකත්වය, ප්‍රධානත්වය ලැබෙනා අය. ඒ අය බදාගැනීමකින්, තෘෂ්ණාවකින් තොරවම නායකත්වය දරනවා. බහුතරයේ අකමැත්තෙන් නායකත්වය අතහරිනවා. ඔහු තමන්ට ලැබූ අවස්‌ථාව නිසා කුසලයක්‌ රැස්‌කරගන්න දක්‍ෂ වෙනවා. ඔබම සිතන්න. ඔබ බදාගත්තොත් ඔබට උරුමවන්නේ සතර අපායමය. ඔබ අතහැරියොත්, මධ්‍යස්‌ථවූවොත් ඔබට සුගතිය උරුමවෙනවා.

මේ ලෝකයේ සැබෑම ශ්‍රේෂ්ඨම පාලකයා තමයි, මෙලොව තමාට පාලනය කිරීමට තරම් දෙයක්‌ නොමැති බව දකින තැනැත්තා. ඔහු ඉන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක පමණයි. ඒ තමයි අරිහත් උත්තමයා. උන්වහන්සේ තමා තුළ තමා නැතැයි දකිනවා. මම තුළ සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැතැයි දකිනවා. කුමක්‌ද එහෙනම් මෙතැන තිබෙන්නේ. වේගයක්‌. ඇතිවෙමින් නැතිවෙන රූපයක්‌ සහ සිතක්‌ පමණක්‌ බව දකිනවා. පස්‌සය නිසා හටගන්නා වේදනාව සත්වයාව ක්‍රියාකාරීත්වයට පත්කරනවා. ඇතිවුනාවූ පස්‌සයද, වේදනාවද අනිත්‍ය බව උනවහන්සේ අවබෝධයෙන් දකිනවා. පාලනය කිරීමට යමක්‌ නොමැති තැන පාලකයෙක්‌ අවශ්‍ය නැහැ. දැන් බලන්න පාලනය කිරීමට කිසිවක්‌ම නොමැති තැනක, පාලකයෝ වෙන්න ගිහිල්ලා මිනිස්‌සු මොන තරම් මෝහයකද වෙලී සිටින්නේ. අනේ දෙවියනේ අවිµව මොනතරම් අසාධාරණයක්‌ද මේ සතවයාට කරන්නේ.

පාලකයන්. ප්‍රධානීන්, නායකයන් වෙන්න වෙරදරන ඔබට ලෝකයේ ශ්‍රේෂ්ඨම පාලකයා වෙන්න මඟක්‌ තියෙනවා. ඔබ මේ මඟ දිනාගත්තොත් එම ජයග්‍රහණය නැවැත උදුරාගන්න මේ තුන්ලෝකයේම කිසිවෙකුටත් බැහැ. ඔබට කරන්න තිබෙන්නේ සුළු දෙයයි.

"සිතේ පාලනයෙන් ඔබ මිදෙන්න. සිත පමණක්‌ ඔබේ පාලනයට යටත්කරගන්න"

මෙතෙක්‌ කල් ඔබ ක්‍රියාත්මක වූයේ ඔබට අයිති නැති සිත ඔබට අණකළ මග ඔස්‌සේය. ඔබ මේ මොහොතේම ඔබේ සිතට නියෝග කරන්න. "දැඩිව" නියෝග කරන්න.

"සිත ඔබ මෙතුවක්‌ කාලයක්‌ ඔබට අවශ්‍ය ආකාරයට මාව ක්‍රියාත්මක කළා. සතර අපායට, දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝකවල ගාල්කළා. කල්ප ගණන් සංසාරයේ ඇවිද්දුවා. මෙතුවක්‌ කල් මම අවිµdව නිසා ඔබට රැවටුණා. මින්මතු ඔබ කියන දේ කරන්නේ නැහැ. මම කියන දෙය ඔබ කළ යුතුයි"

ඔබට පුළුවන් නම් මේ තීරණය ක්‍රියාත්මක කරන්න, ඔබ තමයි මේ ලෝව ශ්‍රේෂ්ඨතම පාලකයා. ඔබට අයිති නැති, ආගන්තුක සිතක්‌, ඔබව බවයේ සිරකරුවෙක්‌ කරගෙන සිටින අසාධාරණයෙන් ඔබව මුදාගන්නා ශ්‍රේෂ්ඨම පාලකයා ඔබ වෙනවා.

ඔය ඇතිවන නැතිවන සිත ඔබේ පාලනයට ගතහොත්, ඔබට පුළුවන්කම ලැබෙනවා මුළු විශ්වයේම පාලනය ඔබ අතට ගන්න. රටක්‌, නරගයක්‌, ගමක්‌, ආයතනයක්‌, පන්සලක්‌, ආරණ්‍යයක්‌ නොවේ මුළු විශ්වයම. ඔබේ නිවන් මෙහෙයුමේදී සමාධියේ උපරිම තලයකට පැමිණෙන විටක, ප්‍රඥාව විසින් මුළු විශ්වයම අනිත්‍යභාවයේ වේගයෙන් සියුම්කොට ඔබ ඔබේ දෝතට ගන්නවා. රූපය අනිත්‍යභාවයට පත්වෙන වේගය තුළින් විශ්වය යනු තම දෑතට ගතහැකි හිස්‌දෙයක්‌ය යන්න ඔබ දකිනවා. ප්‍රඥාවෙන් ඔබ විශ්වය ඔබේ ග්‍රහණයට ගන්නවා. මෙතෙක්‌ විශ්වයේ පාලනයට යටත්වූ ඔබ, විශ්වය යනු අතිදැවැන්ත වේගයට හසුවන, සතරමහා ධාතූන්ගේ ස්‌වභාවයක්‌ බව අවබෝධයෙන් දකිනවා. මෙතෙක්‌ විශ්වය ලෙසින් ඔබ දකිමින් සිටියේ පස්‌සය නිසා හටගන්නා වේදනාවක්‌ බව දකිනවා. ඔබට දැනෙනවා ඔබ ලෝකයෙන් එතෙරවුනාය කියලා. සමාධියේ උපරිම තලයකදී ඔබට වැඩෙන ප්‍රඥාව තුළිනුයි විශ්වයේ පාලනය ඔබට ලබාදෙන්නේ. ඔබ කවදාවත් හිතන්න එපා මොන ධ්‍යානයේදීද ඔබට මේ ඥාණයන් ලැබනේනේ කියලා. එහෙම හිතුවොත් ඒවා කෙළෙස්‌ ධර්මයන්. එසේ වුවහොත් නිවීම ඔබෙන් ඈතට යනවා. මේවා ධර්මයේ ආශ්චර්යයන්. හේතුඵල ධර්මයන්. හේතුව තමයි සැබෑ මධ්‍යම ප්‍රතිපදාවේ හික්‌මීම. තුන් සිවුරත් පාත්‍රයත් හැර ඉතිරි සියල්ල අතහැරීම. අත්හැරීමෙන් අර්ථවත්වූ නිවන් මඟ අවසන් මෙහෙයුමේදී, අතහැරීමේ උපරිමය නිසාම තීව්‍රර වන ප්‍රඥාව විසින් ඔබට මේ ගුණයන් ලබාදෙයි. ජීවිතයේ එක්‌වරක්‌ පමණක්‌ මේ ඥානදර්ශනයන් පහළවේ. ඔබට ඒවා නැවත නැවත ආවර්ජනය කර දැකිය හැකිය. එහෙත් දැන් ඔබට මේවා අවශ්‍ය නැත. එය තවත් සිදුවීමක්‌ පමණක්‌මය. සියල්ල අයිති අනිත්‍යයටය. සිදුවූ එකම දෙය ඔබ ප්‍රමාදයෙන් මිදීම පමණකි. අප්‍රමාදීව කළයුත්ත කරගත්තා පමණකි.

මනුෂ්‍ය ලෝකයේ අනුන්ගේ පාලකයෝ වෙන්න ගිහින්, සතර අපායට වැටෙන තමන්ගෙ සිත පාලනය කරගෙන ලෝකයෙන්ම එතෙරවෙන්න. ලෝකයම ප්‍රඥාවෙන් සියුම්කර ඔබේ දෑතට ගන්න. සැබෑ පාලකයෙක්‌ වන්න. නැවත ලෝකයට නොඑනා ලෙසින්ම ලෝකයෙන් සහමුලින්ම මිදීයන්න. සැනසිල්ලේ නිවීයන්න. සතියෙන් සිහියෙන් යුතුව, ස්‌වභාවධර්මය දෙස බලන්න. එවිට ධර්මයද, විනයද යන දෙකම ඔබ කෙරෙන් ආරක්‍ෂාවනු ඇත. ධර්මය සහ විනය පතපොතින් සොයා නොයන්න. නමුත් දැනුම ලැබීමටනම් ඔබ පතපොත නිරතුරුව පරිහරණය කරන්න.

Posted by SLN | at 10:52 AM | 0 comments

විජය සූත්‍ර-Vijaya Sutta

 

Posted by SLN | at 1:30 PM | 0 comments

ප්‍රඥාව උපදවාගනිමු‏

මනුෂ්‍යයෙක් දියුණුවෙලා යනව නම් ඒ ඉහළම දියුණුව, සුපිරිසිඳූ වූ දියුණුව, ඇතිවෙන්නේ රාග, ද්වේශ, මෝහ දුරුවීමෙන්. එතකොට රාග, ද්වේෂ, මෝහ දුරුවීම පිණිස එයාට බලවත් සේ උපකාර වෙන්නේ ප්‍රඥාව. යමෙක් තුළ ප්‍රඥාව බලවත්නම් එයාට රාග, ද්වේෂ, මෝහ දුරුකිරීමේ, දුරුකරගැනීමේ හැකියාව, ඉඩ කඩ, අවකාශය බලවත්. යමෙකුට ප්‍රඥාව දුබලයි නම් එයාට රාග, ද්වේෂ, මෝහ දුරුකරගැනීමේ හැකියාව, ඉඩකඩ, අවකාශය දුබලයි, අඩුයි. යම් කලෙක මනුෂ්‍යයාගේ ප්‍රඥාව බලවත් වෙනවා නම් අන්න ඒ කාලයේදී ඒ මනුෂ්‍යයින්ට රාග, ද්වේෂ, මෝහ දුරුකරගැනීමේ ඉඩකඩ ඉහළ මට්ටමක තියෙනව. යම් කලෙක මනුෂ්‍යයාගේ ප්‍රඥාව දුබලයි නම් අන්න ඒ කාලයේදී මනුෂ්‍යයාගේ රාග, ද්වේෂ, මෝහ දුරුකරගැනීමට තිබෙන ඉඩකඩ දුබලයි.

ප්‍රඥාව ඉහළ මට්ටමකින් තියෙනව නම් ඒ කාලේදී සිද්ධවෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ප්‍රඥාව බලවත් කෙනාට රාග, ද්වේශ, මෝහ වලින් හිත යටවෙන්නෙ නැතුව පවත්ව ගන්ට, කුසල් සිත් උපදවගන්ට පුළුවන්. එතකොට ප්‍රඥාව බලවත් කාලෙකදි වෙන්නෙ කුසල් සිත බලවත් වීමයි. පුංචි කුසලයකින් බලවත් අකුසල සිත මැඩගෙන ඉන්ට පුළුවන්. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලෙදි බලවත් සේ ප්‍රඥාව සහිත ප්‍රඥාවන්තයින් තමයි පහළවෙන්නෙ. ඒ අයට ධර්මය කියන පමාවෙන් ඒ ධර්මය අවබෝධකරන්ට අවස්ථාව ලැබෙන්නෙ ඒකයි. ධර්මය අවබෝධකරනවා කියන්නෙ රාග, ද්වේෂ, මෝහ දුරුකරනවා කියන එක. ක්‍ෂය කරල දානව, නැතිකරල දානව. ඒක පොඩි වෙලාවකින් කරගන්ට පුළුවන් වෙන්නෙ ඒකයි ඒ කාලෙදි.
නමුත් ඒ යුගයේදීම මනුෂ්‍යයාගේ ප්‍රඥාව පිරිහෙන මට්ටමට ලෝකය වෙනස්වෙලා ගියා. ඒ නිසාම ඒ භාග්‍යවතුන් වහන්සේට ධර්මය කියල බලවත් වෙහෙසට පත්වෙන්ට සිද්ධවුනා. ඒ මහ රහතන්වහන්සේලාට ධර්මය කියමින් අවවාද කරමින් බලවත් සේ වෙහෙසෙන්ට සිද්ධ වුනා. ඇයි ඒ ? ප්‍රඥාව දුබල වූ අයගේ ඉපදීමත් එක්ක. ප්‍රඥාව දුබලවෙන යුගය ඒ කාලෙදීම ආරම්භ වුනා. ඒකයි අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළේ "ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අද අවවාද කරන්ට බෑ. අවවාද කරන්ට අමාරුයි" කියල. උන්වහන්සේ ප්‍රකාශ කළා නේද? මතකද එහෙම කාරණාවක්? අවවාද කරන්ට අමාරුයි, මේ අවවාද නුහුරටමයි ගන්නෙ කියන කාරණාවක් ප්‍රකාශ කළා නේද? ඒත් භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් අවවාද කරන්ට කියල ඉල්ලා සිටිය. නැත්නම් ඒ කාශ්‍යප රහතන් වහන්සේ අවවාද කිරීමට මැළිවුනා නේද? අවවාදය නුහුරටයි ගන්නෙ අද කාලෙ. අවවාදය නුහුරට අරගෙන බලවත් විනාශයන් කරා ඒ ගොල්ලන්ගෙ ජීවිත ගොදුරුකර ගත්ත. ඉතින් ඒ ප්‍රඥාව පිරිහීමේ හේතුවෙන් ඒක සිද්ධවෙන්නෙ.
ප්‍රඥාව පිරිහීමත් එක්ක අවවාදය කියන එක අඳූරගන්ට බෑ. මේක යහපත පිණිස අපිට කියන දේ කියල අඳූනන්ට බෑ. දැන් ගුරුවරයා පන්තියේදී වේවැල් පාරක් ගහනව. ගුරුවරයා කෙරෙහි ප්‍රේමයෙන් වාසය කරන මෛත්‍රී සිතින් වාසය කරන කෙනාට ඒ වේවැල් පහර මිහිරියි. මේ පණිවුඩය හිතාගන්ට පුළුවන්ද ඔබට. හිතාගන්ට බැරි එකක් නේද? ගුරුවරයා කෙරෙහි මෛත්‍රී සිතින් වාසය කරන, මෛත්‍රී ප්‍රතිපත්තියෙන් වාසය කරන ශිෂ්‍යයාට වේවැල් පහර මිහිරි දෙයක්. හිතාගන්ට පුළුවන්ද ඒ කාරණේ. අන්න ඒක තමයි ප්‍රඥාවේ දුබල බව කියල කියන්නෙ. මේ ලෝකේ කව්ද පිළිගන්නෙ වේවැල් පහර මිහිරියි කියල. හිතාගන්ට බෑ නේද? මේක උඩු යටිකුරු වෙච්ච කතාවක් නේද? ඒකයි ප්‍රඥාවේ ස්වභාවය. ප්‍රඥාවෙන් යමක් දැකගන්නව කියන්නෙ ඒකයි. ඒකයි භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙන්නෙ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දෙපැත්තෙන් මිට තියෙන කියතකින් තමන්ගේ ශරීරය කපද්දී වුනත් මෙත් සිතින් වාසය කරනවා කියලා. මතකද? බලන්න ඒ උදාහරණෙ. එතකොට බලන්න ඒක උඩු යටිකුරු වෙච්ච ප්‍රකාශයක් නේද? ලෝකෙ කාටද මෙහෙම පුළුවන්නෙ? පුළුවන් කියල හිතන්ට බෑ නේද? කිසි කෙනෙක් හිතනවද? හැබැයි තථාගත ශ්‍රාවකයා එහෙම නෑ. ඒක සිත තුළ හටගත් ධර්මතාවයක්. අන්න එබඳූ බලවත් ධර්මතාවයක පිහිටි සිත තමයි සසරින් නිදහස් වෙන්නේ. ඒක ප්‍රඥාව විසින් ප්‍රඥාව මගින් සිතේ උපදවගන්නා වූ ධර්මයක්. ඒක අපි තෝරා බේරා ගත යුතුයි.
ප්‍රඥාව බලවත් නම් පුංචි කුසලයකින් මහා අකුසලයක් මැඩලන්ට පුළුවන්. කුසලය කියන්නෙ අන්න එබඳූ දෙයක්. නමුත් කුසලය බලවත් වන්නෙ ප්‍රඥාවෙන්. දැන් තේරුණාද අද යුගයේ අපිට තිබෙන අභියෝගය. අද යුගය ප්‍රඥාව දුබලවෙන යුගයක් කියල තේරෙනවද? ඉතින් එබඳූ යුගයක තමයි අපි ඉපදිලා ඉන්නෙ. ඒ නිසා අපිට තියෙන අභියෝගය අපි පිළිගත යුතුයි. අපිට තිබෙන අනතුර අපි පිළිගත යුතුයි. අන්න එසේ පිළිගැනීමෙන් ම අපි ප්‍රඥාවන්තයින් බවට පත්වෙනව. අද අපිට ප්‍රඥාව උපදවගන්ට බෑ කියල අපි කියන්නෙ නෑ. පුළුවන්. අපි මේ සිද්ධිය තේරුම්ගැනීම ම ප්‍රඥාව. මෙන්න මෙබන්දක් අපිට තියෙනව කියල තේරුම්ගත්ත සැනින් අපිට ඇතිවිය හැකි අවදානමින් බේරෙන්න අපි පිළියම් යොදනව.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

Posted by SLN | at 1:19 PM | 0 comments

බුදුහු අනඳ හිමියන් අමතා බුදුරදුන් උපන් බුදු වූ පළමුව දම් දෙසූ හා පිරිනිවන් පෑ තැන් සංවේදනීය ස්ථාන බවත් ඒ තැන් බලා සංවේග උපදවා පුදපූජා පැවැත්වීමෙන් සැදැහැවතුනට මහත්ඵල මහානිශංස ලැබෙන බවත් දේශනා කළහ. අනතුරුව ස්ත්‍රීන් කෙරේ භික්ෂූන් කෙසේ පිළිපැදිය යුතුදැයි අනඳ තෙරුන් ඇසූ පැනයට බුදුරදුන්ගේ පිළිතුර වූයේ ඔවුන් හා කතා කිරීම පැහැර නොහැරිය හැකිනම් සිහිනුවණින් පිළිපැදිය යුතු බවය.


ලෝකාර්ථචර්යාව උදෙසාම සම්‍යක් සම්බුද්ධත්වයට පත් ගෞතම ශාක්‍යමුනින්ද්‍රයාණන් වහන්සේ පන්සාළිස් වසක් මුළුල්ලේ ධර්ම දේශනා කරමින් සුවිසි අසංඛ්‍යයක් සත්ත්වයන් නිවන් පුරයට යවා වදාරා පිරිනිවනට වැඩමවීමේ උදාර මංගල්‍යය යෙදෙන්නේ වෙසක් මස පුරපසළොස්වක පොහෝ දිනයටය. දවසේ පැය විසිහතරෙන් දෙපැයක් පමණක් කායික විවේකය සඳහා වැය කරමින් ලෝකවාසීන්ගේ හිතසුව පිණිස ක්‍රියාකළ බුදුරදුන් මෙයට වසර දෙදහස් පන්සිය පනස් පහකට ඉහත ගතකළ අවසන් දිනය මෙනෙහි කිරීම උන්වහන්සේ පිළිබඳ ගෞරවය, භක්තිය හා විශ්මය ඇතිකිරීමට හේතු වන්නකි. මහා පරිනිබ්බාණ සූත්‍රය ඇසුරින් බුදුරදුන්ගේ ජීවිතයේ අවසන් දිනය ගතවුණු අන්දම විමසා බැලීම අගනා වෙසක් සිතිවිල්ලක් වනු නොඅනුමානය.
බුදුරජාණන් වහන්සේ, පිරිනිවන් පා වදාළ වෙසක් පසළොස්වක දිනට පෙර දිනයේ වැඩ සිටියේ පාවානුවර චුන්දකර්මාර පුත්‍රගේ අඹ උයනේය. චුන්ද එහි ගොස් බුදුන් වැඳ බණ අසා පසුදින දනට තම නිවසට වඩින්නට ආරාධනා කළේය. ඒ අනුව බුදුහු මහසඟන පිරිවරා ඔහුගේ නිවසට වැඩම කළහ. බුදුරදුන් සඳහා විශේෂයෙන් පිළියෙළ කළ සූකරමද්දව නම් ආහාරයත් සමග චුන්දකර්‍මාරපුත්‍ර ප්‍රණීත ඛාද්‍යභොද්‍යයන්ගෙන් බුදුරදුන් ඇතුළු මහසඟන පිදීය. වළඳා අවසන බුදුහු සූකරමද්දවයේ ඉතිරි කොටස සෙස්සන්ට අපථ්‍යවන බැවින් වළ දමන ලෙස නියම කළහ.
දන් වැළදීමෙන් පසු බුදුරදුන්ට ලොහිත පක්ඛන්දිකා (ලේ අතීසාරය) නම් රෝගය වැළඳුනේය. දැඩි වේදනාකාරී වුවත් බුදුහු සිහියෙන් හා නුවණින් ඉවසා වදාළ සේක. රෝගීව සිටිමින්ම උන්වහන්සේ ‘කුසිනාරාවට යමු’ යි අනඳ හිමියන්ට පැවසූහ. අතරමඟදී ක්ලාන්තභාවය නිසා බුදුරජාණන් වහන්සේ මඟින් ඉවත්ව අනඳ හිමියන් ලවා සඟල සිවුර සිවුගුණ කොට නමා අතුරා එහි වැදහොත් සේක. පිපාසයක් දැනුනෙන් පැන් ගෙනෙන ලෙස අනඳ හිමියන්ට නියම කළහ. ආසන්නයේ පැවති කුඩා දොළ පාරක ජලය කරත්ත පන්සියයක් යාම නිසා කැළඹී බොර වී තිබුණු බැවින් තුන්වරක් දක්වා ඉල්ලා සිටිය ද අනඳහිමියෝ පැන් ගෙන ඒමට මැළිවූහ. බුදුරදුන් තෙවනවරද නියමකළ පසු දොළ පාරවෙත ගිය අනඳ හිමියන් ජටුයේ ඉතා නොකැලඹුණු පිරිසුදු ජලය එහි ගලායන බවය. අනඳ හිමියෝ පැන් ගෙනවුත් බුදුරදුන්ට පිරිනැමූහ.
මේ අතර කුසිනාරා නුවර සිට එන පුක්කුස නම් මල්ල රටවැසියෙක් මඟ අසල වැඩහුන් බුදුරදුන් වෙත පැමිණියේ ය. ආලාරකාලාම තවුසාගේ ශ්‍රාවකයකු වූ ඔහු එම තවුසා කරත්ත පන්සියයක් තමන් අබියසින් ගමන් කරද්දීත් ඒ බව නොදැන සිටි බවත් ඔහුගේ ශාන්ත විහරණය අසිරිමත් බවත් බුදුරදුන් සමග පැවසීය.
බුදුහු ආතුමාහිදී අකුණු ගසා ගොනුන් හා මිනිසුන් මියයන තරම් ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව පවතිද්දී ඒ කිසිවක් නොදැන තමන් වහන්සේ ගතකළ සන්සුන් විලාසය ගැන ප්‍රකාශ කළහ. ඒ අසා පැහැදී තෙරුවන් සරණ ගිය ඔහු රන්වන් වස්ත්‍ර යුගලයක් බුදුරදුන්ට හා අනඳ හිමියන්ට පිදීය. ඔහු ඉවත්ව ගිය පසු අනඳහිමියෝ එම වස්ත්‍රයෙන් බුදුරදුන් ඇන්දවූහ. රන්වන් සළුවෙන් සැරසුණු බුදුහු ගිනි අඟුරක් මෙන් දීප්තිමත් වූහ.
ඉදිරියේ ඇති කුකුත්‍ථා නදිය වෙත පැමිණි බුදුහු ගඟට බැස නහා පැන් වළඳා සමීපයේ වූ අඹවනය වෙත වැඩම කළහ. එහිදී චුන්ද තෙරුන් අමතා ක්ලාන්ත බවක් දැනෙන හෙයින් සඟල සිවුර එළා සැතපෙන්නට සලස්වන මෙන් වදාළහ. චුන්දකමාර පුත්‍රයාගේ දානය වළඳා බුදුරදුන් පිරිනිවියේ යැයි ඔහුගේ සිතේ විපිළිසර භාවයක් ඇතිවී නම් එය දුරුකරන ලෙසත් අභිසම්බෝධියට පැමිණීමට පෙර වැළඳු සුජාතාවගේ කිරිපිඬු දානයත් අනුපාධිදිශේෂ පරිනිර්වාණයට පෙර වැළඳු චුන්දගේ දානයක් එකසේ මහත්ඵල මහානිශංස වන බවත් අනඳ හිමියන් අමතා වදාළහ.
එතැනින් ඉවත්ව ‘හිරඤ්ඤවතී නදියෙන් ඔබ කුසිනාරානුවර උපවත්තන සල් උයන වෙත යමු’ යි තථාගතයන් වහන්සේ අනඳ හිමියන්ට පැවසූහ. එහි වැඩම කළ බුදුරදුන් සඳහා සල්රුක් දෙකක් අතර ඇඳක් පනවා හිස උතුරු දෙසට පිහිටන සේ බුදුරදුන්ට සැතපීමට සලසන ලදී.
එම අවස්ථාවේහි බුදුරදුන්ට පවන් සලමින් සිටි උපවාණ තෙරුන්ට එතැනින් ඉවත්වන ලෙස බුදුහු නියම කළහ. එසේ කළේ මන්දැයි අනඳ හිමියන් විසින් අසන ලදුව බුදුරදුන් වදාළේ අපමණ දෙව් බඹුන් පිරිසක් පැමිණ සිටින බවත් මහේසාක්‍ය උපවාණ තෙරුන් නිසා බුදුරදුන් වෙත ළංවිය නොහැකිව ඔවුන් ආඩාපාලි කියමින් සිටින බවයි.
බුදුහු අනඳ හිමියන් අමතා බුදුරදුන් උපන් බුදු වූ පළමුව දම් දෙසූ හා පිරිනිවන් පෑ තැන් සංවේදනීය ස්ථාන බවත් ඒ තැන් බලා සංවේග උපදවා පුදපූජා පැවැත්වීමෙන් සැදැහැවතුනට මහත්ඵල මහානිශංස ලැබෙන බවත් දේශනා කළහ. අනතුරුව ස්ත්‍රීන් කෙරේ භික්ෂූන් කෙසේ පිළිපැදිය යුතුදැයි අනඳ තෙරුන් ඇසූ පැනයට බුදුරදුන්ගේ පිළිතුර වූයේ ඔවුන් හා කතා කිරීම පැහැර නොහැරිය හැකිනම් සිහිනුවණින් පිළිපැදිය යුතු බවය.
පිරිනිවීමෙන් පසු තථාගත ශරීරය පිළිබඳව කටයුතු කිරීමට සැදැහැවත් ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදි ගිහි පඬිවරුන් සිටින බැවින් ඒ පිළිබඳව තමන් වෙහෙස නොවිය යුතු බව අනඳ හිමියන්ට පවසා සිටියහ. බුද්ධ ශරීරය පිළිබඳව පැවතිය යුත්තේ සක්විති රජකෙනකුගේ ශරීරයට සමාන අයුරින් බවත් බුදුහු අනඳ හිමියන් අමතා වදාළහ.
ආදාහනයෙන් පසු ධාතු නිධන් කොට ස්ථූප ඉදිකිරීමෙන් සැදැහැවතුන් පින් රැස්කරගනු ඇති බැව් වදාළ බුදුහු එබඳු ථූපාරහ පුද්ගලයෝ සිව් දෙනෙක් වෙති’ යි ද පෙන්වා දුන්හ.
තථාගතයන් වහන්සේ පිරිනිවන් පාති’යි සොවට පත් අනඳ හිමියන් හඬා වැලපෙති’යි ඇසූ බුදුහු අනද හිමියන් කැඳවා අවවාද කළහ. සියලු පි‍්‍රය දෙයින් වෙන් වන්නට සිදුවන බවත් බුදුරදුන්ගේ වුවද ශරීරය විනාශ නොවී නොපවතී යැයි ද වදාරා අනඳ තෙරුන් දිගු කලක් මෛත්‍රී සහගතව තමන් වහන්සේට උපස්ථාන කළ බවත් නොපමාව බවුන් වඩා රහත්වන ලෙසත් වදාළහ. අනඳ තෙරුන් නුවණැතිව නිසිකල් බලා සිව් පිරිස හා රජමැති ඇමැතියන් සේම තිර්ථකාදීන් ද තමන් වහන්සේ වෙත පැමිණවී යැයි ද සක්විති කෙනෙකුට සමාන ආශ්චර්යාද්භූත කරුණු හතරක් අනඳ හිමියන් කෙරේ විද්‍යමාන වන්නේ යැයිද පෙන්වා දුන්හ.
කුඩා නගරයක් වූ කුසිනාරාවේ පිරිනිවන් නොපාන ලෙසත් රජගහ සාවත්ථි ආදි මහා නගරවල සැදැහැවත් ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණාදි ගිහි සැදැහැතියන් සිටින බැවින් එවැනි නගරයක පිරිනිවන් පානා ලෙස අනඳ හිමියෝ ආරාධනා කළහ. එසේ නොපවසන ලෙසත් කුසනාරාව වූ කලී සුදර්ශන නම් සක්විති රජෙකුගේ අග්‍රරාජධානියව පැවැති බවත් සඳහන් කරමින් බුදුහු මහා සුදස්සන සූත්‍රය දේශනා කළහ. මල්ල රජදරුවන්ට පිරිනිවන් පෑමේ පණිවිඩය දන්වන ලෙස බුදුන් වහන්සේ අනඳ හිමියන් පිටත් කළහ. මේ වනවිට කිසියම් කටයුත්තක් උදෙසා සන්ථාගාර ශාලාවෙහි රැස්වහුන් මල්ල රජදරුවන් වෙත වැඩම කළ අනඳ හිමි ඒ බව ඔවුන්ට දැනුම් දුන්නේය. බලවත් සංවේගයට පත් මල්ල රජ පවුල්වල ස්ත්‍රින් පුරුෂයෝ අවසන් වරට බුදුන් දැකීමට පැමිණියහ. අනඳ හිමියෝ ඔවුන් පවුල් වශයෙන් වෙන් වෙන්ව ගෙන බුදුරදුනට හඳුන්වා දෙමින් වන්දනා කරවූහ. රැයේ පළමුයාමය තුළදීම එය නිමාකරගත හැකිවිය.

මේ අතර මල්ලරට විසූ සුභද්‍ර නම් පරිබ්‍රාජකයෙක් බුදුරදුන්ගෙන් ප්‍රශ්න ඇසීමට පැමිණියේ ය. අනඳ හිමියෝ බුදුරදුන්ට වෙහෙසවන්නේ යැයි සිතා අවසර නුදුන්හ. එහෙත් සුභද්‍ර තෙවරක්ම කළ උත්සාහය බුදුරදුන්ට දැන ගන්නට ලැබී ඔහුට තමන් වහන්සේ වෙත පැමිණීමට ඉඩදෙන ලෙස අනඳ හිමියන්ට වදාළහ. ඔහුට දැනගන්නට අවශ්‍ය වූයේ නියම ශ්‍රමණයා සිටින්නේ කවර ශාසනයකද යන්නයි. යම් ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතීනම් එහි පළමු දෙවන, තෙවන හා සිව්වන ශ්‍රමණයන් සිටින බව දේශනා කළහ. පැහැදී තෙරුවන් සරණ ගිය සුභද්‍ර පැවිදි වී පසුව රහත් විය. ඒ දිවමන් බුදුරදුන්ගේ අවසාන ශ්‍රාවකයායි.තමන් වහන්සේගේ ඇවෑමෙන් දේශනා කළ ධර්මය ශාස්තෘවරයා වශයෙන් සලකන ලෙස බුදුරජාණන් වහන්සේ වදාළහ. නවක භික්ෂූන් හා ස්ථවිර භික්ෂූන් ඔවුනොවුන් ඇමතිය යුතු ආකාරයද පෙන්වා දුන්හ. අවශ්‍ය වන්නේ නම් භික්ෂූ සංඝයාට ඛුද්දානුඛුද්දක ශික්ෂාපද නොතකා ක්‍රියාකළ හැකියැයි දේශනා කළේ ද ඡන්න හිමියන්ට බ්‍රහ්ම දණ්ඩය පැනවූයේ ද මේ අවස්ථාවේදී ය.බුදුරදුන් වටා රැස්ව හුන් පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේ අමතා බුදුපියාණන් වහන්සේ බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳ යම් සැකයක් ඇත්නම් ප්‍රශ්න කරන ලෙස නියම කළහ. එහෙත් එකද භික්ෂුවක් ප්‍රශ්න විචාළේ නැත. එම භික්ෂූන් වහන්සේලාගේ ‘බුද්ධ ගෞරවය අසිරිමත්’ යැයි අනඳ හිමියන් පැවසූ විට බුදුරදුන් වදාළේ එම භික්ෂූන්ගෙන් සෝවාන් ඵලයටවත් නොපැමිණි කිසිවකු නොමැති බැවින් ඔවුන් තුළ තෙරුවන් කෙරෙහි විමතියක් නැති බවයි.මී ළගට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අවසන් අවවාදය වශයෙන් ප්‍රකාශ කළ වචන සමූහය වූයේ ‘’හන්දදානි භික්ඛවෙ, ආමන්තයාමි වො වයධම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ’’ යන්නයි. මහණෙනි, මම ඔබ අමතමි. සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. අප්‍රමාදව කුසල් දහම් සම්පාදනය කරන්න යනු එහි අදහසයි.
එසේ පැවසූ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ද්විතිය, තෘතිය, චතුර්ථ ධ්‍යානයන්ට ද ආකාසානඤචායතන, විඤ්ඤානඤචායතන ආකිඤඤ්ඤචායතන හා නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන අෂ්ට සමාපත්තින්ට පිළිවෙළින් සම වැදී අනතුරුව සඤ්ඤාවෙදයිත නිරෝධ සමාපත්තියට සම වැදුනහ. එවිට බුදුරදුන් පිරිනිවිසේකැයි අනඳ හිමියෝ ප්‍රකාශ කළහ. එහෙත් තවමත් පිරිනිවීම සිදු නොවිනැයි අනුරුද්ධ මහරහතන් වහන්සේ පවසා සිටියහ. බුදුරජාණන් වහන්සේ යළිත් සඤ්ඤාවෙදයික නිරෝධයෙන් නැගී සිට නෙවසඤ්ඤානාසඤ්ඤායතනාදී ප්‍රතිලොම පිළිවෙළින් නැගී සිටිමින් ප්‍රථම ධ්‍යානයට සම වැදුනහ. ඉන් නැගී යළිත් ප්‍රථම ද්විතිය, තෘතිය, චතුත්ථ සමාපත්තින්ට සමවැදුනහ. චතුර්ථධ්‍යානයෙන් නැගී වදාළ බුදුරජාණන් වහන්සේ අනතුරුව අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

Posted by SLN | at 3:25 PM | 0 comments

සැපත සතුට...

මේ ලෝකයෙහි විවිධ සත්ව තල තිබේ. බුදුරදුන් වදාළේ සත්තාවාස හෙවත් විවිධ ස්වභාවයෙන් යුතු සත්ව තල නවයක් තිබෙන බවයි. සමහර සත්ව ලෝක අයත් වන්නේ ‘ඒකත්ත කායා’ ‘ඒකත්ත සඤ්ඤී’ යන වර්ගයටයි. එතකොට ඔවුන් සිරුරු වශයෙන් ඒකාකාරී වන අතර, මානසික වශයෙනුත් එක ම ස්වභාවයෙන් යුක්ත යි. ඒ ලෝක අයිති වන්නේ ආභස්සර බඹ ලොවට යි. ඔවුහු අප්‍රමාණ සතුටක් භුක්ති විඳිති. ඊට හේතුව ගැටීම්කාරී පරිසරයට ඉඩ තබන විවිධත්වය එහි නො තිබීමයි.මිනිස් ලොව ඊට හාත්පසින් වෙනස් ය. මිනිසුන් අයිති වන්නේ, දුක – සැප මිශ්‍රව විඳින ‘නානාත්ත කායා’ ‘නානත්ත සඤ්ඤී’ වර්ගයටයි. මිනිසුන්ගේ සිරුරු ස්වභාවයෙන්ම වෙනස් වන අතර, ඔවුන්ගේ මානසික ස්වභාව ද විවිධත්වයෙන් යුක්ත යි. මේ නිසා ඔවුන්ගෙන් බොහෝ දෙනා ඉතා සුළු කරුණකදී පවා කණ්ඩායම් වලට බෙදෙමින් අරගල කරන්නට පෙළඹෙති.
තම අදහස් ඉටු නොවන විට, මතවාද වලට අනුන් එරෙහිවන විට ප්‍රතිවාදී චරිත ස්වභාව ඇති කර ගනිමින් ඔවුහු තම මතය ඉස්මතු කිරීම පිණිස අදහස් ඉටු කර ගැනීම පිණිස එකිනෙකාට හානි කර ගනිති. තම සිත්වල වෛරය සනිටුහන් කර ගනිති. ඉන්පසු එකිනෙකාට අභූත චෝදනා කිරීම්, නින්දා කිරීම්, අණවින, කොඩිවින කිරීම් ආදියෙන් ඔවුහු එකිනෙකා මැඬලීමට උත්සාහ කරති. බොහෝ කල් පවතින්නට හේතු වන වෛර හටගන්නේ, මෙවැනි පසුබිම් තුළිනි.
සේරිවාණිජ ජාතකයෙහි එකට සිටි මිතුරන් දෙදෙනකු වෙනස් වූ අයුරු මැනැවින් පෙනී යයි. ඒ මිතුරන් දෙදෙනාගෙන් කෙනෙක් දැහැමි මනසින් යුක්ත යි. අනෙකා පාපී ආශාවන්ගෙන් යුක්තයි. මේ මානසික විවිධත්වය නිසා ඔවුහු දෙපැත්තකට වෙන් වූහ. අර පාපී මිතුරාගේ වෙළෙඳාම අධාර්මික විය. අසරණ මිත්තණියක් රවටා, ඇයගේ මිණිබිරියට රන් බඳුනකට වළල්ලක් දීමට පොරොන්දු විය.
තමා පසුව එන බව පවසා ගිය අතර, මේ කිසිවක් නොදන්නා දැහැමි මිතුරා ද එතැනට පැමිණියේ ය. එම රන් තැටිය ඔහුට පෙන් වූ විට ඔහු අවංකවම එම තැටියේ වටිනාකම පවසා තමා සතු සියලු දේ මිත්තණියට දී රන් තැටිය රැගෙන ගියේය.
පාපී මිතුරා නැවත වංචාවෙන් රන් තැටිය ගැනීමට පැමිණිමුත් එහි රන් තැටිය නොතිබිණි. රන් තැටියට ආශාව නිසා හටගත් ද්වේශයෙන් යුතුව ඔහු මිතුරා සොයා දිව ගියේය. එහෙත් ප්‍රමාද වැඩිය. මිතුරා ගං ඉවුරෙන් එගොඩට යමින් සිටියි. මේ පවිටු පුද්ගලයා දෑතට වැලි ගෙන ගං ඉවුරෙහි දණගසා තම සිතෙහි වෛරී සංස්කාරයක් පිහිටුවා ගත්තේ ය.
මේ තුළින් සසර ගමනට අලුත් වෛරයක් ආරම්භ වී, තමන් මහත් විනාශයක් කරා රැගෙන යන බව ඔහු දැන නොසිටියේ ය. අර පවිටු මිතුරා මිය ගියේ ගඟෙන් එතෙර වන තමාගේ මිතුරාගේ ඡායාව දෙස බලමිනි. “හොඳයි! නුඹ පලයන්….. හැබැයි මේ අතෙහි මිට මොළවා ගත් වැලි කැට ගණනින් මා නුඹ පසුපස පැමිණෙනවා.
මගේ රන් තැටිය පැහැරගත් වාඩුව පිරිමසා ගන්නවා” යැයි වෛරයෙන් පැවසීය. සැබැවින්ම එය සත්‍යයක් ම විය. අනෙක් මිතුරා වූයේ වෙන කිසිවෙකු නොව අපගේ බෝසතාණෝ ය. ඉතින් ඒ බෝසතුන් ගුත්තිල නම් සංගීත ආචාර්යවරයාව ඉපද සිටි විට අර පවිටු මිතුරා මූසිල නමින් ශිෂ්‍යයකුගේ වේශයෙන් පැමිණියේ ය. තම ගුරුවරයාට දියහැකි සියලු වධ හිංසා දුන්නේ, ගුරුවරයාගේ වරදක් නිසා නොව, සසරේදී වැඩුණු ඔහුගේ වෛරය නිසාය. බෝසතාණෝ සියල්ල ඉවසාගෙන සිටියහ.
මෙලෙස බොහෝ කලක් පසුපසින් පැමිණි මෙම වෛරය බෝසතාණන් වහන්සේ බුදුවන ආත්මයෙහි පවා මුණ ගැසුණේය. දේවත්ත වෙසින් පැමිණි මොහු හානිකර ගත්තේ තමාට පමණක් නොවේ. දේවදත්ත බොහෝ දෙනෙකුට නිවන් මඟ අහිමි කළේය. ශ්‍රද්ධාවට හානි පැමිණ වූයේ ය. මෙයින් සිදුවූයේ වෛරය පිරිමසා ගැනීමකි. මෙය කෙළවර වූයේ ආනන්තර්ය පාප කර්ම රැස් කර ගැනීමෙනි.
කෙනෙක් පාරමී පුරමින් ඉවසන ගුණ පුහුණු කරමින් පැමිණෙද්දී, ඔහු පසුපසින් පැමිණ වධ දෙන්නට තරම් තවෙකෙක් පෙළඹුණේ සිතෙහි හටගත් වෛරයෙන් සැකසුණු අවාසනාවන්ත සංස්කාරයක් නිසා නොවේද? ඕනෑම කෙනකුට ප්‍රතිවාදීන් බිහිවීම ස්වභාවිකය.
අනුන්ගේ වෛරයෙන් ලැබෙන බැටකෑමට, බුදුරදුන්ට පවා සිදුවිය. එයයි සසරේ හැටි. නමුත් වෛරය ඉස්මතුවීමට ඉඩ නොදී එයින් බේරෙන්නට හැකිනම් එය කෙනකුට මහත් සැපතක් ලබා දෙයි. වෛරයට ඉඩ නොතබා ඉවසීමෙන්, සිත දියුණු කර එයින් ගැලවී සිටීමට, බුදුරදුන්ගේ උපදෙස් අපට මහත් ලෙස උපකාර වෙයි. විශේෂයෙන් කකචූපම සූත්‍රය වැනි දෙසුම් කියවීම වැදගත් ය. මහායානය නමින් අමුතු ශාසන ප්‍රභේදයක් බිහිවූයේ ද වෛර පිරිමසා ගන්නට යෑම නිසා ය. එක්තරා භික්ෂූන් පිරිසක් විනය ශික්ෂාපද සැහැල්ලුවට ගෙන සම්මත කරගත් කරුණු දහයක් මුල් කර ගැනීම නිසා දෙවන ධර්ම සංගායනාව සිදුවිය. එහිදී රහතන් වහන්සේ පිරිසක් ධර්ම විනය නොවෙනස්ව පවත්වා ගැනීමේ චේතනාවෙන් සංගායනාවක් කළහ.
නමුත් මෙය තේරුම් නොගෙන විනය සැහැල්ලුවට ගත් ඒ සඟ පිරිස, වෛර බැඳ ගත්තේ සංගායනා කළ භික්ෂූන් වහන්සේ කෙරෙහි ය. එවිට ඔවුන් කරන ලද්දේ ඒ භික්ෂූන්ගේ අවබෝධය හෙළා දැකීම පිණිස ධර්මයේ සැක උපදවන ප්‍රශ්න නගා මාර්ගඵල පිරිහෙන බවට පුළුල් මතයක් ප්‍රචාරය කිරීම යි.
ඔවුන්ගේ අදහස වූයේ තම මතයට එරෙහි වූ නිර්මල සංඝයාට එරෙහි වීම මිස, නිර්මල බුදු සසුනට ගෞරව කිරීම නොවේ. මේ තත්ත්වය කොතරම් බරපතල විදිහට වර්ධනය වූයේද යත්, තුන්වන ධර්ම සංගායනාව වනවිට භික්ෂූන් විසින් ගොඩ නගන ලද අභූත මතිමතාන්තර ඉස්මතු වී පෙනෙන්නේ ‘කථාවත්ථුපකරණය’ කියවන විට ය.
තුන්වන ධර්ම සංගායනාවෙන්ද ඔවුන්ගේ මතවලට යළි පහර වැදිණි. එවිට ඔවුන් කරන ලද්දේ ගෞතම ශාසනයේ පිළිවෙත් පුරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරෙන දහම් රටාව බැහැර කොට, පාරමී බෝසත් සංකල්පයක් ඉස්මතු කොට මහායානය බිහි කිරීම යි. සැබෑ දෙවි දේවතාවන් බැහැර කොට, බෝසත් සංකල්ප බිහි කිරීම යි. මේ නිසා බොහෝ පිරිසකට ගෞතම ශාසනය අහිමි විය. මෙය ද වෛරයේ ප්‍රතිඵලයක් විනා වෙන කුමක්ද?
ඉතින් ඔබ තේරුම් ගන්න ධර්මය යනු මෙය යි. ඉවසීම ධර්මය යි. කරුණාව ධර්මය යි. වෛර නොකිරීම ධර්මය යි. ද්වේෂ නොකිරීම ධර්මය යි. පලි නොගැනීම ධර්මය යි. එකට එක නො කිරීම, ධර්මය යි.
මෙත්සිත පැතිරවීම ධර්මය යි. මේවා නැති තැන උදේ සිට සවස් වනතුරු කොතරම් බණ දේශනා කළද, එතැන ඇත්තේ ප්‍රයෝජනයට නොගන්නා වචන සමූහයක් පමණකි. එනිසා වෛර සිතට ඉඩ නොදී, ඒ නිමිත්ත අමතක කොට, මෙත් සිත වඩන්නට හැකිනම් එය මහත් ලාභයකි. සතුට ලැබෙන්නේ, මෙත් සිතෙන් මිස, වෛරයෙන් නොවේ. එනිසා ධර්මය සිහි කරන තැනැත්තා, ජය පරාජය පසෙකලා මෙත් සිත වඩයි. වෛර නොකිරීම සැපතකි!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
සටහන – නයනා නිල්මිණි
බුදු සරණ අන්තර්ජාල කලාපයේ පළ වූ ලිපියකි.

Posted by SLN | at 3:21 PM | 0 comments

ඡත්ත මානවක....

ඔහු විසුවේ සේතව්‍ය නුවරයි. ඡත්ත ඔහුගේ නමයි. පියා විසින් උක්කට්ඨා නුවර පොක්ඛරසාති නම් ගුරුතුමා වෙත ශිල්ප හැදෑරීම පිණිස ඔහු පිටත්කර යවනු ලැබුණා. ඉතා දක්ෂ සිසුවකු වූ ඡත්ත කෙටි කලකදී සියලු ශිල්ප උගෙන ශාස්ත්‍රය නිමා කළා.” ගුරුතුමනි, මා සියලු ශිල්ප හදාරා අවසානයි. මවුපියන් වෙතට යෑමට සිතමි. ගුරු පඬුරු වශයෙන් කුමන පූජාවක් ඔබ වෙනුවෙන් කළයුතු වේද? “
“ ඡත්ත ගුරු පූජාව ශිෂ්‍ය යාගේ වත්කම අනුව සිදුවිය යුතුයි . “
ඡත්ත මානවකයා ගුරු පඬුරු ගෙන ඒමට තම ගම බලා පිටත් වුණා. පඬුරු පූජාව පියාට දැන්වීමෙන් පසු ඔහුට ඒ සඳහා කහවනු දෙදහසක් ලැබුණා. කහවනු පොදිය රැගෙන ඡත්ත එදාම උක්කට්ඨා නුවරට පිටත් වුණා.
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහකරුණා සමාපත්තියට සම වැදී ලොව දෙස බලන විට ඡත්තට සිදුවන විපත දුටුවා. ඡත්ත තරුණයා තිසරණ සරණෙහි පිහිටියහොත් දෙව්ලොව ඉපදීමට හැකියාව තිබෙන බව දුටු මුනීන්ද්‍රයන් වහන්සේ, ඡත්ත ගමන් කරන අතර මග ගසක් මුල වැඩ සිටියා. භාග්‍යවතුන් වහන්සේ දුටු ඒ තරුණයා ඒ අසලට ගොස් උන්වහන්සේට වන්දනාමාන කළා.
“ ඡත්ත මානවකය, මේ අවේලාවේ ඔබ යන්නේ කොහෙද? “
“ ස්වාමීනි! ගුරු පඬුරු රැගෙන මා උක්කට්ඨා නුවර පොක්කරසාති ගුරුතුමා හමුවීමට යන්නෙමි. “
“ මානවකය ඔබ තිසරණ පන්සිල් දන්නවා ද? “
“ ස්වාමීනි, මම නොදනිමි, එය ඉගෙනීමෙන් මට යම් ප්‍රයෝජනයක් වේද? “
“ ඡත්ත, මා විසින් මේ ධර්මය දේශනා කොට ඇත්තේ මුල, මැද, අග පිරිසුදු ලෙසින්. ඔබ තිසරණ පංචශීලය සමාදන් වන්න. එය ඔබගේ ජීවිතයට මහත්ඵල මහානිසංස වනු ඇත. ඔබ සමාදන් වන මේ ගාථා රත්යන් තුන මතක තබාගෙන එය සිහි කරමින් ගුරුවරයා වෙත යන්න’’යි භාග්‍යවතුන් වහන්සේ වදාළා.
යෝ වදතං පවරෝ මනුජේසු – සක්‍යමුනි භගවා කතකිච්චෝ
පාරගතෝ බල විරිය සමංගි – තං සුගතං සරණත්ථ මුපෙහී
කතාකරන මනුෂ්‍යයන් අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මඟ සම්පූර්ණ කළ ශාක්‍ය මුනින්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බල මහිමයෙන් චතුරංග සමන්වාගත වීර්යයෙන් සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.
රාග විරාග මනෙජ මසොකං – ධම්ම මසංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං – ධම්මමිමං සරණත්ථ මුපෙහි
ශ්‍රී සද්ධර්මයෙන් රාගය දුරුවෙනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති , පිළිකුල් රහිත වූ අසංඛත නිවනයි ඒ ධර්මය. මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණ යන්න.
යත්ථ ච දින්නමහප්ඵල මාහු – චතුසුසු චීසු පුරිසයුගෙසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසාතේ – සංඝමිමං සරණත්ථ මුපෙහි
යම් ආර්ය සඟ පිරිසකට දානය පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් එසේ වූ උන්වහන්සේලා පාරිශුද්ධ පුද්ගල යුගල වශයෙන් සතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝරත්නය ද සරණ යන්න.
ඡත්ත ගාථා තුනේ තේරුම ඉගෙනගෙන ගමන සඳහා පිටත් වූවා. සොරුන් කණ්ඩායමකට ලැබුණු ඔත්තුවක් අනුව ඔවුන් ඡත්ත එන මඟ රැක සිට මහ වනයේ දී විස පෙවූ ඊතලයක් විද ඡත්ත මරා මුදල් රැගෙන පලා ගියා. තිසරණ සරණ සිහි කරමින් ගිය ඡත්ත මිය යනවාත් සමඟ නිදා පිබිදියාක් මෙන් තව්තිසා දෙව්ලොව යොදුන් විස්සක ආලෝකය පතුරවමින් උපත ලැබුවා.
ඡත්තගේ හදිසි අභාවය අසා සියලුම දෙනා එතැනට රැස් වුණා. සියල්ලෝම චිතකයක් සාදා මෘත ශරීරය දවාලන්නට කටයුතු පිළියෙළ කළා.
භාග්‍යවතුන් වහන්සේ ද ඡත්ත ගේ ආදාහන කටයුතු කරන තැනට වැඩියා. ඡත්ත දේවේන්ද්‍රයා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවයෙන් මුළුපරිසරයම ඒකාලෝක කරමින් සහපිරිවරින් දේව විමානයත් සමඟ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කිරීමට එහි පැමිණියා.
“ මොහු දෙවියෙක් ද? බ්‍රහ්මයෙක්ද’’? අවට සිටියවුන් කලබල වූවා.
ඡත්ත දේවේන්ද්‍රයා කළ පින්කම් රැස්ව සිටි අයට ප්‍රකට කරවීම සඳහා භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ විචාරණු ලැබුවා.
“මේ දිව්‍ය විමානය අහසෙහි බබළන හැටි ඉතාම ප්‍රභාෂ්වරයි. මෙබඳු වූ දිව්‍ය ඓශ්චර්යයක් සහිතව දෙව්ලොවින් මෙලොවට පැමිණි ඔබ කවුරු ද’’?
ඒ විමානයෙන් විහිදෙන ආලෝකය හිරු රැස් පවා පරදවනවා. යොදුන් විස්සක විතර දුරට රැස් විහිදෙනවා. දහවල් කාලයේ වගේම රෑටත් රැස් විහිදෙනවා. ඒ විමානය පිරිසුදු යි. නිර්මල යි. සුන්දර යි.
විචිත්‍ර වූ සුදු නෙළුම්, රතු නෙළුම්, ඒ වගේ බොහෝ නෙළුම් තිබෙනවා. නොයෙක් වර්ගයේ මල් පිරිලා තිබෙනවා. නොයෙක් විසිතුරු කැටයම් තිබෙනවා. ඉතාම පිරිසුදු රත්තරනින් හැදුණු දැල් විමානේ වටේට තිබෙනවා. හිරු මඩලක් වගෙයි අහසේ බබළන්නේ.
රතුපාට, කහපාට, දිව්‍ය සළුවලින් සරසලා තිබෙන්නේ. සඳුන් සුවඳින් යුක් තයි. රන්වන් පාටින් බබළන දිව්‍ය අප්සරාවන් පිරුණු මේ විමානය පෙනෙන්නේ තාරුකාවන් පිරිවරා ගත් ගගන තලය වගේ. මෙහි ඉන්න දිව්‍ය ස්ත්‍රි පුරුෂයන් මල්වලින් සැරසිලා. දිව්‍යාභරණයන් සැරසිලා. සතුටු සිතින් ඉන්නේ. ඒ දිව්‍ය ස්ත්‍රි පුරුෂයන් බොහෝ දෙනකු ගේ කේශ කලාපයන් ලස්සනට සරසලයි තිබෙන්නේ. මඳ සුළඟට සෙලවෙන රන්වන් මල්වලින් සුවඳ විහිදෙනවා. “
“ දේවේන්ද්‍රය, මේ පුණ්‍ය විපාකය ලැබුණේ මොන වගේ සංවරකමක්, දමනය වීමක් නි සාද? මෙහි ඔබ උපන්නේ මොන වගේ පුණ්‍ය විපාකයකින් ද? “ භාග්‍යවතුන් වහන්සේ විසින් විචාරනු ලැබුවා.
“ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, එක්තරා මානවකයෙක් මහමඟ යමින් සිටියා. භාග්‍යවතුන් වහන්සේ, ඔහු මුණගැහිලා අනුශාසනා කළා. ඒ මහාර්ඝ රත්නය වන නුඹ වහන්සේ ගේ ධර්මය අසා පිළිපදිනවා කියලා ඒ ඡත්ත මානවක කිව්වා. ස්වාමීනි, පරමෝත්තම වූ ජිනේන්ද්‍රයන් වහන්සේ සරණ යන්න, ධර්මය, භික්ෂු සංඝයා සරණ යන්න කියල වදාළ වෙලාවේ මම පළමුව කිව්වේ ඒ ගැන නොදන්නා බවයි. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහලා තෙරුවන් සරණ ගියේ.
ඒ අපිරිසුදු වූ නානා ප්‍රකාර වූ ප්‍රාණඝාතය කරන්න එපා. ප්‍රාණින් කෙරෙහි සංයමය නැති අය ගැන නුඹ වහන්සේ වර්ණනා කරන්නේ නැහැ කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිව්වේ දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේ ගේ වචනය අහල ඒ විදියට කළේ.
අනුන් විසින් රකිනු ලබන දේවල් තමන්ට දීලා නැත්නම් ඒ නොදුන් දේවල් ගන්න හිතන්න එපා කියලා වදාළ වෙලාවේ මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹවහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.
අනුන් ආරක්‍ෂා කරන කාන්තාවන් ඉන්නවා. ඔවුන් කරා යන්න එපා. ඒක පහත් දෙයක් කියලා වදාළ වෙලාවේ ස්වාමීනි මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහල ඒ විදියට කළේ.
අසත්‍ය බව දැන දැනත් කියන්න එපා. බොරු කීම නුවණැත්තන් වර්ණනා කරන දෙයක් නොවෙයි කියලා වදාළ වෙලාවේ ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලා. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.
හොඳ සිහිය නැති වෙන්නේ බීමත්කමින් නම් ඒ සැම මද්‍යසාරයක්ම දුරින්ම දුරු කරන්න කියලා වදාළ වෙලාවේදී ස්වාමීනි, මම පළමුව කිවුවේ ඒ ගැන දන්නේ නැහැ කියලයි. පස්සේ තමයි නුඹ වහන්සේගේ වචනය අහලා ඒ විදියට කළේ.
ස්වාමීනි, මම පන්සිල් රැක ගත්තා. තථාගතයන් වහන්සේ වදාළ ධර්මය පිළිපැද්දා. දෙමංසලකට ආපු වෙලාවේදී මාව සොරුන්ට මැදි වුණා. ඔවුන් වස්තුව ගන්න හිතාගෙන මාව මැරුවා. පිනක් ලෙස මෙච්චරයි සිහි කරන්න තිබුණේ. ඒ සුචරිත ධර්මයෙහි විපාක වශයෙන් මම සැප තිබෙන තවුතිසාවේ ඉපදුණා.
ශීල සංවරය ඇතිකර ගත්තේ මොහොතයි. ධම්මානුධම්ම පටිපදාවේ විපාකය බලනු මැන. මා දකින විට හීන සම්පත් ඇති බොහෝ අය මා වගේ කෙනෙක් වෙන්නයි කැමැති වෙන්නේ.
සුළු දේශනාවක අසිරිය බලනු මැන. මම සුගතියට ගියා. සැපත් ලැබුවා. එහෙම එකේ යම් කෙනෙක් නිතර නිතර ධර්මය ඇසුවොත් ඒ අය දුක, බිය රහිත අමා නිවන ස්පර්ශ කරනු නිසැකයි. තථාගතයන් වහන්සේ ගේ ධර්මයේ පිහිටලා යමක් කළ විට මහා විපාකයන් ලැබෙනවා. විපුලඵල ලැබෙනවා. පින් කරගත් මා දෙස බලන්න. හිරු මඬල බබළනවා වගේ මා දෙව්ලොව බබළනවා. මේ කුසලය මොන වගේ දෙයක්ද? මොන වගේ යහපතෙහි ද හැසිරිය යුත්තේ කියලා ඇතැම් දෙවිවරුන් සාකච්ඡා කරනවා.
භාග්‍යවතුන් වහන්සේ මට බොහෝ උපකාර කොට වදාළා. අනුකම්පා කොට වදාළා. මහ මද්දහනේ මා සිටි තැනට වැඩමවා ලූ සත්‍ය නාම වූ බුදුරජුන් කරා මා පැමිණුනා. මට අනුකම්පා කරන සේක්වා. ආයෙත් අසන්නම්, මේ ශාසනයේ යමෙක් කාමරාග දුරුකරනවා නම්, භව රාගයන් දුරු කරනවා නම්, මෝහයත් දුරුකරනවා නම් උන්වහන්සේලා ආයේ කවදාවත් මව්කුසක පිළිසිඳ ගන්න එන්නේ නැහැ. පිරිනිවීමට පත්වෙලා එයින් නිවී සැනසුම ලබනවා “
ඒ ඡත්තමානවක දිව්‍ය පුත්‍රයාගේ කතාව යි.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ..
සටහන – නයනා නිල්මිණි
(බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි)

Posted by SLN | at 3:15 PM | 0 comments